කොරෝනා යළි හිස ඔසවනවා: සෞඛ්‍ය පිළිවෙත් දැඩිව පිළිපදින්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

310

මේ දිනවල දිවයින පුරා නැවත කොරෝනා වසංගතය හිස ඔසවන තත්ත්වයක් දක්නට ලැබීම හේතුවෙන් සෑම අයකුම කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මෙම පිළිවෙත් නීතියෙන් අනිවාර්ය කරන තෙක් බලා නොසිට නිසි ලෙස පිළිපැදීමෙන් තම පවුලේ අයගේ ජීවිත ද ආරක්ෂා කරගත හැකි බව ඒ මහතා කීවේය.

මේ අනුව කොරෝනා වසංගත සමයේ පැනවූ නිවසෙන් පිටතට යෑමේදී මෙන්ම පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම, මීටරයක පමණවත් දුරකින් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම මෙන්ම සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදා ගෙන නිතර දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම යන කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් සෑම ක්ෂේත්‍රයකම අය නිසි පරිදි අනුගමනය කරන්නේ නම් ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසනකාරී තත්ත්වය මග හරවා ගත හැකි බව හෙතෙම සඳහන් කළේය.

මෙම දිනවල විදෙස් සංචාරකයන් වැඩි දෙනකු මෙරටට පැමිණීම හේතුවෙන් සංචාරක මග පෙන්වන්නන්ගේ සිට සංචාරක හෝටල් සේවකයන් දක්වා සංචාරකයන් හා ඍජුවම ගැටෙන සියලු තරාතිරමකම අය සිය රාජකාරි කටයුතුවලදී කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට පියවර ගත යුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ දිනවල කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් මියයන වැඩිදෙනා වයස අවුරුදු 60ට වැඩි හා බෝ නොවන රෝගවලින් පෙළෙන අය වීම නිසා සිය නිවෙස්වල සිටින වැඩිහිටියන් කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් වළක්වා ගැනීම සියල්ලන්ගේම වගකීම බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment