කොල්ලුපිටියේදී සැපරිය ඉගිල්ලී ත්‍රිරෝදයේ රියැදුරු එතැනම මරුට

517

අනතුරින් පසු මෝටර් රියේ සිටි කතුන් දෙදෙනකුට පාරේ සිටි කතුන් 2 ක් අමානුෂික ලෙස පහරදීලා

කොල්ලුපිටිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මරුමුවට පත්වූ අතර, එහිදී ප්‍රකෝපයට පත් කාන්තාවන් දෙදෙනකු විසින් මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකුට ඉතා අමානුෂික ලෙස පහරදීම නිසා තුවාල ලැබූ එම කතුන් දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.

කොල්ලුපිටියේදී සැපරිය ඉගිල්ලී ත්‍රිරෝදයේ රියැදුරු එතැනම මරුට

පෙරේදා (10 වැනිදා) උදේ 6.00 ට පමණ මෙම සුඛෝපභෝගී මෝටර් රථය ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබිණි.

අනතුරින් පසු මෝටර් රථයේ රියැදුරු පලාගොස් ඇති අතර, රථයේ පිටුපස සිටි කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනකුට එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනකු විසින් ඉදලකින් හා අතින් පයින් පහරදී තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ කතුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

මෙම අමානුෂික පහරදීමට සම්බන්ධ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ අනෙක් කාන්තාව හා අනතුරින් පසු පලාගිය සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ කහතුඩුව පොල්ගස්ඕවිට, පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

මෝටර් රථයේ සිටි පිරිස රාත්‍රී සමාජ ශාලාවක සිට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ සුඛෝපභෝගි මෝටර් රථය තුළ රියැදුරු පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් තිදෙනකු ගමන් කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ පිරිස බීමත්ව සිටින්නට ඇතැයි පොලිසිය සැක කරති.

අනතුරින් ත්‍රිරෝද රථයට හා මෝටර් රථයට දැඩි හානි සිදුවී තිබේ.

එම මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවකට අමානුෂික අන්දමින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය වේ.

එහිදී අතුපත ගාන කම්කරු කාන්තාවක විසින් ඉදලකින්ද, නිල් පැහැති ඩෙනිමකින් සැරසී සිටි තවත් කාන්තාවක් අතින්ද පහරදෙන ආකාරය එම වීඩියෝවේ දැක්වේ.

අප මේ සම්බන්ධව ඊයේ (11දා) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීය.

මේ අමානුෂික පහරදීම සම්පූර්ණයෙන්ම නීතිය අතට ගැනීමක්. මේවා අනුමත කරන්නේ නැහැ. තමන් කොච්චර ආවේගශීලී වුණත් මේ විදිහට කාටවත් පහරදෙන්න බැහැ.

මේ පහරදීමට සම්බන්ධ සියලු දෙනාට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment