කොරෝනා සමඟ සෙල්ලම් එපා!

449

පසුගිය අපේ‍්‍රල් මාසයේදී සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ඇති වූ තෙවැනි කොරෝනා රැල්ල අපට ගෙනදුන් ප‍්‍රතිඵල අති භයානක විය. දිනකට කොරෝනා රෝගීන් දෙතුන්දහසක් හමුවෙද්දී මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගියේය. ඒ වනවිට සෞඛ්‍ය අංශ පළකර තිබූ අනාවැකි සනාථ විය. ජනතාවගේ හිතුවක්කාරි හැසිරීම මේ සියලූ දේට හේතු සාධක විය. අනවශ්‍ය ආකාරයෙන් නුවරඑළිය, කතරගම, අනුරාධපුරය, පොලොන්නරුව ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සංචාරක කටයුතුවල නිරත වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව එතරම් තැකීමක් නොකළ බව ද නිරීක්‍ෂණය විය.

මේ සියලූ කාරණාවල අවසන් ප‍්‍රතිඵලය වූයේ යළිත් රට වසා දැමීමට සිදුවීමය. පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ රට වසා දැමීම කළ හැකි කාර්යයක් නොවිණි. එහෙත් දිනෙන් දින ඉහළ ගිය කොරෝනා මරණ හමුවේ රට වසා දැමීමට රජයට සිදුවිය. එම අවස්ථාවේදී විපක්‍ෂය පවා සඳහන් කළේ ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය රට වසා දැමීම බවය. රෝහල්වල ඇඳන් ධාරිතාවය ඉක්මවා මෙරට කොරෝනා රෝගීන් වාර්තා වෙද්දී ගෘහස්ථව ද හිඳිමින් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවලට සිදු විය. කෙසේ වුවද සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ සහ රජයේ සෙසු නිලධාරීන් ඇතුළු ජනතාව ද කළ කැපකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස අපට කොරෝනාවට ගොදුරු වන ප‍්‍රමාණය සහ කොරෝනා මරණ අඩුකර ගැනීමට හැකි විය. එම තත්ත්වය තුළ පසුගිය 31 වැනිදා සිට රටේ පනවා තිබූ සියලූ සංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමට සිදු විය.

භාණ්ඩාගාරයේ පත්ල හිඳී ඇති අතර, රටේ ආර්ථිකය යළි හුස්ම ගන්නා තත්ත්වයට පත්කර ගැනීම සඳහා යළි රට විවෘත කිරීම අත්‍යවශ්‍ය කරුණක් විය. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුතු ප‍්‍රධාන කාරණය වන්නේ අප රටෙන් මේ වන විටත් කොරෝනා උවදුර මුළුමනින්ම පහව ගොස් නැති බවයි. අදටත් දිනකට කොරෝනා මරණ දහයකට වැඩි ප‍්‍රමානයක් හා ආසාදිතයන් පන්සියයක් පමණ වාර්තා වන තත්ත්වයක් උද්ගතව ඇත. එනිසා කොරෝනාව සමඟ තවදුරටත් අප ජීවිත කළමනාකරණය කර ගැනීමට බුද්ධිමත් විය යුතුය.

එහෙත් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම් යළිත් කොරෝනා රැල්ලකට අත වැනීමක් සිදුකරන බවයි. තවමත් දිනකට කොරෝනා මරණ 10ත් 25 ත් අතර ප‍්‍රමාණයක් වාර්තා වෙද්දී පන්සියයක් හයසියයක් පමණ කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි. එනිසා ඉදිරියේදී ඇති විය හැකි අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා නිවෙසින් පිටවන සෑම අයකුම මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතු බව ශවේන්‍ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටී.

මේ අතර අප රටේ ගොවි, ගුරු සහ දෙමාපියන් මෙන්ම තවත් වෘත්තීය සමිති විවිධ උද්ඝෝෂණ පටන්ගෙන තිබේ. තම අයිතීන් දිනා ගැනීම සඳහා වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට පිවිසීම මේ රටේ විවිධ පාර්ශ්වවලට ඇති අයිතිය පිළිබඳව විවාදයක් නැත. එහෙත් උද්ඝෝෂණ කරන සියලූදෙනා අනිවාර්යයෙන් ම සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද සියයට සියයක්ම අනුගමනය කළ යුතුමය. ඇතැම් අවස්ථාවලදී සමහර උද්ඝෝෂකයන්ට කොරෝනා මේ රටේ තවමත් පවතින බව අමතකව තිබීම කනගාටුවට කරුණකි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනු ලබන්නේ උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග තුළින් යළිත් කොරෝනා රැුල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ශවේන්‍ද්‍ර සිල්වා, උපුල් රෝහණ යන මහත්වරු මෙන්ම සෙසු පාර්ශ්ව කොරෝනා සම්බන්ධයෙන් පළ කරන මත කවුරුන් හෝ සැහැල්ලූවට නොගත යුතුය. සුළු පිරිසකගේ හිතුවක්කාරි ක‍්‍රියා නිසා මුළු රටටම විඳවන්නට වුවහොත් එය මහා අපරාධයක් බව කිව යුතුය.

මේ අතර තවමත් අප රටේ කොරෝනා එන්නත ලබා නොගත් සුළු පිරිසක් ද වෙති. මෙම සුළු පිරිස නිසා රටේ බහුතර ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අප පුවත්පතට අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබිණි. මෙම සුළු පිරිසට කොරෝනා එන්නත් ලබා ගන්නැයි බල කළ නොහැකි වුවද, මෙම මොහොතේ සිය පුරවැසි වගකීම ඉටුකිරීම සියලූ දෙනාගේ වගකීම බව අප අමතක නොකළ යුතුව ඇත.

මෙම සියලූ තත්ත්වයන් හමුවේ අපි යළිදු මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ හැකි සෑම අවස්ථාවකම කොරෝනාවෙන් පරිස්සම් වන ලෙසයි. කොරෝනාව සමඟ සෙල්ලම් කළහොත් ඉන් අත්විය හැකි ප‍්‍රතිඵල භයානක බව අප අමුතුවෙන් මතක් කළ යුතු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment