කොරෝනා හමුවේ පුරවැසි වගකීම

218

රටපුරා නිරෝධායන ඇඳිරිනිතිය පනවනු ලැබුවේ අගෝස්තු මස 20 වැනිදා ය. එසේ පනවනු ලැබූ නිරෝධායන ඇඳිරිනිතිය මෙම 21 වැනිදා ඉවත්කිරීමට නියමිතව තිබුණත් සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන්ගේ ඉල්ලීම මත එය ලබන මස 01 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

රටක් වසාගෙන සිටීමෙන් ආර්ථිකයට වන හානිය සුළුපටු නොවේ. එවැනි තත්ත්වයක් හමුවේ රජය මෙම තීරණය ගෙන ඇත්තේ අසීරුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

තත්ත්වය එසේ වුවද ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගත හැකි මට්ටමකට රට තුළ යම් නිදහස් වටාපිටාවක් තිබෙන බව ද පෙනේ. එම නිදහස වල්බූරු නිදහසක් කර නොගැනීමේ වගකීම ඇත්තේ ජනතාවට ය. එහෙත් සමහරුන්ගේ ක‍්‍රියාකලාපය ඉතාමත් අශෝබන සහගතය. කිසිදු හේතුවක් නොමැතිව වීදි සංචාරය කරන පිරිස් මේ මොහොතේ දැකගත හැකිය. ඔවුන් සිදුකරනුයේ බරපතළ වරදකි. කොවිඞ් රෝගය මුළුමනින්ම පාලනය නොවී තවමත් දිනකට මරණ 100 කට වඩා වාර්තා වන අවස්ථාවක වගකීම් විරහිතව ක‍්‍රියාකිරීමට කාටවත් අයිතියක් නොමැත. එසේ නිරෝධායන ඇඳිරිනීතිය කඩකරමින් බදුල්ල නගරයට පැමිණි පුද්ගලයන් 230 කගේ ඇන්ටිජන් පරීක්‍ෂාවක් ඉකුත් 15 වැනිදා සිදුකරන ලදි. එම පරීක්‍ෂාවේදී කොවිඞ් ආසාදනය වූ 37 දෙනකු සොයාගත් බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පියල් පත්ම මහතා පවසයි.

වාර්තා වන කොවිඞ් ආසාදිතයන් හා මරණ අනුව අප රට තවමත් පවතිනුයේ අවදානම් ‘රතු කලාපයේ’ බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයයි. එනිසා කුමන හේතුවක් නිසා හෝ රංචු ගැසී කොවිඞ් ව්‍යාප්තියට මග සැලැස්වීම මේ මොහොතේ නොකළ යුතුය.

කොරෝනා රෝගය බොහෝ විට බෝවීම සිදුවන්නේ එම වෛරසය ආසාදනය වූ තැනැත්තකුගෙන් පමණි. වෛරසය ආසාදනය වී රෝග ලක්‍ෂණ නොපෙන්වන බොහෝ දෙනෙක් ද සමාජයේ සිටීමට පුළුවන. නමුත් මේ සියලූදෙනා රෝග වාහකයෝ වෙති. එනිසාම නියමිත අයුරින් මුහුණ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. තමන් ආරක්‍ෂා වුවහොත් තමන් මෙන්ම තම ආදරණීයයන් ද ආරක්‍ෂා වන බව සෑම දෙනාම සිහියේ තබාගත යුතුය. මේ මොහොතේ අප රටේ සියලූ පුරවැසියන් තමන් අබිමුව ඇති පුරවැසි වගකීම නිසි ලෙස ඉටුකළහොත් කොරෝනාවෙන් අප රට ගලවා ගැනීම සඳහා මනා පිටිවහලක් වන බව තරයේ සිතට ගත යුතුව ඇත.

කොවිඞ් අස්සේ ජනතාව සූරාගෙන කන වෙළෙඳුන් පිළිබඳව වෙනම සොයාබැලිය යුතුය. ආර්ථික මධ්‍යස්ථානවලින් ඉතා අඩු මිලට ගනු ලබන එළවළු සහ පලතුරු අධික මිල ගණන්වලට විකුණන වෙළෙන්දෝ අනන්තවත් වෙති. ඇතැම් මාළු වෙළෙන්දෝ ද ජනතාවට මාළු සපයනුයේ අධික මිලගණන්වලට ය. ඇතැම් අවස්ථාවලදී මාළුවල තත්ත්වය ඉතාමත් අයහපත් මට්ටමේ පවතී. කොරෝනා විපතින් රට හෙම්බත්ව තිබියදී ජනතාව සූරාගෙන කන මෙවැනි වෙළෙඳුන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුව ඇත.

මේ මොහොතේ රට පත්ව ඇති තත්ත්වය අනුව වඩාත් අසරණ වූ පිරිසක් සමාජයේ වෙති. ඒ එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත්වන අයයි. දවසේ උපයා ගන්නා සොච්චමෙන් පවුල් රකින මෙම කොට්ඨාසයට යම් සාධාරණයක් කළ යුතුව ඇත. රුපියල් 2000 ක දීමනාවක් පසුගිය කාලයේ ලබා දුන්න ද ඉන් මෙපිට ඔවුනට ලැබුණු කිසිදු සහනයක් නොමැත. අනෙක් අතට රුපියල් 2000 කින් අද දවසේ කළ හැක්කේ කුමක්ද යන ප‍්‍රශ්නයත් අප හමුවේ ඇත. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට යම් දීමනාවක් ලබාදීමට රජයට යම් දුෂ්කරතා තිබිය හැක. එහෙත් අනවශ්‍ය වියදම් කපා දමා හෝ යම් කැපවීමක් කර කොරෝනාව නිසාම ජිවිකාව අහිමි වු අසරණයන්ට පිහිට වීමට යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment