කොවිඞ් අස්සේ මහනුවරට වෙනස්ම පෙරහැරක්

493

මහනුවර ඇසළ පෙරහැර සමාරම්භක චාරිත‍්‍ර වාරිත‍්‍ර ආරම්භ කරමින් අටවැනිදා අද මධ්‍යම රාත‍්‍රිය පසුවී නවවැනිදාට අලූයම් වන්නට එක පසුවී විනාඩි විස්සට කප්සිටුවීමේ චාරිත‍්‍රය සිදු කරනු ලබයි. වයඹ දිශාභිමුඛව සිරිත් පරිදි පේ කොට තබන ලද පණස වෘක්ෂයක ශාඛාවක් රැගෙන විත් අළුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට මහනුවර සිව්මහා දේවාලයන් ප‍්‍රධාන කොට ඇති විහාර සහ දේවාලයන්හි ඇසළ කප් සිටුවීම සිදුකරනු ලබයි.

ඉන් ඇසළ පෙරහැර මංගල්‍යයේ සියලූ කටයුතු ආරම්භ වන්නේය.

පෙරහැර ඉතිහාසය ලියැවී ඇත්තේ, රටේ සමෘද්ධිමත් භාවය උදෙසාත්, රට පාලනය කරනු ලබන නායකත්වය උදෙසාත් ආශිර්වාද ලැබීමය. මේ වන විට රටේ පවතින ආකූල ව්‍යාකූල බවත් වසංගත රෝග පැතිර යමින් රට වැසියන් පීඩාවට පත්වීමත් සැලකිල්ලට ගනිමින් මෙවර පෙරහැර සඳහා සුළු වශයෙන් හෝ ජන සහභාගිත්වයක් තිබිය යුතු බවත් මුල් පෙරහැර සාකච්ඡාවලදී යෝජනා වූයේ, ජනාධිපතිවරයාගේ ද අවසරය සමගය. නමුත් සෞඛ්‍ය අංශ දිගින් දිගටම කියා සිටියේ, ජන සහභාගිත්වය සඳහා මෙය සුදුසු කාලයක් නොවන බවය.

මෙම කරුණු මත ඇසළ පෙරහර මංගල්‍යයට සම්බන්ධ වන ශ‍්‍රී දළදා මාලිගාවේ සහ සතර මහ දේවාලයන්හි සියලූ කලාකරුවන්ට කොවිඞ් මර්දන එන්නත ලබාදුන්නේය. කලාකරුවන්ට අමතරව පෙරහැර සමයේ මී පැණි පූජාව සඳහා පැමිණෙන ආදිවාසීන් ඇතුළු පිරිසකට ද එන්නත් ලබාදි තිබේ. මේ වන විට එන්නත් ද්විත්වය ලබා දෙමින් කලාකරුවන් අලි ඇතුන් බලා ගන්නා උදවිය ඇතුළු සියලූ ශිල්පීන් සෞඛ්‍යාරක්ෂිතව රැක බලා ගන්නට අවශ්‍ය මූලික ක‍්‍රමවේදයන් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ගේ මෙහෙයවීම සහ උපදෙස් අනුව සිදුකොට තිබේ.

පෞරාණික චාරිත‍්‍ර ගරුකරමින් පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙන බවත් පෙරහැරට සම්බන්ධ වන කලාකරුවන් ජෛව බුබුලක් ආකාරයට රඳවා තබාගෙන පෙරහැර කරන්නේද යන්න සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් මත ඉදිරි තීරණ ගැනීමට මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබේ. ජෛව බුබුලක් ලෙස පෙරහැරේ විවිධ කොටස් වෙන් කිරීමේ ක‍්‍රමවේදයක් සැලසුම් කර ඇත. මාලිගාවේ පෙරහැරෙහි මුල් කොටස මැද කොටස සහ අවසන් කොටස ලෙස කොටස් වශයෙන් කණ්ඩායම් වෙන්කර සෞඛ්‍යාරක්ෂිත ව පෙරහැර අවසන් වනතුරු රඳවා තබා ගැනීම ඉන් එක් සැලසුමකි. ඒ අනුව නැටුම් කණ්ඩායම් අතර පවා එකිනෙකා හමුවන අවස්ථාවන් අවම කිරීමට හැකිතාක් උත්සාහ කරන බවද, ඔවුන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම පවත්වා ගෙන යෑමටත් ඒවා අධීක්ෂණය කිරීමටත් වෙනම පිරිසක් යෙදවීමටත් සැලසුමක් තිබේ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් ශ‍්‍රී දළදා මාලිගාවේදී පසුගියදා පළමු පෙරහැර සාකච්ඡාව පැවැති අතර එහිදි ඉදිරි සැලසුම් ලෙස, සතර මහා දේවාලවල සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. දෙවන පෙරහැර සාකච්ඡාව පැවැත්වෙන්නේ ඉදිරි දහවැනිදාය. නිශ්චිත ලෙස පෙරහැර පැවැත්වෙන ක‍්‍රමවේදයන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා කියා සිටියේය.

පෙරහැර සාමාන්‍යයෙන් පැවැත්වෙන දින දහයක කාලය තුළ පෙරහැර මෙහෙයුම් මැදිරියක් ක‍්‍රියාත්මක වන්නේය. එහි ප‍්‍රධාන භාරකරු වන්නේ දිසාපති චන්දන තෙන්නකෝන් මහතාය. මෙහෙයුම් මැදිරියේ ක‍්‍රියාකාරි නායකත්වය උසුලනු ලබන්නේ මහනුවර ආපදා කළමනාකරණ ඒකකයේ ප‍්‍රධානි ඉන්දික රණවීර මහතාය. ඔහු මෙවර කටයුතු සම්බන්ධයෙන් කියා සිටියේ, මේ වන විට සියලූ නිලධාරින් සඳහා අවශ්‍ය කටයුතු පවරා දී ඇති බවය.

ජනසහභාගිත්වය සම්බන්ධයෙන් මේ වනතුරුත් නිශ්චිත තීරණයක් ගෙන නැති බව හෙතෙම කියා සිටියේය. ඔහු කී පරිදි, මෙහෙයුම් මැදිරියේ සාමාජිකත්වය ලබන්නේ, මාලිගාවේ පෙරහැර කමිටුව, සතර මහා දේවාල පෙරහැර කමිටුව, ජලය, විදුලිය, නගර සභාව, කසළ කළමනාකරණ ඒකකය, අලි ඇතුන් නිර්වින්දන අංශය, මූලික සෞඛ්‍ය සහායකයින් සහ සහන සේවා, සංස්කෘතික අංශය සහ ආරක්ෂක අංශය ය. වීථි සරණ පෙරහැර ගමන්ගන්නා මාර්ගයේ ස්ථාන දහයක යොදවා ඇති ආරක්ෂක නිලධාරින් විසින් සෑම මොහොතකම සජීවි ලෙස මෙහෙයුම් මැදිරිය සමග සම්බන්ධ වෙමින් ඒ ඒ අවස්ථාවන්හි පෙරහැර ගමන්මගෙහි තත්ත්වය දැනුම් දෙනු ලබයි. මේ අතර පොලිස් යුද හමුදා සහ නාවික හමුදාව විසින් ද මෙහෙයුම් මැදිරියක් ක‍්‍රියාත්මක කරයි. ඒ ඔස්සේ සිදුවන්නේ පූර්ණ ආරක්ෂාව සැපයීමේ පියවර ක‍්‍රියාත්මක කිරීමය.

මේ අතර, පෙරහැර නැරඹීම සඳහා යම් හෙයකින් ජන සහභාගිත්වයක් සිදුකරන්නේ නම් ඊට අවශ්‍ය සුදුසුම ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට තිබේ. මේ වන විට මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනතාව අතරින් ලක්ෂ හතකට වැඩි පිරිසකට කොවිඞ් එන්නත ලබා දී තිබේ. ඒ අනුව, කොවිඞ් රෝගීන් අවම පිරිස් වාර්තා වන කොට්ඨාසවලින් එන්නත්කරණය යටතේ මාත‍්‍රා දෙකම ලබා සිටින පිරිස් තෝරා ඔවුන්ද ජෛව බුබුලක් ලෙස ආරක්ෂිතව තබා ගනිමින්, පහසුකම් සහිතව පෙරහැර නැරඹීමට යෙදවීමේ සැලසුමක් පමණක් ඇත. එය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේවන විට අවසන් තීරණයක් ගෙන නැති වග දැනගන්නට තිබේ. මන්ද මේ වන විට අනපේක්ෂිත ලෙස කොවිඞ් රෝගීන්ගේ වර්ධනයක් දක්නා ලැබෙන නිසාය.

මධ්‍යම පළාතේ සමස්ත කොවිඞ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට තිස්හයදහස් නවසිය අනූවක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. පළාතේ වැඩිම කොවිඞ් ආසාදිතයින් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව විසිදහස් පන්සිය හැත්තෑ පහකි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 7849 ද මාතලේ දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 8551 දෙනෙකුද වාර්තා වී ඇත. මධ්‍යම පළාත තුළින් ඊයේ දිනයෙන් අවසන් වුණු පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 472කි. ඒ මහනුවර දිස්ත‍්‍රික්කයෙන් 274ක් මාතලේ දිස්ත‍්‍රික්කයේ 155 ක් හා නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් 43ක් ලෙසිනි. මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත‍්‍රික්කවලින් වාර්තා වන සමස්ත කෝවිඞ් -19 මරණ සංඛ්‍යාව 963 කි. මහනුවර දිස්ත‍්‍රික්කයෙන් 637ක් මාතලේ දිස්ත‍්‍රික්කයෙන් 146ක් හා නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් 180ක් ලෙසින් මෙම මරණ වාර්තා වී ඇත.

මෙවැනි තත්ත්වයක් මත සෞඛ්‍ය අංශ වැඩි අවධානයක් යොදවා ඇත්තේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳවය. ජන සහභාගිත්වයක් සිදුවුවහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් ඔවුහු වික්ෂිප්තව ඇත්තේ සෞඛ්‍ය අංශවලට ඇති හැකියාවත් ජනතාවගේ ජීවිත රැකගැනීම අභියෝගයක් ද වන නිසාය. නමුත් පෙරහැර පැවැත්වීම කෙලෙසක හෝ චාරිත‍්‍රානුකූලව පැවැත්වෙනු ඇත. ඒ ඔස්සේ අපේක්ෂිත ආශිර්වාදයන් සහ රැකවරණයන් ගරුකොට ආරක්ෂිතව පැවැත්වීම පෙරහැර කමිටුවේ වගකීම සහ යුතුකම වන නිසාය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment