කොරෝනා හැදුණු මගේ අම්මා සහ තවත් පිරිසක් වැඩිහිටි නිවාසයේ කාමරයක සිරකරගෙන සිටින බව ඇය මට කතා කර කීවා

228

* කොරෝනා හැදී මියගිය කාන්තාවකගේ මරණ පරීක්ෂණයේදී දියණියක් සාක්ෂි දෙමින් කියයි

සීදුව අමුණ පාරේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටි මාගේ අම්මාටත් තවත් කිහිප දෙනෙකුටත් කොරෝනා හැදිලා එයාලව කාමරයකට දාලා දොර වහලා තියෙන්නේ කියලා අම්මා මට කතා කර කීවා. මගේ පපුව රිදෙනවා නිවාසේ අයට කෝල් කරලා කියන්න කියලාත් අම්මා මට කීවා. මම නිවාසෙට කතා කළත් ෆෝන් වැඩ කළේ නෑ. පසුව අම්මාව ගම්පහ රෝහලට ගෙනැවිත් මියගියාට පසු වැඩිහිටි නිවාසෙ පාලක ඇමතුමක් ලබාදී අම්මා රෝහලේදී මියගිය බව මට කිව්වා. අම්මා මියගියාට පසු දැනුම් දීම ගැන මා කණගාටු වෙනවා යැයි කොරෝනා ආසාදිතවීමෙන් මියගිය දෙදරු මවකගේ දියණියක් ගම්පහ හදිසි මරණ පරීක්ෂක පී. පී. ආර්. පී. රාජපක්ෂ මහතා හමුවේ ප‍්‍රකාශ කළාය.

දකුණු සීදුව ,අමුණ පාරේ පිහිටි සමාධි වැඩිහිටි නිවාසයේ සිටියදී රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු ඉකුත් 26 වෙනිදා රෝහිණී බේබි නමැති 78 හැවිරිදි දෙදරු මව ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලේදී මිය ගොස් තිබුණි.

එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණයේදී ඇය කොවිඞ් ආසාදිතවීමෙන් මියගිය බවට පෙරේදා (29) ගම්පහ හදිසි මරණ පරීක්ෂක වෙත වාර්තා ලැබී තිබුණි. ගම්පහ සියනෑ පාරේ සහ උඩුගම්පොළ දොරණාගොඩ පදිංචිව සිටින මරණකාරියගේ දියණියන් දෙදෙනාගෙන් ලිඛිත සාක්ෂි ලබා ගැනීමට හදිසි මරණ පරීක්ෂකවරයා කටයුතු කළ අතර අම්මා සිටි වැඩිහිටි නිවාසයේ එක් කාමරයක කොරෝනා රෝගීන් ද තවත් කාමරයක නිරෝධායනය වන පිරිසක් ද සිටින බවත් ඔවුන්ව එම කාමර වල දොරගුළු දමා වසා ඇති බවත් තවත් පිරිසක් එළියේ සිටින බවත් අම්මා මිය යාමට පෙර ඇමතුමක් ලබාදී පැවසූ බව එක් දියණියක් හදිසි මරණ පරීක්ෂක වරයාට පවසා තිබුණි. නිරෝධායන නීතියට අනුකූලව අවසන් කටයුතු සිදුකරන ලෙසට ඥාතීන්ට උපදෙස් දුන් හදිසි මරණ පරීක්ෂක රාජපක්ෂ මහතා මරණකාරිය සිටි වැඩිහිටි නිවාසයේ පාලක සහ සේවක සේවිකාවන්ගේ නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව ප‍්‍රකාශ සටහන් කරගෙන හදිසි මරණ පරීක්ෂණය අවසන් කරන බවට තීන්දු කළේය.

මරණකාරිය සිටි වැඩිහිටි නිවාසය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසට හදිසි මරණ පරීක්ෂක සීදුව පොලිසියට නියම කළේය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment