කොවිඞ් අරන් ගෙදරටම සුරතලා ඇවිත්

403

සමන්තී වීරසේකර

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයා කොවිඞ් 19 ආසාදනය වූ පසුව රට තුළ විවිධ කැලඹීම් ඇතිවිය. සත්ත්වයින් සමග නිරන්නතර ගනුදෙනු කරන බහුතර පිරිස් ඊට මුහුණ දෙන්නේ කවර අන්දමකට ද යන්න කුහුලක් සමග ජීවත්වන්ට පටන් ගත්හ.

මේ සමගම ටොක්සොකරියාසිස් නමැති වටපණු රෝගයක් ලංකාවේ දරුවන් අතර මේ දිනවල පැතිරෙන බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීමත් සමග තත්ත්වය තවදුරටත් වෙනත් ස්වරූපයක් ගත්තේය. දරුවන් මෙකල වැඩිපුර නිවෙස් ආශ‍්‍රිතව විසීමත් සුරතල් සතුන් බල්ලන් බළලූන් සුරතල් කිරීමත් හේතුවෙන් මෙම රෝගය පැතිර යනු ඇතිය යන මතය සමග දෙමව්පියන් බොහෝ සේ කලබල විය. ඒ කලබලයේ අවසන් ප‍්‍රතිඵල ලෙස ඉකුත් සතිය පුරාම රටේ නන් දෙසින් වාර්තා වූයේ සුරතල් සතුන් නිවෙස්වලින් පිටතට ගෙන ගොස් දැමීමට බොහොමයක් වැඩිහිටියන් කටයුතු කර ඇති බවය. ඇතැම් අවස්ථාවල තම දූ දරුවන්ට ද රහසේ නිවෙස්වල සිටි සුරතලූන් අතුරුදන් වී ඇති බවක් ද අසන්නට දකින්නට ලැබිණි. මෙය ඉතා කෲර සහ ම්ලේච්ඡ ක‍්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත . මන්ද මානව සත්ත්වයින් වන මිනිසුන්ගෙන් සිව්පාවන් ඇතුළු තවත් සත්ත්වයින් හට බෝවන රෝග වත්මන් සමාජය තුළ පැතිර යන කාලවකවානුවක වටපණු රෝගයක් පිළිබඳ වූ භීතිකාවෙන් සතුන් අසරණ කරවන පසුබිමක් ඇතිව තිබෙන බැවිණි.

දැනට පවතින තොරතුරුවලට අනුව SARS-CoV-2 සතුන් ගෙන් මිනිසුන් වෙත පැතිරීමේ අවදානම අඩු ය. සැලකිලිමත් විය යුතු කරුණ නම් වයිරසය ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති සතුන් අතර වයිරස් සම්පේ‍්‍රෂණය සඳහා අතරමැදින් :intermediate hosts) ලෙස මෙවැනි සතුන් ක‍්‍රියා කරන්නට ඉඩ තිබීමයි. එමෙන් ම COVID-19ට ගොදුරු විය හැකි විශේෂවලින් සියයට 40ක් පමණ ස්වභාවධර්මය සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (International Union for Conservation of Nature) විසින් ‘තර්ජනයට ලක් වූවන්’ ලෙස වර්ගීකරණය කර ඇති සත්ත්ව විශේෂයන් වීම මෙහි ලා සැලකිලිමත් විය යුතු වැදගත් කරුණකි.

දැනට පවතින තත්ත්වයන් අනුවල මිනිසාගෙන් සත්ත්වයන්ට වයිරස් සම්පේ‍්‍රෂණය වීම හෝ සතුන් ගෙන් මිනිසුන්ට වයිරස සම්පේ‍්‍රෂණය විය හැකි බව සුරතල් සතුන්ගේ හිමිකරුවන්, සත්ත්වෝද්‍යාන සහ සතුන් හසුරුවන අය නිසි ලෙස දැනුවත් ව සිටිය යුතු ය. වයිරසයේ ආරම්භය සහ සම්පේ‍්‍රෂණය වඩා හොඳින් අවබෝධ කරගැනීම සඳහා වැඩිදුර අධ්‍යයනයන් අත්‍යවශ්‍යයග එවිට සතුන්ට අනවශ්‍ය ලෙස අසාධාරණක් සිදුවීම වළක්වාගත හැකි ය. නිවැරැදි සනීපාරක්‍ෂාව, විෂබීජහරණය, සමාජ දුරස්ථභාවය, සමාජ හුදකලාව හෝ නිරෝධායනය වැනි සාර්ථක සහ ඵලදායී වැළැක්වීමේ පියවර ගැන ජනතාව දැනුවත් කළ හැකි වෙයි. එමගින් මිනිසුන් සහ සත්ත්වයින් අතර සම්බන්ධතාවය අවබෝධයෙන් පවත්වා ගත හැකිවනු ඇත.

වයඹ විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා පීඨයේ ආචාර්යය වෛද්‍ය කේ. ජේ. කේ. පේ‍්‍රමරත්න මිය කියා සිටියේ, අනාගතයේ දී COVID-19 වැනි නව නැ`ගී එන (Emerging) රෝග මතු වීම නො වැළැක්විය හැකි බවය. එබැවින් දේශීය හා විදේශීය නියාමන බලධාරීන් විසින් වන සතුන්ගේ රෝගවලට මිනිසුන් නිරාවරණය වීමේ හැකියාව ඵලදායි ලෙස අඩු කරන ශක්තිමත් රෝග පාලන යාන්ත‍්‍රණ වැඩිදියුණු කර ක‍්‍රියාත්මක කළ යුතු බවද ඇය අවධාරණය කරන්නීය. කෙසේ නමුත් වෛරස රෝගවල ගෝලීය අවදානම අවම කිරීම සඳහා මිනිසුන් කෙරෙහි පමණක් අවධානය යොමු කර ප‍්‍රමාණවත් නැති බවත් ඇය කියන්නීය.

එය සත්‍යයකි. පෘථිවිය මත ඇත්තේ මිනිසා, පරිසරය හා සත්ත්වයන් යන සියල්ල එකිනෙක හා බැ`දුණු තුලනාත්මක එකතුවකි. වයිරසය පාලනයෙහි ලා එක් කොටසක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් වෙනත් කොටසක් හරහා බලාපොරොත්තු නො වන පරිදි අවදානම මතු වීමට ඉඩ විවර විය හැකි ය. එ නිසා ස්ථාවර විස`දුමක් නිර්මාණය කිරීම ස`දහා මානව සෞඛ්‍ය විශේෂඥයන් මෙන් ම සත්ත්ව සෞඛ්‍ය විශේෂඥයන් හා පරිසර විශේෂඥයන් එක්ව කටයුතු කරන සහයෝගාත්මක ගෝලීය ප‍්‍රවේශයක් මේ වන විට අත්‍යවශ්‍ය වේ.

එසේ නොවන සෑම අවස්ථාවකම සිදුවන්නේ වෙනත් තැනකින් ගැටලූව මතුවීමය.

එවන් පසුබිමක් යටතේ මේ වන විට සත්ත්වයින් හට කොවිඞ් 19 වෛරසය බෝවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා සුදුසුම ස්ථානය ලෙස නම් කර ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු විද්‍යා මූලික අංශයේ ජීව විද්‍යා රසායනාගාරයට සත්ත්ව පටක ලබා දීමේ ක‍්‍රමවේදය නතර කර තිබෙන බව දැනගන්නට තිබේ. දැන ගන්නට ඇති තොරතුරු මත එලෙස නතර කර ඇත්තේ සත්‍ය තොරතුරු ජනතාව වෙත ප‍්‍රචලිත වීම වලක්වාලීමය.

පළමු සිංහයා කොවිඞ් ආසාදනය වීමෙන් පසුව එම සත්ත්වයා සමග ළඟින් සිටි සිංහ ධේනුවත් පැටවුණුත් කොවිඞ් ආසාදිතයින් දැයි සොයා බැලීමට පර්යේෂණ සිදු කොට තිබුයේ රාගම වෛද්‍ය පීඨය මගිනි. එහි මානව පටක පර්යේෂණාගාරයක් පමණක් ඇති අතර එහි සිදුකරන සත්ත්ව පටක පර්යේෂණවල ප‍්‍රතිඵල නිවැරදිද යන්න ගැටලූවක් පශු වෛද්‍යවරුන් වෙත ඇත. සත්ත්ව පටක හරියාකාරව පරීක්ෂා කළ හැක්කේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු මූලික විද්‍යා අංශයේ පශු වෛද්‍ය පීඨයේ අණුක ජීව විද්‍යා පෝෂණ හා ජෛව විද්‍යා රසායනාගාරයේ දි බව පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය එරන්දක ගුණවර්ධන මහතා කියා සිටියේය. ඔහු පවසන පරිදි , මෙවන් කාලයක ව්‍යාජ තහවුරු වීමක් සමාජගත වීම සුදුසු නැත.

මිනිසුන්ගේ රුධිර සාම්පල හෝ පටක පර්යේෂණාගාරයකදි සත්ත්ව පටක හෝ රුධිරය පරික්ෂණයට භාජනය කළ නොහැකිය. නමුත් අද වන විට සිදුව ඇත්තේ එයයි. එවිට ජනතාව අතර පැතිර යන්නේ සෙසු පර්යේෂණාගාරවල ද සත්ත්ව පටක පරික්ෂා කළ හැකි බවය. මෙමගින් සත්‍ය නිගමන පිළිබඳ තොරතුරු ජනගත වීම වළකිනු ඇත. එය සුදුසු නැති බව යළි අවධාරණය කිරීම වැදගත් බව වෛද්‍ය එරන්දක මහතා පවසයි.

කොවිඞ් 19 වෛරසය සතුනට බෝ වන්නේ මිනිසාගෙන් පමණි. රෝග වෛරසය ශරීර ගත වන සත්ත්වයින් ද උණ සෙම්ප‍්‍රතිශ්‍යාව ඇස් සහ නාසයෙන් දියරයක් ගැලීම, කැස්ස, පාචන තත්ත්වය, කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ පෙන්වනු ලබයි. මිනිසාට වඩා වැඩි ප‍්‍රතිශක්තිකරණයක් සතුන් තුළ ඇති බැවින් සතුන් මියයෑමේ සම්භාවිතාව බෙහෙවින් අඩුය. අවම රෝග ලක්ෂණ සහිතව ද කොවිඞ් වැලඳී ඇති සත්ත්වයින් සමාජ ගතව සිටියද සතුන් අතර එනම් සතුන්ගෙන් සතුනට වෛරසය බෝවීමක් පිළිබඳව මේතාක් කිසිදු රටකින් වාර්තා වී නැත.

ජනතාව දැඩි සේ අවබෝධ කර ගත යුතු වන්නේ, කොවිඞ් ආසාදිත මිනිසුන් වෙසෙන ස්ථානයන්ගෙන් සතුන් ඈත් කොට තැබීම පමණකි. එසේ නොමැතිව සතුන් වෙනත් ස්ථාන වෙත ගෙන ගොස් දැමීම හෝ උන් එලවා දැමීම නොකළ යුතුය. සතුනට සැලකීම අවම කිරීම නොකළ යුතු අතර ආදරයෙන් කරුණාවෙන් සතුනට සැලකීම ඔස්සේ සතුන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතුය. මිනිසාගෙන් මිනිසාට වෛරසය බෝවීම මිනිසාගෙන් සත්ත්වයාට බෝවීම හැරුණු විට සතුන්ගෙන් මිනිසාට කොවිඞ් වෛරසය බෝ නොවන බව මතක තබා ගන්න.

advertistmentadvertistment
advertistmentadvertistment