කොල්ලකරුවන් මෙල්ල කළ පොලිස් සැරයන්

253

තඹුත්තේගම කෝටි දෙකේ මංකොල්ලය

දිනය පසුගිය 26 වැනිදාය. වෙලාව දහවල් එක පසුවී තිබුණි. එම අවස්ථාවේදී තඹුත්තේගම නගරය වෙනදා මෙන්ම ජනාකීර්ණ වී තිබුණි. ඒ අතර එක්තරා ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 223 ක මුදලකුත් රැගෙන එම නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත පැමිණියේය. ඒ එම මුදල බැංකුවේ තැන්පත් කිරීම සඳහාය.

තම මෝටර් රථය එම පෞද්ගලික බැංකුව අසල නතර කර ව්‍යාපාරිකයා මුදල් මලු දෙකද රැගෙන බැංකුව වෙත යෑමට සූදානම් විය. ඒ සමගම මුහුණ ආවරණය වනසේ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටි දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ ඔහු ඉදිරියේ නතර කළේය. ව්‍යාපාරිකයා ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා බැංකුව ඇතුළට යෑමට උත්සාහ කළේය. එහෙත් ඔහුට යෑමට හැකිවූයේ පියවර කිහිපයක් පමණි.

එක්වරම යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා එයින් බැස එම ව්‍යාපාරිකයාගේ මුදල් මලු දෙක උදුරා ගැනීමට උත්සාහ කළේය. එහෙත් ව්‍යාපාරිකයා එයට ඉඩ දුන්නේ නැත. ඔහු එම පුද්ගලයන් දෙදෙනා සමග පොරබදා තම මුදල් මලු දෙක ආරක්ෂා කරගැනීමට උත්සාහ කළේය. ඒ සමගම එක් පුද්ගලයෙකු සඟවාගෙන සිටි ගිනි අවියක් රැගෙන එම බඳෙන් ව්‍යාපාරිකයාට පහර දුන්නේය. ඒ සමගම ව්‍යාපාරිකයා බිම ඇද ගෙන වැටුණි. එයින් ප්‍රයෝජනය ගත් කොල්ලකරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂ දෙසිය විසි තුනක මුදල් මලු දෙක උදුරා ගත්තේය.

එම අවස්ථාවේදී මෙම මුදල් මංකොල්ලය සිදු කරන අයුරු එම ස්ථානයේ සිටි සමහරු දුටුහ. එහෙත් කිසිවකු එය වැළැක්වීමට ඉදිරිපත් වූයේ නැත. ඒ ජීවිතයට තිබූ ආදරය නිසාය. තවද ව්‍යාපාරිකයා සමග කොල්ලකරුවන් පොර බැදීමේදී මලුවලින් විසිවුණු මුදල් මිටි කිහිපයක් එම ස්ථානයේ වැටී තිබුණි.

කොල්ලකරුවන් මෙල්ල කළ පොලිස් සැරයන්
කොල්ලකරුවන් යටත්කර ගන්නා මොහොත

රුපියල් ලක්ෂ 223 ක මුදල් මලු දෙක ද රැගෙන කොල්ලකරුවන් පලායෑමට සැරසුණි. ඒ සමඟම බිම වැටී සිටි ව්‍යාපාරිකයාව එම පෞද්ගලික බැංකුවේ ආරක්ෂක නිලධාරීන් පැමිණ ආරක්ෂාව සඳහා බැංකු ගොඩනැගිල්ල වෙත රැගෙන ගියේය.

තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ රාජකාරියේ නියුතු සැරයන් බුද්ධික කුමාර රාජකාරි කටයුත්තක් සඳහා එම සිද්ධිය වූ ස්ථානය අසලින් යමින් සිටියේය. ඉතා බුද්ධිමත් නිලධාරියෙකු වූ ඔහුට එම ස්ථානයේ යම් දෙයක් සිදුවී ඇති බව ඉවෙන් මෙන් දැනුණි. තම යතුරුපැදිය මඳකට නතර කර ඔහු සිදුවී ඇත්තේ කුමක්ද ක්‍රියා විපරම් කර බැලුවේය. එහිදී කාන්තාවක් ඔහුට පැවසුවේ මුදල් මංකොල්ලයක් සිදුවී ඇති බවයි. එය ඇසූ පොලිස් සැරයන් බුද්ධික කුමාර වහාම ක්‍රියාත්මක විය. ඒ වන විටත් මංකොල්ල කරුවන් දෙදෙනා යතුරුපැදියේ නැගී පලා යෑමට උත්සාහ කළේය. එහෙත් පොලිස් සැරයන් බුද්ධිකගෙන් ඔවුනට ගැලවීමක් නොතිබුණි. පොලිස් සැරයන්වරයා ඔවුන් අල්ලා ගැනීමට එම ස්ථානයට දිව ගියේය. එය දුටු මංකොල්ලකරුවන් ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේය. එම මිරිස්කුඩු ප්‍රහාරයෙන් ඔවුන්ට පොලිස් සැරයන්වරයා මෙල්ල කිරීමට නොහැකි විය.

මිනිස් කුඩු ප්‍රහාරයෙන් සැරයන්වරයා මෙල්ල කිරීමට නොහැකි වූ තැන එක කොල්ලකරුවකු ගිනි අවිය රැගෙන වෙඩි තැබීමට උත්සාහ කළේය. ගිනිඅවිය තමන් දෙසට එල්ල කළ ද පොලිස් සැරයන් බිය නොවුණි. තම ජීවිතය ගැනද නොතකා පොලිස් සැරයන්වරයා කොල්ල කරුවන් දෙසට දිව ගියේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

කොල්ලකරු පොලිස් සැරයන්වරයාට වෙඩි තැබීමට උත්සාහ කළ ද ගිනි අවිය ක්‍රියාත්මක නොවුණි. ඒ සමගම පොලිස් සැරයන් බුද්ධික කුමාර ගිනිඅවිය උදුරාගෙන එම මංකොල්ලකරුට පහරදී ඔහුව මෙල්ල කර අනෙක් මංකොල්ලකරුටද පැන යෑමට ඉඩ නොදී මෙල්ල කර ගත්තේය. පසුව මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අසල සිටි පිරිස්ද පොලිස් සැරයන්වරයාට සහාය වූහ.

කොල්ලකරුවන් මෙල්ල කළ පොලිස් සැරයන්
පොලිසියේ අනෙකුත් නිලධාරීන් සමඟ

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 හා 50 වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතරොම් 01 ක්, මන්නා පිහියක්, අත්වැසුම්, ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගත්තේය. අනතුරුව තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් පැමිණ සැකකරුවන් දෙදෙනා හා ඔවුන් සතුව තිබූ ගිනි අවිය හා පතරොම් 1, තියුණු පිහිය හා සොරා ගැනීමට උත්සාහ කළ මුදල්, ඔවුන් පැමිණි යතුරුපැදිය ඇතුළු භාණ්ඩ කීපයක් පොලිස් භාරයට ගත්තේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ මෙම මංකොල්ලය සඳහා ආධාර අනුබල දී ඇත්තේ රාජාංගනය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු බවයි. පසුව එම සැකකාර මන්ත්‍රීවරයාවද අත්අඩංගුවට ගත්තේය. එම සැකකාර මන්ත්‍රීවරයා ට අමතරව මෙම මංකොල්ලයට සම්බන්ධ තවත් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගත්තේය. මංකොල්ලයට පැමිණි අයෙකු කලක් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර තිබුණි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් ඔක්තෝබර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

තම දිවි පරදුවට තබා රාජකාරිය අකුරටම ඉටු කළ පොලිස් සැරයන් බුද්ධික කුමාරව පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව රටවැසියන්ගේද ගෞරවාදරයට පත් විය. ඔහු කළ එම නිර්භීත ක්‍රියාව වෙනුවෙන් රුපියල් විසි පන් ලක්ෂයක මුදල් ත්‍යාගයක් සහ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීමක් ද ලැබුණි. එයට අමතරව අඩක් වැඩ නිම කළ ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම නිම කර දීමට ද පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් වී තිබුණි.

මෙවන් දක්ෂ නිර්භීත පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රටටම ආඩම්බරයකි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment