කොරෝනා වසංගතය මැද්දේ යුතුකම් ඉටු කළ නාමල්තලාව පුදබිම…

424

ඓතිහාසික දිගාමඩුල්ල මිටියාවතේ නාමල්තලාව ශෛලබිම්බාරාමය පිහිටා ඇත්තේ අම්පාර බිබිල මාර්ගයට යාබද සුන්දර ගල් තලාවකය. හෑගොඩ ඉන්දසාර සඟ පරපුරට අයත් පුදබිමක් වන නාමල්තලාව ශෛලබිම්බාරාමය උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක කිරිදිවෙල සෝමරතන නාහිමියන් යටතේ වත්මන් විහාරාධිපති ධුරය හොබවන්නේ අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සක්නද සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන්ය.

මෙම පුද බිමට නාරද හිමියන් පා තබන විට එහි තිබුණේ ගිනියම් ගල්තලාව මත ඉදිවූ තහඩු මඩුවක් පමණි. නමුත් මේ වනවිට වසර ගණනාවක් ගත වෙද්දී සියලූ දෙනාගේ නෙත් සිත් පිනවන මන බඳන අපූරු පුදබිමක් එම ගල්තලාව මත ඉදි වී ඇත. මෙම පුදබිමේ සුවිශේෂත්වය වන්නේ ගොඩනැගිලි ඉදි කරමින් පමණක් යහපත් සමාජයක් ගොඩ නගනවා වෙනුවට පන්සලට ඇවසිදේ ඉදි කරමින් ධර්මය තුළින් බුදුදහමේ හරය ඔස්සේ යමින් යහපත් සමාජයක් උදෙසා මහා මෙහෙවරක් සමාජගත කිරීමය.

ලංකාවේ නැගෙනහිර පළාතේ රණවිරුවන් උදෙසා ඉදිව ඇති එකම සහ ප‍්‍රථම දාගැබ වන්නේ නාමල්තලාව ශෛලබිම්බාරාමය ඉදිවූ රණවිරු සෑයයි. මෙහි මුල්ගල් තබා වැඩ ආරම්භ කරනු ලැබුවේ හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාගේ සූරතිනි. බැතිමතුන්ට වන්දනාමාන කිරීමට විවෘත කරනු ලැබූවේ හිටපු යුධ හමුදාපති ක‍්‍රිෂාන්තද සිල්වා මහතාගේ සුරතිනි. කිරිදිවෙල සෝමරතන සිය ගුරු හිමියන්ගේ අවවාද හා මගපෙන්වීම නිරන්තරයෙන් ලබා ගනිමින් ගම්පහ නාරද හිමියෝ දැඩි කැපවීමකින් හා ධෛර්යෙන් යුතුව කටයුතු කිරිමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම පුදබිම දිනෙන් දින දියුණුවෙමින් බොදු බැති සැමගේ සිත් සතන් පහන් කරන පුදබිමක් බවට පත්ව තිබේ.

මෙම පුද බිමේ ආධාර පත‍්‍ර, ගෙයින් ගෙට ගොස් ආධාර එකතු කිරීම්, ෆේස් බුක් ගිණුම් හරහා මුදල් එකතු කිරීම වැනි කිසිවක් නොමැති වීම සුවිශේෂී කරුණකි. බෞද්ධ ජනයා හට කිසිදු කරදරයක් නොමැතිව ඔවුන් කැමැත්තෙන් ලබාදෙන්නා වූ යම්කිසි පරිත්‍යාග ඇත්නම් එය පමණක් භාරගෙන පුදබිමේ වැඩකටයුතු සිදුවෙන ආකාරය පිළිබඳව ජනතාව තුළ ඇත්තේද මහා පැහැදිමකි.

‘දිවයින’ට අදහස් දක්වමින් විහාරාධිපති ගම්පහ නාරද හිමියන් මෙලෙස අදහස් දැක්වූහ. අප විහාරස්ථාන විශේෂ කරුණක් වන්නේ කිසිදු ආධාර පත්තරයක් පින් පත්තරයක් එකතු නොකිරීමයි. ගොංකං නොකර පින්කම් කරන්නේ කොහොමද කියලා අපි ජනතාවට කියලා දෙනවා. අපේ විහාරස්ථානයේ දායක සභාව, බෞද්ධ කාන්තා සමිතිය, ශීල සමිතිය මෙම පුදබිම දියුණු කිරීම සඳහා ප‍්‍රබල දායකත්වයක් ලබාදෙනවා. අපි යහපත් ආකල්පයෙන් හොඳ දේ කරනවානම්, ඒ සියලූ සත්කාරයන් නිසා විශ්ව ශක්තිය තුළින් ධර්මය තුළින් සදහම් සුවය මෙලොව පරලොව ලබාගෙන ලෞකික වශයෙන් නිවන් සුවය අපේක්ෂාවෙන් මේ පින්කම් සිද්ධ කරගන්න යෙදුණා…ඒ වගේම බිතුසිතුවම් අනුරූ සහිත සර්වඥධාතු මන්දිරය ඉදිරියේදී පොදු මහජනතාවගේ වැඳ පුදා ගැනීමට විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

කරුණාව තිබෙන්නේ ඕනි පන්සලේ. නමුත් අද කරුණාවෙන් නැත්තෙත් පන්සලේ අපි ශද්ධ‍්‍රා සම්පන්නව දුර බලලා පින්කම්, යුතුකම් කරලා ජීවිතය තුළින් මෙලොව පරලොව දෙලොව ජීවිතය සැපවත් කරගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ නිසා මෙම පන්සල තුළින් සිදු වූ මෙහෙවර අපි නොපිරිහෙලා අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. එනිසා බොදු මහජනතාවගේ ප‍්‍රශංසාව, ඇගයීම මෙම පූදබිමට ලැබී තිබෙනවා. පන්සල දියුණු වෙනවා කියන්නේ ගොඩනැගිලි ඉදිවීම පමණක් නොව ජනතාවගේ සිත් සතන් තුළට ධර්මයේ යහපත් සිතිවිලි එකතු කර යහපත් සමාජයක් ගොඩනැගීමයි. කොරොනා උවදුර මැද වුවද අපි සාර්ථක ආකාරයෙන් ආගමික කටයුතු සිදුකරමින් සිටිනවා යැයි ගම්පහ නාරද හිමිපාණන් පවසා සිටින්නට වූහ.

දිනක් මෙම ලියුම්කරු මෙම පුද බිමේ සිටින විට විහාරාධිපති හිමියන් එනතෙක් මෙම පුද බිම අසල අයෙක් සිටින්නට විය. මහත්තයෝ මේ ලොකු හාමුදුරුවෝ හරි පුදුම හාමුදුරුනමක්. මම දවසක් බඩගින්නෙ දවස් ගානක් හරියට කන්නෙ නැතිව එක පන්සලකට ගියා. දවස් ගානක් හරියට කෑමක් නෑ. කෑම ටිකක් දෙන්න කිවුවහම ළමයෝ මේ කෑම ටික ගිහින් වළට දාපන් කියලා. හතර වටෙන් එන උන්ට කන්න දෙන තැනක් නෙමෙයි කියලා හාමුදුරුවො පන්සලේ වැඩට හිටපු අයට කිව්වා. ඊට පස්සේ මං තව පන්සලකට ගියා. එහෙනුත් මට කන්න යමක් ලැබුණේ නෑ. මම ඊට පස්සේ නාමල්තලාව මේ පන්සලට ආවා. ලොකු හාමුදුරුවෝ දානෙ වළදන්න හදනවා. ඒ දානෙන් කොටසක් මට දුන්නා. ඒ විතරක් නෙවෙයි මගේ ගෙදර දරුවන්ට කන්න ආහාර ඇතුළු බොහෝ දේ දුන්නා මට නිවසක් තිබ්බෙ නෑ පස්සේ කුරුණෑගල ආබාධිත අය වෙනුවෙන් ඉදිවන

ගම්මානයක නිවසක් ලබා දෙන්න හාමුදුරුවෝ කටයුතු කරා. හාමුදුරුවෝ පඩි අරගත්තට පස්සේ සෑම 25 දායින් පස්සේ මට එන්න කියලා තියෙන්නෙ. මට ගියාම මුදල්, හැම මාසයකම කිරි පිටි, ජීවත් වෙන්න පුළුවන් බඩු මල්ලක් දෙනවා යැයි මෙම විහාරාධිපති නාරද හිමියන් මුණ ගැසෙන පැමිණි අයකු පවසා සිටින්නට විය.

මේ කථාව පවසා සිටියේ නාමල්තලාව පදිංචි සාම විනිසුරුවරයෙකු වන කේ. එම්. මුතුබණ්ඩා මහතාය.

දවසක් විහාරාධිපති නාරද හිමි අම්පාර බස් නැවතුමේ සිටිද්දී බදුල්ල ඉදන් අම්පාරට එන ලංගම බස් එකේ කොන්දොස්තර මහත්තයයි රියදුරු මහත්තයයි කරපු කතාවක් ඇහිල තිබ්බා. උදේ පාන්දරම අපි බදුල්ලෙන් ඇවිල්ලා අම්පාරෙන් දවල්ට යනවා බදුල්ලට යන්න.

ගෙදරින් උදේට කෑම එකක් හදලා දවල්ට කන්න දෙන්නෙ නැහැ. හැමදාම ගොඩක් වෙලාවට කඩවල ජරාව කන්න තමයි වෙලා තියෙන්නේ. අපේ ගෙදරත් එහෙමයි. හවසට ගෙදර කොරියාවක් වගේ. ටීවි එක ළග තමයි ඔක්කොම කියලා කොන්දොස්තර කීය. බස් රථය පණ ගන්වන්නට මොහොතකට පෙර නාරද හිමියෝ මට ඔය මහත්වරු කතා කරන දේ ඇහුණා. හෙට උදේ ඉඳන් හැමදාම දවල් ආහාරයට පන්සලෙන් ලබාදෙන්නම්. බස් රථය නතර කරලා පන්සල ළග ඒක අරන් යන්න. එදා පටන් වසර පහක් තිස්සේ එම බස් රථයේ මොන රියදුරා ආවත් හැමදාම දිවා ආහාරය ලබාදීම මෙම පන්සලෙන් සිද්ධ වෙනවා. ඒ වගේම ගම්මානේ ජනතාව වෙනුවෙන් අපේ නායක හාමුදුරුවෝ දිවා ? නොබලා කටයුතු කරනවා. ගම දිනෙන් දින විශාල දියුණුවක් ලබලා තියෙන්නෙ අපේ ලොකු හාමුදුරුවෝ කරන කැපවීමේ ප‍්‍රතිඵලයක් නිසයි. අපේ පන්සල ලංකාවටම ආදර්ශයක් ගන්න පුළුවන් පුදබිමක් කියලා බය නැතුව කියන්න පුළුවන් යැයි මුතුබණ්ඩා මහතා පවසා සිටින්නට වූවේය.

මෙම අපූරු පුදබිම පිළිබඳ විහාරාධිපති හිමියන්ගේ ගුරුහිමියන් වන උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

නාරද හිමිපාණන් කියන්නේ සංඝ සමාජයට මහා ආදර්ශයක් දෙන රටට දැයට සමයට මහා මෙහෙවරක් කරන අභීත මහා පෞරුෂයක් හිමි සඟරුවනක් ලෙස අවිවාදයෙන් සඳහන් කරන්නට පුළුවන්. උන්වහන්සේ නාමල්තලාව පුදබිම තහඩු මඩුවක සිට දැකුම්කළු මනරම් පුදබිමක් බවට පත්කරන්නට මහා කැපීමක් කරා. එනිසා අද දිගාමඩුල්ල මිටියාවතේ පමණක් නොව නාමල්තලාව ශෛලබිම්බාරාමය ලංකාව පුරා ප‍්‍රසිද්ධියට පත්ව තිබෙනවා. උන්වහන්සේ කටයුතු කරන්නේ ජනතාව කෙරෙහි ඇතිවූ මහා මානව කරුණා ගුණයෙන් උන්වහන්සේගේ ගුරු හිමියන් ලෙසට මට සතුටක් දැනෙනවා අපේ ගෝල හිමිවරුන් මේ ආකාරයට වෙහෙර විහාර දියුණු කරමින් මහා සමාජ සත්කාර සිදු කරමින් බුදු ගුණයේ බලමහිමය ලොවට විදහා පාන ආකාරය දුටුවහම. නාමල්තලාව ශෛලබිම්බාරාමයට යන කෙනෙකුට උන්වහන්සේගේ හැකියාව දක්ෂකම සහ එම පුද බිමේ තිබෙන වෙනස්කම් පිළිබඳ මනා අවබෝධයක් ලැබෙනවා.

කොරෝනා වසංගතයෙන් රටම ගිල ගනිද්දී උන්වහන්සේ අභීතව අඛණ්ඩව පන්සලෙන් විය යුතු මෙහෙවර අඛණ්ඩව ජනතා වෙනුවෙන් සිදු කරා. සමාජ අසාධාරණයක් දුටුවිට අභීතව හ`ඩ නගනවා. උන්වහන්සේගේ ඒ විශිෂ්ට මෙහෙවරට මා සුබ පතනවා යැයි ද සෝමරතන නාහිමියන් ‘‘ඉරිදා දිවයින’’ට අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

මේ පුද බිමේ අපූර්වත්වය පිළිබඳව විහාරාධිපති නාරද හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් වන නාමල්තලාව විද්‍යාලයේ ගුරුවරයෙක් වන සමගිපුර විමල හිමියෝ මෙලෙස පවසා සිටින්නට වූහ.

අපේ විහාරස්ථානයට අනුබද්ධිත ශ‍්‍රී ධර්මාශෝක ධර්මායතන පිරිවෙනේ භික්ෂූන් වහන්සේ තිස් දෙදෙනෙක් ඉගෙනුම ලබනවා. අප පුදබිමේ පෙර පාසලක් පවා තිබෙනවා. ලොකු හාමුදුරුවන් වහන්සේ හැමදාම පාන්දර හතරට අවදි වෙනවා. පොඩි හාමුදුරුවරු පාන්දර පහටයි අවදි වෙන්නේ. උන්වහන්සේ විහාරාධිපති හිමියන් කියා නිකන් සිටින්නේ නැහැ. උදේ පාන්දර උන්වහන්සේ පන්සල් වත්තේ කොටසක් අතුගානවා. ඒ වගේම පියකු සේ හිමිවරුන්ට නිසි උපදෙස් ලබා දෙමින් ආරක්ෂාව ලබාදෙනවා. පොඩි හාමුදුරුවරු හතරට පහට නැගිටලා පිරිසිදුවෙලා අක්කර අටක් පවතින පන්සල් වත්ත පිරිසිදු කරනවා. උදෑසන හය වෙද්දි මේ පුදබිම මිදුල ඇමදිලා ඉතා දර්ශනීය සිල් සුවඳ, මල් සුවඳ, දම් සුවඳ පිරී ඉතිරෙන පුදබිමක් බවට පත්වෙලා තිබෙනවා. අපේ පුදබිමට අමුත්තන් කවුරු ආවත් බයවෙන්න දෙයක් නෑ. වතු සුද්ද කර කර දඟලන්න දෙයක් නෑ. හැම වෙලාවෙම අපේ පුදබිම පිරිසුදු වෙලයි තිබෙන්නේ. සමහර ස්ථානවලට උත්සවයක් තියන්න ලොකු අමුත්තෙක් ආවොත් මාසයක් තිස්සේ පිරිසිදු කරන්න වෙනවා. හැබැයි අපේ පුද බිම් ඕනෑම වෙලාවක ඕනෑම ඉහළ නිලධාරියෙක් අමුත්තෙක් ආවත් කිසි දෙයක් කරන්න ඕනේ නෑ. ඒ හැම වෙලාවෙම පිරිසිදුව තිබෙන නිසා අපේ ලොකු හාමුදුරුවො මෙම පුදබිම දියුණු ගම්මානයේ ජනතාවගේ සිත් සතන් ප‍්‍රබෝධවත් කරමින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩනංවන්න ඔවුන්ගේ ජීවිතය ගොඩනඟන්න නිරන්තර සහය ලබා දෙනවා යැයි විමල හිමියෝ පවසා සිටින්නට වූහ. මේ පිළිබඳව අදහස් දැක්වූ නාමල්තලාව නිශාන්ත සම්පත් කුමාර මහතා මෙලෙස අදහස් දක්වන්නට වූවේය.

දිගාමඩුල්ල මිටියාවතේ තියෙන අපූරු පුදබිමක් තමයි නාමල්තලාව පුදබිම. ඉහළ අය කියලා ඉන්න සමාජයේ ගැටෙමින් මම කාලයක් ජීවත් වුණා. හැබැයි මම දැක්කේ ගොඩක් නරක පුරුදු, නරක දේ ඒවායෙන් මිදෙන්නට මට හැකි වුණේ යහපත් පුද්ගලයෙක් වශයෙන් ජීවත්වීමට හැකි වුණේ අපේ ලොකු හාමුදුරුවන්ගේ අවවාද උපදෙස් නිසා. එනිසා මා වැරදි පාරේ ගියෙ නෑ. මා පමණක් නොව මේ ප‍්‍රදේශයේ සිය දහස් ගණන් ජනයා යහපත් බවට පත්වුණේ අපේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් සහ මගපෙන්වීම නිසා. අතීතයේ වැවයි, දාගැබයි, ගමයි සංකල්පය යන තේමාවට අනුගත වෙමින් උන්වහන්සේ මහා මෙහෙයක් සිදුකරනු ලබනවා. ගමේ ගැටලූවක් ඇති වුණොත් යම් පුද්ගලයන් අතර මතභේදයක් ඇති වුණොත් පොලිසියට උසාවියට යන්නට පෙර ගමේ අය පන්සලට පැමිණිලා ගැටලූ විසඳා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. දඩ නැති නඩු නැති උසාවි නැති අපූරු ක‍්‍රමවේදයකට උන්වහන්සේම ගැටලූ විසඳනවා. එනිසා ජනතාව තුළ මහත් ප‍්‍රසාදයක් මේ පුදබිම් කෙරෙහි තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ ගමේ ජනයාට රැකියා ලබා දෙන්නට කිසිදු දේශපාලන භේදයෙන් තොරව උන්වහන්සේ මූලික වූවා. ගමට විදුලිය ජලය වැනි පොදු අවස්ථාවන් සපුරා දෙමින් ගමත් සංවර්ධනය කරන්නට උන්වහන්සේ දිස්ත‍්‍රික්කයේ නායකයන් සමග සහ නිලධාරීන් සමග එකට එකතු වෙමින් කටයුතු කරනු ලබනවා. ඒ සමඟම ජනතාවගේ ගැටලූ මතුවන්නේ කුමන අවස්ථාවේදී ද ඒ සඳහා විසඳුම් ලබාදෙන්නට අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කර ගැනීමෙන් ලියුම් ලියමින් ඔවුන් දැනුවත් කරමින් ඒ ගමේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. පසුගිය සමයේදී උන්වහන්සේ තමන්ගේ වැටුපෙන් කොරෝනා රෝගීන් සිටි සෑම ගෙදරටම බඩු මල්ලක් ලබාදුන්නා. ඒ වාගේම පසුගිය සමයේ කොවිඞ් හැදිලා මියගිය අයගේ මළ ගෙවල්වලට බොහෝ දෙනෙක් ගියේ නෑ. සමහර පන්සල් ඉබ්බ දාලා වහලා තිබ්බේ. දාන මාන එපා කිව්ව. ජනතාවගෙන් ඒ දානයට අවශ්‍ය මුදල් පමණක් ලබාගෙන හිටියා.

හැබැයි නාමල්තලාව අපේ පන්සලේ කවදාවත් ගේට්ටු වහල තිබ්බෙ නෑ කොරෝනා හැදිලා මියගිය අයගේ පාංශුකූල දෙන්නත් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව උන්වහන්සේ ගියා. පසුගිය සමයේදී හැම දිනයකම කඨින චීවරය ගමේ නිවෙස් වල තබමින් සෑමදාම බණ කියමින් මහ සමාජ සත්කාරයෙන් කරා. හැබැයි අවට පන්සල්වලට කොරෝනා වසංගතය පැතිර ගියත් මහා මෙහෙවරක් සමාජයට සිදු කරන මෙන් නාමල්තලාව පුදබිමේ හිමිවරුන්ට කොරෝනා රෝගය වැළඳුනේ නැහැ. ඒ විශ්ව ශක්තිය බලයෙන්, යහපත් ආකල්ප හා යහපත් සාරධර්ම නිසා බුදු ගුණ බුදු බලය මේ විශ්ව ශක්තියේ බලයෙන් ලැබුණේ. මෙම පුදබිමේ මාසයක් තුළදී දවස් විසි හතකින් අවුකන බුදු පිළිම වහන්සේ නමක් ඉදිකර නිර්මාණය කරන්නට කොරොනා මැද උන්වහන්සේගේ මහා කැපීවීම නිසා හැකිවුණා. මෙම පුදබිම් ජනතාවගේ මුදල් මංකොල්ල කන තැනක් බවට පත්වන්නේ නෑ. මෙම පුදබිම බඩගින්නේ එන ජනතාවට ආහාර වේලක් ලබාදෙන, දුප්පත් ජනතාවට පිහිට වෙලා ජීවත්වෙන මංපෙත් විවර කරන පුදබිමක් බවට පත්ව තිබෙනවා යැයි නිශාන්ත මහතා අදහස් දක්වමින් පවසා සිටින්නට විය.

මේ මනරම් පුදබිමේ කුඩා සාමණේර හිමිවරුන් වැඩ වාසය කරනු ලබන්නේ මහත් සතුටිනි. ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම මත උපදෙස් මත දිනපතා ආගමික වතාවත් සිදුකරනු ලබයි. කොරෝනා වසංගතයේ වුවද රටට ජනතාවට සෙත් පතමින් පිංකම් සිදු වෙමින් තිබේ. බුදු ගුණ බලයෙන් විශ්ව ශක්තියේ බලයෙන් රටට ගමට සෙත් ශාන්තිය උදාවෙනු ඇතැයි ජනතාව තුළ දැඩි විශ්වාසයක් ඇතිව තිබේ. පසුගිය කොවිඞ් සමයේ විහාරාධිපති හිමියන්ගේ සහ ප‍්‍රධාන ගෝල හිමි වන විමල හිමියන්ගේ වැටුපෙන් ජල බෝතල් මිලට ගෙන පිරිත් දේශනා කර ප‍්‍රදේශයේ ජනතාවට බෙදාදී මෙම නාමල්ඔය බල ප‍්‍රදේශය පුරාවටම මංමාවත් ඉසින්නට වූහ. ගමෙන් පන්සලට පමණක් නොව පන්සලෙන් ගමට යන සංකල්පය ඔස්සේ මහා පින්කම් සිදුවෙමින් තිබේ. ගොන්කම් නොකර පින්කම් කරන්නට නාමල්තලාව ශෛලබිම්බාරාමය අපූරු පුදබිමකි. ඉදිරියේදී මෙම පුදබිමේ අඩි 60ක් දිග අඩි 20ක් උසැති මහා සැතපෙන විස්මිත බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් ඉදි කිරීමට සියලූ කටයුතු සිදු කර තිබෙන අතර එය ව්‍යාපාරික ආසිරි වීරකෝන් මහතාගේ සහ කැලූම් මහතාගේ සුරතින් ආරම්භ කිරීමට නියමිතව තිබේ. වන ජීවි සහ වන සංරක්ෂණ රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාගේ අනුග‍්‍රහය යටතේ ඉදිරියේදී භික්ෂු නේවාසිකාගාරයක් ඉදිකිරීමට නියමිතව ඇත. අභිනවයෙන් ඉදිකරන ලද අවුකන පිළිම වහන්සේ කිරිදිවෙල සෝමරතන නාහිමියන්ගේ සහ අම්පාර අතිරේක දිසාපති සොයිසා සිරිවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන්දනා මානයට නිරාවරණය වෙනු ඇත.

ඒ සමගම කොරෝනා වසංගතය මැද දිගාමඬුල්ලේ යශෝරාවය හා ප්‍රෞඪත්වය විදහා පාමින් කලාභූෂණ සම්මාන ලාභී ඞී. තිලකසිරි මහතාගේ විස්මිත නිර්මාණයක්වූ දින 27 කින් ඉදි වූ රමණීය අවුකන ප‍්‍රතිමාව අම්පාරේ ව්‍යාපාරික ජී. ඞී.පී. ධම්මික මහතාගේ සහ වෛද්‍ය විලි වික‍්‍රමආරච්චි මහත්මිය ඇතුළු ප‍්‍රදේශවාසීන්ගේ පරිත්‍යාගයෙන් නිශාන්ත සම්පත් මහතා ඇතුළු දායකයන්ගේ සම්බන්ධීකරණයෙන් ඉදි වන්නට වූහ.

ජනයාගෙන් ලැබෙන ආධාර, පින් පත්තර මත කෝටි ගණන් මුදල් ලැබී බැංකු ගිණුම් පුරවන පුදබිම් ලංකාව පුරා පිරී ඉතිරී යද්දී නාමල්තලාව ශෛලබිම්බාරාමයේ ඇත්තේ නිරන්තරයෙන් කාරුණිකත්වය පිරි මානව දයාව පිරුන සිල් සුවඳ විකසිත අපූරු පුදබිමකි.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment