කොවිඞ් කාර්ය සාධක බළකාය විසුරුවා හරිමුද?

462

ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කරමින් තිබේ. මේ දිනවල අප රටේ ව්‍යාප්ත වන මෙම ඩෙල්ටා වෛරසයට චීනයේ වූහාන් නගරයේ පැතිර ගිය වෛරස් ප‍්‍රභේදයට සාපේක්‍ෂව පැතිරීමේ ශීඝ‍්‍රතාව දෙගුණයක් වෙතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විiා අධ්‍යයන අංශයේ ප‍්‍රධානි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. එනිසාම තත්ත්වය බරපතළ බව අමුතුවෙන් කිවයුතු නැත. පවතින තත්ත්වය හමුවේ නිවැරදි තීන්දු නිසි වේලාවට නොගතහොත් විඳින්නට වන ප‍්‍රතිඵල භයානක විය හැකි බව කටුක සත්‍යයි. කොරෝනාවේ උප්පත්තිය සිදුවූ චීනයේ වූහාන් නගරයේ මෙම කොරෝනා වෛරසය පැතිරෙද්දී එය අප රටට අහිතකර ප‍්‍රතිඵල අත්කර දීමට ඉඩ ඇති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. එම අවස්ථාවේදී ඇතැමෙක් ඔහුගේ පෙන්වාදීම සමච්චලයට ලක් කළේය. එදා ඔහුගේ කතාව හෑල්ලූවට ලක්නොකර මීට වඩා ප‍්‍රායෝගිකව ඒ දෙස බැලූවේ නම් වඩා හොඳ බව කාට කාටත් තේරුම් යනවාට සැක නැත.

 කොරෝනා ගැන රනිල් වික‍්‍රමසිංහ මහතා ද වරින්වර අදහස් ප‍්‍රකාශ කරනු දක්නට ලැබිණි. ඔහු මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්ව ආ දිනයේත් ඔහු කොරෝනා අවදානම ගැන අවධාරණය කළේය. ඔහු පෙරේදා මාධ්‍ය හමුවේ යළිත් වරක් බරපතළ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ තත්ත්වය පාලනය නොකළහොත් අපේ රට විසාලා මහනුවරක් වීමට ඉඩ ඇති බවයි. එපමණක් නොව ඔහු වැඩිදුරටත් කියා සිටියේ වහාම කොවිඞ් මර්දන කාර්ය සාධන බළකාය විසුරුවා හැරිය යුතු බවයි. ඒ වෙනුවට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.

 කොවිඞ් මර්දන කාර්ය සාධන බළකායේ යම් යම් අඩුපාඩු තිබීමට පුළුවන. එහෙත් මේ මොහෙතේදී රටේ කොරෝනා මර්දනය කිරීම සඳහා එම කාර්ය සාධන බළකාය සිදුකරන සේවාව අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. විශේෂයෙන් කොරෝනා එන්නත්කරණය රටපුරා ශීඝ‍්‍රයෙන් සිදුවනුයේ හමුදා වෛද්‍ය බළකායේ මැදිහත්වීම නිසාවෙනි. එය ජනතාවගේ පවා ප‍්‍රශංසාවට ලක්ව ඇත. විශේෂයෙන් අපගේ සෞඛ්‍ය සේවාවේ සැලකිය යුතු පිරිසක් කොරෝනා ආසාදිතයන් වී ඇති මොහොතක හමුදා වෛද්‍ය බලකාය ඇතුළු පිරිස කරන සේවය සාධනීය කාර්යයක් බව නොකියාම බැරිය.

 කොරෝනා මර්දන කාර්ය සාධන බළකායේ ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙම කාර්ය සාධන බළකාය එක් පුද්ගලයකු විසින් තනි තීරණ ගන්නා තැනක් නොවන බවයි. මෙම බළකායේ ප‍්‍රධානියා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. සෞඛ්‍ය ඇමැතිවරියන් දෙදෙනකු, සෞඛ්‍යට සම්බන්ධ ඇමැතිවරයකු,

 කැබිනට් අමාත්‍යවරු කීපදෙනකු, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා සහ විශේෂ වෛද්‍යවරුන් කීපදෙනකුම මෙම බළකායේ සිටින බවද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

 මේ මොහොතේ අප තේරුම් ගත යුතු දේ වන්නේ බෙදී වෙන්වී කොරෝනා ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකි බවයි. විපක්‍ෂයේ යහපත් යෝජනාවලට රජය ඇහුම්කන් දිය යුතුය. එසේම රජය කොරෝනා මර්දනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට සහයෝග දැක්වීම මෙන්ම එහි අඩුපාඩු තිබේ නම් යහපත් චේතනාවෙන් එය පෙන්වා දීම විපක්‍ෂයේ වගකීම විය යුතුය. මේ මොහොතේ කොරෝනාවට මුවාවී දේශපාලනික ගේම් ගසන කාලයක් නොවන බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. රට කරවන පිරිස මෙන්ම අනාගතයේ රට

 භාරගැනීමට සිටින සියලූදෙනා කොරෝනාව උගසට තබා වෙනත් ගේමක් ගැසුවොත් එහි අනිටු ප‍්‍රතිිවිපාක විඳීමට සිදුවනුයේ රටේ ජනතාවට බව අප මොහොතකටවත් අමතක නොකළ යුතුය.

 නමුත් අවාසනාවකට අපට උදේට, දවාලට මෙන්ම රෑ තිස්සේ අසන්නට වී ඇත්තේ දේශපාලනඥයන්ගේ ඒ අපුල කතාය. මේ ප‍්‍රශ්නයෙන් ගොඩඑන ක‍්‍රමය පිළිබඳ නිසි කතිකාවක් ඔවුන් තුළින් සමාජගත නොවීම බරපතළ ඛේදවාචකයකි. දෙවැනි කොරෝනා රැල්ල එන අවස්ථාවේදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට විපක්‍ෂ නායකවරයා යෝජනා කළ බව අපට මතකය. කොරෝනා මර්දනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ එවැනි එකමුතුවකි. සියලූ දෙනා එක්ව සටන් නොකළොත් දිනන්නේ කොරෝනාය. අපට මරණයේ වේදනාවන් පමණක් ඉතිරි වනු ඇත. දිනකට කොරෝනා මරණ සියය ඉක්මවා වාර්තා වන මොහොතක අප සියලූ දෙනා අපේ මාතෘභූමිය වෙනුවෙන්, අපේ රටේ ජනතාවගේ ජීවිත අභයදානය වෙනුවෙන් පෙළගැසිය යුතුය. දේශපාලනය කරන්නත් රටක් මෙන්ම ඒ රටේ ජනතාව ජීවත්ව සිටිය යුතු බව පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ සියල්ලෝ තේරුම් ගත යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment