කොරෝනා මළ සිරුරු 45ක් පානදුර රෝහලේ ගොඩගැසෙයි

420

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 මෘත ශරීරාගාරයේ තිබෙන අධිශීතකරණ දෙකෙහි තැන්පත් කර තැබිය හැකි මළ සිරුරු ප‍්‍රමාණය 12ක් පමණක් බවත් අනෙක් සියලූම මළසිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

 කොරෝනා වෛරසයෙන් මිය ගිය මළ සිරුරු 22ක්, නාඳුනන මළ සිරුරු 5ක් අනෙකුත් මළසිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

 එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළසිරුරු නරක් වීමෙන් මෙම දුර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ඇත.

 කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුව ද ඔවුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායනයට ලක් කර ඇති බැවින් එම දේහයන්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගෙන ඇතැයි සඳහන්ය.

 මේ පිළිබඳ පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මියගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය.

 අප රෝහල වෙත 5 වැනිදා කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා දැනුම් දී තිබෙනවා ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබෙන මළසිරුරු ආදාහනය කිරීමට කටයුතු සිදු කරන්න කියලා.

 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය මත හැකිතාක් දුරට ආදාහන කටයුතු සිදු කර දැනට පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින ගැටලූවට ඉක්මන් විසඳුම් ලබා දෙනවා.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment