කොවිඞ් මළ සිරුරක් මිහිදන් කළ ආයුර්වේද වෛද්‍යවරියට සහ ග‍්‍රාම නිලධාරිවරයාට වැඩ වරදී

205

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පුත්තලම වෙප්පමඩුව සුසාන භූමියේ කොවිඞ් මළ සිරුරක් මිහිදන් කිරීමට අනුබල දුන් ආයුර්වේද වෛද්‍යවරියට සහ ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරිවරයාට ඉදිරියේදී නීතිය ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාගන්නා බව පුත්තලම මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතා සඳහන් කළේය.

 ඉකුත් 10 වැනි දින අධිකරණ නියෝග මත ගොඩගත් සිරුරේ සිදුකළ ජෛව පටල සාම්පල් පරීක්ෂණයේදී කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. සිද්ධිය සම්බන්ධව කරුණු වාර්තා කරමින් අදාළ සිරුර නැවත ගොඩගැනීමට හා පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමට පුත්තලම මූලස්ථාන පොලිසිය විසින් පුත්තලම අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි. ඒ අනුව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් අසේල ද සිල්වා මහතාගේ නියෝගයකට අනුව මහෙස්ත‍්‍රාත්වරයා ඉදිරියේ 10 වැනි දින පෙරවරුවේ දේහය ගොඩ ගෙන අදාළ පරීක්ෂණ සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කරන ලදී. එහිදී මියගොස් සිටි අයට කොවිඞ් ආසාදනය වී ඇති බවට වෛද්‍යවරුන්ගේ නිගමනය විය. 56 හැවිරිදි මොහොමඞ් නිස්තාර් නැමති අය මෙසේ හදිසියේම මරණයට පත්වී ඇත්තේ ඉකුත් 4 වැනි දිනය. දේහය එදින වෙප්පමඩුව මුස්ලිම් සුසාන භූමියේ මිහිදන් කර ඇත්තේ පුත්තලම ආයුර්වේදයේ වෛද්‍යවරියගේ නිගමනයන් සැලකිල්ලට ගෙන ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරිවරයාගේ උපදෙස් මතය. මෙලෙස මියගිය අය මිහිදන් කර ඇති බව අනාවරණය වූයේ මියගිය මොහොමඞ් නිස්තාර් නමැති අයගේ බිරිඳ සහ දියණියද කොවිඞ් ආසාදනය වී මියයෑමේ සිද්ධියත් සමගය. මොහොමඞ් නිස්තාර් නැමති අය පසුගිය 4 වැනි දින නිවසේදී මරණයට පත්ව තිබූ අතර ඔහු මරණයට පත්ව දින දෙකකට පසු එනම් ඉකුත් 6 වැනි දින උදෑසන 6.30 ට පමණ හදිසියේ අසනීප වීමෙන් ඔහුගේ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී පැය තුනකට පමණ පසු මරණයට පත්ව ඇත. ඉන් පැය කීපයකට පසු ඇයගේ මවද නිවසේදී මරණයට පත්ව තිබේ. අනතුරුව එම කාන්තාවන් දෙදෙනාගෙන්ම ලබා ගත් කේඨ පටල පරීක්ෂා කිරීමේදී කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගෙන තිබේ. ඒඅනුව කිසිදු ලෙසකින් නිරෝධායන නීති අනුගමනය නොකරමින් සෞඛ්‍ය අංශ හා පොලිසිය දැනුවත් නොකරමින් මිහිදන් කළ තැනැත්තාද කොරෝනා ආසාදිත වන්නට ඇති බවට සැකකරමින් පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුත්තලම පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත. අදාල පැමිණිල්ලට අනුව පුත්තලම මූලස්ථාන පොලිසිය විසින් පුත්තලම අධිකරණයට මේ සම්බන්ධව කරුණු වාර්තා කරමින් අදාළ සිරුර නැවත ගොඩගැනීමට හා පීසීආර් පරීක්ෂණයකට අවසර ඉල්ලා තිබිණි. එම ඉල්ලීම සැලකිල්ලට ගෙන පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් අසේල ද සිල්වා මහතාගේ

 නියෝග මත 10 වැනි දින මෙම සිරුර ගොඩගැනුනේ පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කුලේන්ද්‍ර පේ‍්‍රමදාස මහතාද ඉදිරියේදීය. පුත්තලම ආයුර්වේදයේ වෛද්‍යවරිය මොහොමඞ් නිස්තාර් නැමති අය නිවසේ මියගොස් සිටියදී පරීක්ෂා කර නිකුත් කර ඇති නිගමන වාර්තාවේ මරණයට සඳහන් කර ඇති හේතුව ගැටළු සහගත බවත් පවතින ත්ත්ත්වය හමුවේ පුත්තලම වෙප්පමඩුව ප‍්‍රදේශයේ කොවිඞ් රෝගීන් බහුලව වාර්තාවන අවස්ථාවක ග‍්‍රාම නිලධාරිවරයා විසින් සෞඛ්‍ය අංශ දැනුවත් නොකර දේහය මිහිදන් කිරීම බරපතල ගැටළුවක් බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය චෝදනා කරති. ඉදිරියේදී නීති උපදෙස් අනුව සහ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ තීරණවලට අනුව සිද්ධිය සම්බන්ධව කටයුතු කරන බව පුත්තලම මූලස්ථාන පොලිසියේ

 මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතා සඳහන් කළේය. රහසේ මිහිදන් කළ තැනැත්තාගේ අවසන් කටයුතු කළ මවුලවිවරයා, මියගිය අයගේ නිවැසියන් ඇතුළු ප‍්‍රදේශයේ නිවාස 9 ක පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

 අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment