කොරෝනා සුව වූ පසු යළි සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට බාධාවක් නෑ – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම

243

කොරෝනා රෝගය වැළඳී සුව වූ පසු යළි සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට බාධාවක් නැතැයි අංගොඩ බෝවන රෝග ප‍්‍රතිකාර ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පැවසීය. කොවිඞ් සුවවූ පසු සිරුරේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයක් පමණ යන බවත්, කොරෝනාවලින් පසු අධික වෙහෙසක් අසාමාන්‍ය හතියක් ඇතිවන බවට ඇතැමුන් කරන ප‍්‍රකාශවල කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘බොහෝ දෙනා කොවිඞ් වැළඳුණු පසු බියට පත්වෙනවා. මාසයක් පමණ යනතුරු තමාට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න බැරිවෙයි කියා සිතනවා. ඒනිසා ඇතැමුන් කිසිදු වෛද්‍ය උපදේශයකින් තොරව මාසයක් පමණ යනතුරු කිසිම වැඩ කටයුත්තක නිරත නොවී ඇඳටම වී කාලය ගත කරනවා. ඇඟපත වෙහෙසන්නේ නැතිව මාසයක් පමණ ඇඳටවී විවේකීව සිටින විට කොහොමටත් සිරුරේ ක‍්‍රියාකාරීත්වය අඩුවෙනවා. මෙය කොවිඞ් පශ්චාත් මානසික තත්ත්වයක්.

දැන් බලන්න කොවිඞ් වැළඳුනු වෛද්‍යවරුන් දින 14කින් රෝගය සුව වූ පසු යළි සේවයට වාර්තා කරනවා. ඉතිං ඒ අය ඔය අගේට වෙනදා වගේ වැඩ කරනවානෙ. එසේනම් ඉතිං ඒ අයටත් ඔය කියන හතිය, ඇඟ දුර්වල වීම සිදුවිය යුතුයිනෙ. මේ සියල්ල මානසික තත්ත්වයක්. එනිසා කොරෝනා සුව වූ රෝගියකුට වෛද්‍යවරයෙක් උපදෙස් දෙනවා නම් දැන් ඔබ වෙනදා මෙන් සාමාන්‍ය කටයුතුවල නිරත වෙන්න කියා එය පිළිගන්න. විවිධ බරපතළ රෝග ඇති අයට කොරෝනාවලින් පසු යම් දුර්වලතාවක් ඇතිවිය හැකියි. එවැනි රෝගීන් සඳහා වෛද්‍යවරුන් අවශ්‍ය උපදෙස් දෙනවා.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment