කොරෝනා නිසා පෙර පාසල් අත්දැකීම් නොලැබෙන දරුවන් මිලියනයක් සිටීම බරපතල ඛේදවාචකයක්…. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

356

පෙර පාසල් අවුරුදු දෙකක් වහලා. අවුරුදු 3 – 5 ත් අතර පෙර පාසල් යන දරුවෝ 540,000 ක් එක අවුරුද්දකට ඉන්නවා. අවුරුදු දෙකක් තුළ දරුවෝ මිලියනයක් ඉන්නවා. ජීවිත කාලයටම ඔවුන්ට පෙර පාසල් අත්දැකීම් ලැබෙන්නේ නැහැ. ඔවුන් පෞරුෂය හදාගන්නේ පෙර පාසලෙන්. පළමුවන පන්තියට ජීවිතේටම යන්න බැරිවුණ දරුවෝ ටිකක් ඉන්නවා. එය බරපතළම ඛේදවාචකයක් යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අකුරැස්සේදී පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා අකුරැස්ස ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පෝරඹ කලාපයේ ඉදිකරන ලද නව සමෘද්ධි බැංකු ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් කොවිඞ් වසංගතයට ගොදුරුවෙලා ඉන්න කොට අපේ රටට විශ්වීය මාරයා ආවාම අපි භය වෙලා හිටියෙ අපේ දරුවෝ ගැන. අපිට මොනව වුණත් කමක් නැහැ දරුවෝ බේරගන්න ඕන කියල එදා අධ්‍යාපන ඇමැතිවරයා හැටියට අපි සාකච්ඡා කරල ඉස්කෝල ටික වහල දැම්මා. දැන් මාස 18 ක් වෙනවා ඉස්කෝල වහලා. ඉස්කෝල ගේට්ටු වැහුවා කියන්නේ සංස්කෘතියක, ශිෂ්ටාචාරයක ගේට්ටුවක් වැහීමක්. දරුවෝ ඉක්මනින්ම ඉස්කෝලෙට කැන්දගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට බරපතළ විදියට පහර වදිනවා. දරුවෝ තමයි වැඩිම පීඩාකාරී සාධකය බවට පත්වුණේ. දරුවන්ගේ අධ්‍යාපනය කිසි ලෙසකින් බිඳ දැමිය යුතු නෑ. ගෙවල් ඇතුලේ බරපතළ ප‍්‍රශ්න තියෙනවා. ගුරුවරුන්ට ප‍්‍රශ්න රාශියක් තියෙනවා. ගුරුවරුන්ට අපහාස කරලා, නින්දා කරලා, ගුරුවරුන් ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික් කරල මේ ප‍්‍රශ්නයෙන් ගොඩ එන්න බැහැ. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න අපි හැමෝගෙම කැපවීම අවශ්‍යයි.

අපේ ජීවිත කාලය තුළ ඉතාම අමාරු සිදුවීම් හතරකට මුහුණ දුන්නා. 1971 කැරැුල්ල වෙලාවේ මාස 10 ක් විතර ඉස්කෝල වහල අපි ගෙදරට වෙලා හිටියා. 30 වසරක යුද්ධයකට මුහුණ දුන්නා. සුනාමිය රටක් විදියට ආව බරපතළ ඛේදවාචකයක්. දැන් කොරෝනා වසංගතයට මුහුණදීලා තියෙනවා.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment