කොවිඞ් නිසා අවුරුදු එකහමාරකින් ගීතයක් කළෙ නෑ – රුවන් හෙට්ටිආරච්චි

155

පසුගිය සතියේ එළිදැක්වූ නව ගීත නාමාවලියට ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සහ ගායන ශිල්පිනී උමාරා සිංහවංශගේ ගීතයක්ද ඇතුළත් වී තිබුණි. ” සිනහව මුවගින් ” නමින් නම් කර තිබූ උමාරාගේ සහ රුවන්ගේ ප‍්‍රථම යුග ගායනය සම්බන්ධයෙන් ජනප‍්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි මෙලෙසින් අදහස් දැක්වීය.

මම කැමතිම ගායිකාවන් අතරින් උමාරියා, උමාරා කියන්නේ සුවිශේෂී චරිත දෙකක්.උමාරියා එක්ක නිර්මාණ කිහිපයක් කළාට උමාරා එක්ක ගීතයක් කරන්න අවස්ථාවක් ලැබිලා නෑ. උමාරා එක්කත් ගීතයක් කරන්න කාලයක් තිස්සේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා. උමාරාටත් මාත් එක්ක ගීතයක් කරන්න වුවමනාව තිබුණා. ඒ බලාපොරොත්තුව ”සිනහව මුවගින් ” කියන මගේ අලූත් ගීතය නිසා සම්පූර්ණ කර ගන්න පුළුවන් වුණා.


නොදැක ඉන්න බෑ, මතකද හැන්දෑවේ, සීතමාරුතේ , රැවටුන තරම් වැනි ගීත නිසා රුවන් හෙට්ටිආරච්චි පසුගිය කාලයේ අතිශයින් ජනප‍්‍රියට පත් වූ ගායකයෙකි. ඔහුටම ආවේණික වූ ගායන ශෛලියක් නිසාම ප‍්‍රසංග වේදිකාවට ද රුවන් නැතිවම බැරි චරිතයක් විය.

කොවිඞ් නිසා අවුරුදු එකහමාරකින් ගීතයක් කළෙ නෑ - රුවන් හෙට්ටිආරච්චි



කොවිඞ් වසංගතය නිසා වසර එකහමාරක් වගේ අලූත් නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් ඒ කාලය නිකරුණේ නාස්ති කරන්නෙ නැතිව අලූත් ගීතය සාර්ථක කර ගන්න ඒ කාලය උපරිමයෙන් යොදා ගත්තා.උමාරා එක්ක කරන පළවෙනි යුග ගායනය නිසා මේ ගීතය මට සුවිශේෂී නිර්මාණයක්. මගේ අනෙක් ගීත වලට වඩා මේ ගීතයේ වචන පවා වෙනස්.කාලයක් අරගෙන කරපු සාර්ථකම නිර්මාණයක් ලෙස තමයි මම මේ ගීතය හඳුන්වන්නේ.

රුවන්ගේ පෞරුෂමත් කටහඬට උමාරාගේ හඬ ලාලිත්‍යයද එක්වීමෙන් ” සිනහව මුවගින්” ගීතය හැඩ ගැන්වී ඇති අතර මෙහි පද රචනය මාර්ලන් රණසිංහ විසින් සිදු කර තිබේ. චතුර ප‍්‍රසාද් පෙරේරා සංගීත නිර්මාණය කර ඇත. මෙම ගීතය සඳහා රූප රචනය සිදු කර ඇත්තේ දිල්ෂාන් සෝජූන් ගේ අධ්‍යක්ෂණය යටතේය. පසිඳු කෞෂල්‍ය කැමරා අධ්‍යක්ෂණයෙන් සහයෝගය දක්වා තිබේ. උමාරා සහ රුවන් ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද ”සිනහව මුවගින්” වර්ණ ගන්වයි.

මං ක්ෂේත‍්‍රයට ආවේ දෙදහස් දහය වර්ෂයේ. එකිනෙකට වෙනස් අලූත් නිර්මාණ මගේ රසිකයන්ට ලබා දෙන්න තමයි එදා ඉ`දන් අද වෙනකම්ම මම උත්සාහ කළේ. මේ වසර එකොළහ ඇතුළත මම සංගීතය ගැන, ගායනය ගැන, වාදනය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තා. ගායකයෙක් ගේ සාර්ථකත්වයට ගීතයේ පද,සංගීතය,රූප රචනය ආදී හැම දේම බලපානවා. වසර ගණනක් තිස්සේ සංගීතය සහ ගායනය පිළිබඳව ඉගෙනගත් දෑ නව පරපුරත් සමඟ බෙදා ගන්නටද රුවන් අමතක කර නැත.මේ දිනවලද ඔහු මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ගායනය, වාදනය ,සංගීතය සම්බන්ධයෙන් ඉගැන්වීම් කටයුතු වල නිරත වේ. තවත් ගීත නිර්මාණ කිහිපයකම කටයුතු අවසන් කර තිබුණත් රූප රචනා ප‍්‍රමාද වීම නිසා ඒවා එළි දැක්වීමට කාලයක් ගත වන බවත්,හැකි විගසින් එම නිර්මාණද රසිකයන්ට තිළිණ කිරීමට කටයුතු කරන බවත් රුවන් පැවැසීය.

” මගේ හැම නිර්මාණයක්ම රසිකයින් ආදරයෙන් වැළඳගත්තා .ඒවට ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. ගීත ගායනය ආරම්භ කරපු දවසේ ඉඳලා අද වෙනකනුත් මගේ නිර්මාණවලට ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා. අලූත් ගීතය දාලා සතියක වගේ කාලයක් ඇතුළත බොහෝ ප‍්‍රතිචාර ලැබුණා. මේ ගීතය ඉතාමත් සාර්ථක නිර්මාණයක් කියලා බොහෝ දෙනෙක් අදහස් දක්වලා තිබුණා. මේ අලූත් නිර්මාණය සාර්ථක කරගන්න උදව් වුණු හැම දෙනාටමත්, මාත් සමඟ ගායනයෙන් සම්බන්ධ වූ උමාරටත් රසවිඳින සියලූ දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඉක්මනින් තවත් අලූත් වෙනස් නිර්මාණයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ”

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment