කොරෝනා මැඬගෙන සැණකෙළිය ඇරැඹේ

133

ලොව වෙලාගෙන ඇති භයානක කොරෝනා වසංගතය අභිමුවේ එක් වසරක් පරාජය ලැබූවද ඉවසීමෙන්, සංයමයෙන් තම වාරය පැමිණෙන තුරු බලාගෙන සිටි විශ්වයේ විශිෂ්ටතම ක‍්‍රීඩා සැණකෙළිය රටවල් 205 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් සකුරා මල් පිපෙන ජපානයේ ටෝකියෝ් ජාතික ක‍්‍රීඩාංගණයේදී ශි‍්‍ර ලංකා වේලාවෙන් අද (23 දා) ප.ව.4.30ට ආරම්භ වේ.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ලෙස ඉතිහාසයේ ස්වර්ණමය පිටුවක නම සනිටුහන් වෙමින් ඇරඹෙන මෙම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ලෝකයේ පැවැත්වෙන 32 වැනි ඔලිම්පික් උළෙල වේ.

මිලියන ගණනින් පේ‍්‍රක්ෂකයන් රූපවාහිනී තිරය අභිමුවට කැඳවුවත් එම ක‍්‍රීඩා උළෙල පේ‍්‍රක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් කටයුතු යොදා ඇත. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශන ක‍්‍රියාමාර්ග වලට අනුගත වෙමින් ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල පැවැත් වෙන්නේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11300 ක පමණ සහභාගිත්වයෙනි.

sanakeliya3

‘‘හැඟීම් මගින් එක්සත්භාවයට’’ යන්න මෙවර ඔලිම්පික් උළෙලේ තේමාව වන අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල් 206 කින් රටවල් 205 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙවර තරගාවලියට සහභාගි වෙති. තරගාවලියට සහභාගි නොවන රට වන්නේ උතුරු කොරියාව වන අතර සෞඛ්‍ය තර්ජන හේතුවෙන් ක‍්‍රීඩා උළෙලට සහභාගි නොවන බව මීට මාස දෙක තුනකට පමණ ඉහතදී ඔලිම්පික් කමිටුව වෙත ඔවුන් දන්වා එවා තිබිණි.

2020 ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තීරණය ගනු ලැබුවේ මීට වසර 8 කට පමණ පෙර ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හිදී පැවැති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 125 වැනි සැසිවාරයේ දීය. ජපානයේ ටෝකියෝ වෙත එම අවස්ථාව හිමි වූයේ ඔලිම්පික් සත්කාරකත්වය තෝරා ගැනීම සඳහා පැවති ඡුන්ද විමසීමේදී තුර්කියේ ඉස්තාන්බුල් සහ ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නගර පරාජයට පත්වීම හේතුවෙනි.

ඒ සමගම ඔලිම්පික් උළෙලක් සඳහා සත්කාරකත්වය ලබාදීමට දෙවැනි වරටත් තේරී පත්වූ ආසියාවේ එකම රට සහ නගරය බවට ජපානයේ ටෝකියෝ නුවර පත්වූ අතර 1964 වසරේදී පැවැති ඔලිම්පික් උළෙල ද ජපානයේ ටෝකියෝ නුවරදී පවත්වා තිබුණි.

2013 වසරේදී සත්කාරකත්ව අයිතිය හිමි වීමෙන් අනතුරුව සිය දෙවැනි ටෝකියෝ ඔලිම්පික් උළෙල 2020 වසරේ ජූලි 24 වැනිදා සිට අගෝස්තු 09 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඞ් වසංගතය හේතුවෙන් එය වසරකින් කල් දැමීමට ඔලිම්පික් බලධාරීන්ට සිදුවිය.

ඒ අනුව කල් දමා නැවත පැවැත්වූ පළමු ඔලිම්පික් උළෙල ලෙස මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාසයට එකතු වන අතර වසරකින් කල් ගියද එය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ලෙසින්ම හැඳින්වීමට බලධාරීහු ක‍්‍රියා කළහ. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවයට රාජ්‍ය නායකයන් 15 දෙනෙකු ඇතුළු සම්භාවනීය අමුත්තන් දහසකට සීමාකර ඇති අතර එම සංඛ්‍යාව ඔවුන් මීට පෙර තීරණය කර තිබුණු සම්භාවනීය පිරිසට වඩා නවදහසකින් (9000) අඩුවීමකි.

කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උළෙල නොපවත්වන ලෙස ඇතැම් ජපාන ජාතිකයන්

පසුගිය කාලය පුරා සිට සිදු කරන ලද උද්ඝෝෂණ හා පෙළපාලි වල තවමත් අඩුවක් දක්නට නැති අතර ඊයේ (22දා) දිනයේද එවැනි උද්ඝෝෂණ සහ විරෝධතා වල නියැලෙමින් සිටි ජපාන ජාතිකයන් වීථි පුරා දක්නට ලැබිණි.

මෙම උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලිකරුවන් හට පිළිතුරු සැපයීමට මෙන් ඊයේ (22 දා) රැුස්වූ ජපාන ඔලිම්පික් කමිටුව මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ ඔලිම්පික් ගම්මානයට පැමිණ සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා පුහුණු කාර්යමණ්ඩලයේ පිරිසෙන් කොවිඞ් ආසාදනය වී ඇත්තේ 10 කට පමණක් බවයි. එමෙන්ම කුමන තත්ත්වයක් උදා වුවද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය දක්වා පැවැත්වීම අතරමග නතර නොකරන බවට ඔවුහු දැඩි අධිෂ්ඨානයක සිිටිති. මෙවර ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම් තරගය හෙට (24දා) පැවැත්වෙන කාන්තා මීටර් 10 එයාර් රයිෆල් තරගය වන අතර අවසන් තරගය ලබන මස 08 වැනිදා පැවැත්වෙන පිරිමි වෝටර් පෝල් තරගය වේ. කෙසේ වෙතත් සමාරම්භක උත්සවයට පෙර පටන් එනම් පෙරේදා (21දා) සිටම ඔලිම්පික් තරගාවලියට අයත් කණ්ඩායම් තරග කිහිපයක් පැවැත් වූ අතර එහිදී කාන්තා පාපන්දු, සොෆ්ට් බෝල් ආදී තරග පැවැත්වුණි.

ක‍්‍රීඩා 33 ක් සඳහා ඉසව් 339 ක් අරභයා පැවැත්වෙන ඔලිම්පික් සටනේ බලපුළුවන් කාරයින් වීමට ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ රුසියාව තියුණු තරගයක නිරත වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

ජපානය ආසියාවේ ප‍්‍රමුඛයා වෙමින් දෙවැනි වරටත් ඔලිම්පික් සත්කාරකත්වය හිමිකර ගත්තද, ඔලිම්පික් තරග සංවිධානයේ වැඩිම සත්කාරකත්වයට හිමිවූ රට ලෙස 1904, 1932, 1984 සහ 1996 යන වසරවල ඔලිම්පික් උළෙල පැවැත්වූ ඇමරිකා එක්සත් ජනපදය වාර්තා පිහිටුවා ඇත.

එසේම මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලටද වැඩිම ක‍්‍රීඩක ක‍්‍රීඩිකා සහභාගිත්වය ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම සංඛ්‍යාව 613 ක් වේ. සත්කාරක ජපානය එම සටහනේ දෙවැනි ස්ථානයට පත්වී තිබෙන්නේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 552 ක් ඉදිරිපත් කිරීමෙන් වන අතර ඕස්ටේ‍්‍රලියාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 478 ක්, ජර්මනියෙන් 425 ක්, මහා බි‍්‍රතාන්‍යයෙන් 378 ක් සහ රුසියාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 328 ක් ඒ සඳහා ඉදිරිපත්ව සිටිති. අසල්වැසි ඉන්දියාව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 120 ක් ඔලිම්පික් උළෙලට ඉදිරිපත් කරමින් දකුණු ආසියාවේ වැඩිම සහභාගිත්වය සහිත රට බවට පත්ව තිබේ. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කණ්ඩායමට නිලූක කරුණාරත්න (බැඞ්මින්ටන් කේවල පිරිමි, මැටිල්ඩා කාල්සන් (තුරග හරඹ බාධක පැනීම, මිල්කා ගෙහානි (ජිම්නාස්ටික් කාන්තා), නිමාලි ලියනආරචචි (මීටර් 800 කාන්තා), යුපුන් අබේකෝන් (මීටර් – 100 පිරිමි), ටෙහානි එගොඩවෙල (ඉලක්කයට වෙඩි තැබීම කාන්තා වායු රයිෆල්), මැතිව් අබේසිංහ (පිහිනුම් මීටර් 100 නිදහස් ආර පිරිමි), අනිකා ගෆූර් (පිහිනුම් මීටර් 100 සමනල ආර – කාන්තා) සහ චාමර ධර්මවර්ධන (ජූඩෝ – කිලේ ග‍්‍රෑම් 73 බර පන්තිය – පිරිමි) අයත් වෙති.

දින 20 ක් පුරා ජපානයේ සිට පේ‍්‍රක්ෂක සිත් සතන් ඇද බැඳ ගනිමින් පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්තිය ලබන මස 08 වැනිදා ටෝකියෝ ජාතික ක‍්‍රීඩාංගණයේදී සිදු කෙරෙනු ඇත.

– කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment