කොරෝනා යළිත් එයි මාස්ක් දාන්න

343

ලොව පුරා රටවල මෙන්ම අසල්වැසි ඉන්දියාවේ ද කොරෝනා වසංගතය නැවත හිස ඔසවමින් පැවතීම හේතුවෙන් මෙරට ද එම වසංගතය නැවත හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙම තත්ත්වය මත ජනතාව රෝගය පිළිබඳව දැඩි අවධානයකින් පසුවීම වැදගත් බව පෙන්වා දෙන එම වෛද්‍යවරු පසුගිය දිනවල මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කොරෝනා ආසාදනයට ගොදුරු වීම වසංගතය නැවත හිස එසවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් විය හැකි බව අවධාරණය කර සිටිති.

පවතින තත්ත්වය මත සිය දෛනික කාර්යයන් ඉටු
කරගැනීමට එළිමහනට යෑමේදී නාසය හා මුඛය හොඳින් ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම, යම් කිසිවක් ස්පර්ශ කළ පසු සිය දෑත් සබන් හෝ විෂබීජනාශක ද්‍රව්‍යයක් යොදා හොඳින් පිරිසිදු කරගැනීම ඇතුළු කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි අනුගමනය කිරීම වැදගත් බව එම වෛද්‍යවරු සඳහන් කර සිටිති. මේ වන විට රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් දෛනිකව සිදු කෙරෙන ‘පී. සී. ආර්.’ පරීක්ෂණ සංඛ්‍යාව දැඩි ලෙස සීමා වී ඇති අතර කොරෝනා වසංගතය සමාජයේ පැතිර යන්නේද යන්න පිළිබඳව දැනට සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාවෙන් නිශ්චිතව නිගමනය කළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර මෙම දිනවල පැතිර යන ඩෙංගු මෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝගවල රෝග ලක්ෂණද කොරෝනා ආසාදනයේ රෝග ලක්ෂණ හා සමාන වීම නිසා මෙම දිනවල දින කිහිපයක් පවතින උණ හා ඇඟපත වේදනාවක් පවතී නම් වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment