කොවිඩ් වසංගතය නිසා බැරිවුණ දේවල් කරන්න ජනපති – අගමැති එකඟත්වයක…

315

2022 වර්ෂය වෙනුවෙන් ආණ්ඩුව වැඩ පටන් ගත්තේ පසුගිය සතියේය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම පළමු සතියේ විවිධ පින්කම් උත්සව හා පිළිගැනීම්වලට මුළුමහත් කාලයම මිඩංගු කර දැමූහ. එහෙත් දෙවන සතියේ සිට ආණ්ඩුවේ වැඩ පටන් ගන්නට දෙදෙනාම සිටියේ තිර අදිටනකින් යුතුවය. විශේෂයෙන්ම මේ අද තිබෙන දැවෙන ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා කඩිනමින් විකල්ප මාර්ග සොයා යා යුතු බව ජනාධිපති හා අගමැතිවරයාත් දෙදෙනාම අවබෝධ කරගෙන සිටියහ. සියල්ලටම පළමුව රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ සියල්ල ගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවය බව රජය පැහැදිලිවම තීන්දු කරගෙන සිටියහ.

ලෝකයේ අනෙකුත් රටවල් කොවිඞ් උවදුර නිසා නැවත වරක් අපහසුතාවයට පත්ව සිටියත් ශ‍්‍රී ලංකාවට යළිත් එබඳු අවදානමක් දැරීමට සිදු නොවන බව රජය දැන සිටියහ. නිසි කලට එන්නත් ගෙන්වා රටේ ජනතාව එන්නත් කිරීම තුළ ඔවුන්ට ලොකු ආරක්ෂාවක් ලැබී තිබීම රජයට ද ලොකු අස්වැසිල්ලක් විය. අගමැතිවරයාගේ අදහස වූයේ දැන් කළ යුත්තේ ආර්ථිකය ගොඩනැගීම බවය. සියල්ලට පළමුව රටට විදේශ ආදායම (ඩොලර්) ලැබෙන මාර්ග පාදා ගත යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා මේ පැමිණ ඇත්තේ හොඳම කාලය බව රජයේ අදහස වූහ.

රටට ඩොලර් ගෙන්නා ගැනීම සඳහා විදේශ ශ‍්‍රමිකයන්ට ඩොලරයට ලැබෙන රුපියල් ප‍්‍රතිලාභය වැඩි කරදීම ගැන ද ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇති විය.

මැදපෙරදිග, ඉතාලිය, කොරියාවේ වැඩ කරන අපේ අය දැන් ගෙවල්වලට සල්ලි එවන්නේ බැංකුව මගින් නෙවෙයි. බැංකුව ඩොලර් එකකට ගෙවන්නේ 205 යි නම් උණ්ඩියල් කාරයෝ, පොම්ප කාරයෝ, කළු සල්ලි සුදු කරන අය 240ක් විතර ගෙවනවා. ඒක නිසා හැමෝම දැන් වැරදි පාරවල්වල යනවා. ඒගොල්ලන්ට ඕන තමන්ගේ මුදලට නියම වටිනාකම. එයාලව නීති දාලා වෙට්ටු දාලා මට්ටු කරන්න බෑ.

ඒගොල්ලන්ගේ ඩොලර් හරි පාරෙන් ලංකාවට ගෙන්න ගන්න නම් සාධාරණ මිලක් ගෙවන්නම වෙනවා.

”එහෙමෙයි කියල රුපියලේ වටිනාකම පහත හෙළන්න අපට බෑ. එහෙම වුණොත් පිටරටින් ගෙන්වන හැම බඩු භාණ්ඩයකටම ගෙවන්න ඕන රුපියල් ගාණ අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා.”

මෙන්න මේ දෙබස අතර ලොකු සංවාදයක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති විය. එහෙත් විදේශීය ශ‍්‍රමිකයන්ගේ මුදල් වෙනුවෙන් යම් සාධාරණයක් කළ යුතු බව හැමෝගෙම මතය වූහ.

ගත යුතු තීන්දුව කුමක්ද කියා මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කිරීමට ද ආණ්ඩුවේ එකඟතාවක් ඇතිවිය.

  • නිවාඩු ගිය රොෂාන්ට
    ලන්ඩනයේ අකරතැබ්බයක්

මේ අතර පළාත් පාලන මැතිවරණ පිළිබඳ ප‍්‍රශ්නයක් ද පැමිණියේය. රටේ මුදල් ප‍්‍රශ්නයට උත්තරයක් සොයා ගැනීමට පෙර පළාත් පාලන මැතිවරණයක් පැමිණියහොත් ඊට මුහුණදීම රජයට මහත් ගැටලූවක් විය. එසේනම් එළඹෙන පළාත් පාලන මැතිවරණය ගැන ගතයුතු තීන්දුව කුමක්දැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් නායකයෝ විමසන්නට වූහ.

මැතිවරණය කල්දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි බොහෝ දෙනෙකුගේ අදහස වූහ. මේ සම්බන්ධයෙන් නීතිමය හැකියාව ගැන පසුගිය දිනවල ආණ්ඩුව ඇතුළේ ලොකු සාකච්ඡාවක් ඇති විය.

”පළාත් පාලන ඇමැතිට පුළුවන් ගැසට් එකක් ගහලා මැතිවරණය කල් දාන්න. වෙන කරන්න දෙයක් නෑ…”

ඒ අනුව යමින් පළාත්පාලන මැතිවරණය කල් දැමීමේ ගැසට්ටුව ඉදිරිපත් කිරීමේ යෝජනාව පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත ඉදිරිපත් කරනු ලැබීය.

”මට මේක කරන්න බැහැ… පළාත් පාලන පනත අනුව ගැසට් එක ගහන්න ඕන පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා… ඒ කියන්නේ අපේ රොෂාන් රණසිංහ තරුණ ඇමැතිතුමා…” ජනක බණ්ඩාර පැහැදිලි කළේය.

රොෂාන් රණසිංහ කොහෙදැයි සොයද්දී ඔහු නිවාඩුව ගත කරන්නට එංගලන්තයට ගොස් ඇති බව හෙළිදරව් විය.

”රොෂාන් නෝනයි පවුලේ අයයි එක්ක ගියේ දෙසැම්බර් මාසෙ 14 වෙනිදා. දැන් නම් එන්න වෙලාව හරි…”

රොෂාන්ට වහා ලංකාවට එන්නැයි පණිවිඩයක් යැවුණේ ඒ අනුවය.

ඒ පණිවිඩයට අනුව රොෂාන් රණසිංහ පසුගිය සති අන්තයේ වහාම ලංකාවට එන්නට ලකලැහැස්ති වූයේය.

ඒ අවස්ථාවේ දී ඔහුට නොසිතූ නොපැතූ පරිදි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය.

එංගලන්තයේ සිට ලංකාවට එන්නට පැය 24කට පෙර පැමිණෙන සියල්ලන්ට පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවිය. රොෂාන්ගේ පවුලේ සියලූම දෙනා එම පරීක්ෂණයෙන් සමත් විය. අවාසනාවකට රොෂාන් රණසිංහට කොවිඞ් වැළඳී ඇති බව පරීක්ෂණයෙන් තහවුරු විය.

ඒ අනුව රොෂාන් රණසිංහගේ පවුලේ අනිත් සියලූම දෙනා ලංකාවට එවන්නටත් රොෂාන් පමණක් එංගලන්තයේ නිරෝධායනය කරන්නටත් තීන්දු විය. එහෙත් රොෂාන්ව එහි දමා ලංකාවට පැමිණෙන්නට ඔහුගේ බිරිඳ හා පවුලේ අය කිසිවෙක් කැමති වූයේ නැත. අවසානයේ සියල්ලෝම ලන්ඩන් නුවර නිවසක නිවාස නිරෝධායනය වී සිටින්නට තීන්දුවක් කරගත්හ.

අන්තිමේ ගැසට්ටුව නිකුත් කරන්නට ඇමැතිවරයා නොමැති විය. එහෙත් අවසානයේ එම ගැසට්ටුව කැබිනට් ඇමැතිවරයා විසින් නිකුත් කරන්නටත් තීන්දු කළේය. ඒ අනුව පළාත් පාලන ඡන්දය තවත් වසරකින් පස්සට කල් දැමීමේ ගැසට්ටුව නිකුත් විය.

  • ඇහැලේපොළ වලව්වට
    ජනපතිගෙන් සාධාරණය
කොවිඩ් වසංගතය නිසා බැරිවුණ දේවල් කරන්න ජනපති - අගමැති එකඟත්වයක…

2022 වසර ආරම්භයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩ පටන් ගත්තේ කතරගම සිට විවිධ පින්කම්වලට සම්බන්ධ වෙමින් සුබ කටයුතුවලට මුල පුරමිනි. දකුණු පළාතේ සිටින ඉහළම මහ නායක ස්වාමීන් වහන්සේලා හමු වී කතාබහ කරමින් ආශිර්වාද ලබා ගැනීමට ද ජනාධිපතිවරයා මුල් තැනක් දී තිබිණි.

ඉන්පසු ගතවූ දෙවැනි සතියේ ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගියේය. මල්වතු අස්ගිරි පාර්ශ්වවල මහ නායක හිමිවරු හමු වීම හා දළදා මාලිගාව ආශ‍්‍රිත කටයුතු කිහිපයකට සහභාගී වීම එම ගමනට ඉලක්ක විය. ඒ ගමනේදි තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ දැනට දළදා මාලිගාවට භාරදී ඇති සුප‍්‍රකට ඇහැලේපොළ වලව්වේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපතිවරයා සහභාගී වීමය.

ඇහැලේපොළ වලව්වේ පුරාවෘත්තය පිළිබඳව ජනාධිපති ගෝඨාභය ඉතා සංවේදීව සිටියේය. මේ වලව්ව ඇහැලේපොළ කුමාරිහාමිට අයත් එකක්ව තිබිණි. ඇයගෙන් පසුව රජුට අයිති වූ මෙම වලව්ව සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේ දී සිරගෙයක් ලෙස භාවිත කරන ලදහ. ඉන්පසුව පසුගිය කාලයේ රාජ්‍ය බලය ලබාගත් අපේ ආණ්ඩු ද ඇහැළේපොළ වලව්ව හිරගෙයක් ලෙස භාවිතා කර තිබිණි.

වත්මන් ආණ්ඩුව පැමිණීමෙන් පසුව ඇහැලේපොළ වලව්ව අත්පත් කරගෙන එය පෙර පැවති පරිදි සංරක්ෂණය කර අලූත්වැඩියා කරන්නට නාවික හමුදාවට භාර කළේය. ඉන් පසුව නාගරික සංවර්ධන අධිකාරිය සතු වූ මේ මහානර්ඝ කෞතුක ගොඩනැගිල්ල ජනාධිපතිවරයා දළදා මාලිගාවේ කටයුතුවලට භාර කළේය.

ජනාධිපතිට අවශ්‍ය වුණේ ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ඇහැලේපොළ වලව්වේ පෞරාණික බව රැකී තිබේ ද කියා දැක බලා ගැනීමටය. දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සහ මහනුවර ප‍්‍රදේශයේ දේශපාලනඥයෝ කීප දෙනෙක්ද මේ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

අපේ රටේ සිදු වූ ඉතාම සංවේදී කතා පුවතක් වූ ඇහැලේපොළ කුමාරිහාමිගේ පුරාවෘත්තය ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. රජුගේ බේබදුකම හා සල්ලාලකමින් ප‍්‍රයෝජන ගත් ජෝන් ඩොයිලිලා වැනි කට්ට කෛරාටිකයෝ ඒ දවස අපේ රටේ අනාගතය තීරණය කළ ආකාරය මේ පිරිසේ කතාබහට ලක් වූහ.

ජනාධිපතිවරයා එදින හවස යළි කොළඹ බලා පැමිණියේ පහුවදාටද විශේෂ වැඩ රාජකාරි රැසක් යෙදී තිබුණ නිසාය.

උදේ පාන්දරම මිරිහාන නිවසේ එක්තරා විශේෂ හමුවක් යොදාගෙන තිබිණි. ඊට සහභාගි වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව ඉතා ඉක්මනින් ගුවන් මගින් මොනරාගල බලා පිටත්ව ගියේය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ඒ වන විට රට පුරා ජාතික පාසල් දහසක් ඇති කිරීමේ ජාතික ව්‍යාපෘතිය සියඹලාණ්ඩුව මහා විද්‍යාලයෙන් ආරම්භ කරන්නට සියලූ කටයුතු සංවිධානය වී තිබිණි. ජනාධිපතිවරයා මොනරාගල ගියේ ඊට සහභාගි වන්නටය.

අවුරුද්දේ පළමු සති අන්තය කතරගම ගත කළ ජනාධිපතිවරයා දෙවැනි සතිඅන්තය අනුරාධපුරයේ විශේෂ වැඩ කටයුතු කිහිපයකට සහභාගි වීමෙන් ගත කරන්නට යොදා ගෙන තිබිණි. ඒ අනුව සියඹලාණ්ඩුවේ කටයුත්තෙන් පසුව ජනාධිපති ගුවන් මගින් කෙළින්ම ගියේ අනුරාධපුරයටයි. එස්. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ ඇතුළු අනුරාධපුරයේ දේශපාලනඥයෝ කීප දෙනෙක් ජනාධිපතිවරයා පිළිගන්නට පැමිණ සිටියහ.

ඒ අනුව එදින හවස රුවන්මැලිසෑය අබියස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන විශේෂ ආගමික උත්සව කිහිපයක්ද සංවිධානය වී තිබිණි. ජනාධිපති මන්දිරයේ මදක් විවේකගත් ජනාධිපතිවරයා හවස රුවන්මැලි සෑය බලා පිටත්ව ගොස් මුලින්ම කළේ රුවන්මැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව බැහැ දැකීම ය. උන්වහන්සේ සමග ටික වේලාවක් රටේ තොටේ විස්තර කතාබහ කරමින් සිටියේ ය.

කලාකරුවෙක්, සාහිත්‍යකරුවෙක්, ගීත රචකයෙක් ලෙසින් සමාජයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරමින් සිටි හේමරතන හිමියන්ට සමාජ දේශපාලන කටයුතු ගැන ද යම් දැනුමක් හා උනන්දුවක් තිබිණි. රටේ තොටේ මේ දිනවල සිදුවන යම් යම් දේවල් ගැන පොඩි සාකච්ඡාවක් ඇති වූයේ ඒ නිසාය.

ඔබ වහන්සේගේ සාහිත්‍ය කටයුතු එහෙම කොහොමද දැන්… අලූතින් සින්දු එහෙමත් ලියවිලා ඇති…

ඒ මොහොතේ හේමරතන හිමියෝ ජනාධිපතිවරයාට තමන් ලියූ ගීත ඇතුළත් අලූත්ම ගීත පොත වූ ”සඳ මඬල විය” පොතෙන් පිටපතක් තෑගි කළෝය.

”අපි යමු වෙහෙර වැඳපුදා ගන්න… කියමින් හේමරතන හිමියෝ ජනාධිපතිවරයාට රුවන්මැලිසෑය වඳින්නට ආරාධනා කළෝය.

ඒ වන විට අනුරාධපුර අටමස්ථාන ප‍්‍රදේශයට යම් වැහිබර කාලගුණික තත්ත්වයක් උදාවී තිබුණෙන් සියලූ ආරක්ෂක නිලධාරීහු සිටියේ ඊට ඕනෑ ම මොහොතක සූදානම් ව ය.

ජනාධිපතිවරයා මහ වෙහෙර වැඳ අවසන් කරනවාත් සමග මොර සූරන මහ වරුසාවක් සෑය සලපතලමළුව ප‍්‍රදේශයට ඇද හැලෙන්නට විය. හේමරතන හිමියෝ ජනාධිපතිවරයාව සලපතල මළුවේ සුගන්ධ කුටිය වෙත කැඳවාගෙන ගියේය.

ඒ අතර සලපතල මළුව තුළ වැහි ආවරණයක් නොමැතිකමින් වැස්සෙන් බේරෙන්නට සුගන්ධ කුටිය කෙළවර තෙරපෙන සෙනග අතරේ සිටි සාමණේරයන් වහන්සේලා පිරිසක් ජනාධිපතිවරයාගේ නෙතට හසු විය.

”අර පුංචි හාමුදුරුවරු කට්ටියක් හොඳටම තෙමෙනවා. වඩින්න කියන්නෙ මේක ඇතුළට… ජනාධිපතිවරයා එසේ කීවත් ආරක්ෂක නිලධාරීන් ඊට තරමක් අදිමදි කළේ සුගන්ධ කුටිය ඇතුලේ ඒ තරම් පිරිසකට සිටින්නට ඉඩක් නොමැති වූ නිසාය.

”කමක් නෑ වඩින්න කියන්න උන්වහන්සේලාට… තෙරපිලා හරි ඉමු. උන්වහන්සේලා තෙමෙද්දී අපිට බලා ඉන්න පුළුවන්ද…” උන්වහන්සේලා තෙරපෙමින් ඇතුළට පැමිණි පසු විස්තර කතාබහ විය.

උන්වහන්සේලා ඇහැලියගොඩ ප‍්‍රදේශයේ පිරිවෙනක ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සාමණේරයන් වහන්සේලා වූහ. 60 නමක් පමණ එතන සිටියහ… උන්වහන්සේලාගෙන් විස්තර අසා ජනපති ටික වේලාවක් ඉංග‍්‍රීසියෙන් ද උන්වහන්සේලා සමඟ කතාබහ කිරීම විශේෂත්වයක් විය.

වැස්ස මදක් අඩු වූ පසුව ජනාධිපතිවරයා රුවන්මැලිසෑය සලපතල මළුවේ වාරිමාර්ග අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබූ විශේෂ පුණ්‍යකර්මය පැවැත්වෙන පැත්තට ගියේය… චමල් රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන ඇතුළු මැති ඇමැතිවරු ඊට මැදිහත්ව සිටියහ. ජනාධිපතිවරයා ඒ පුණ්‍යකර්මයට සහභාගි විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එදින දවස තරමක් වෙහෙසකර දවසක් විය. එතුමන් ඉක්මනින් ජනාධිපති මන්දිරය වෙත ගියේය.

  • උඩමලූවේ අම්මලාට
    ජනපති දුන්න දානය

සෙනසුරාදා උදෙන්ම ජනාධිපතිවරයා ශ‍්‍රී මහා බෝධිය වඳින්නට පැමිණියේය. මුලින්ම අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමිපාණන් හමුවී ඊට අවසර ලබාගත් ජනාධිපතිවරයා උන් වහන්සේත් සමග මුලින්ම ගියේ උඩමලූවේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ පාමුලට ය. උදෑසන පැහැබර කාලගුණයත් ශාන්ත සුවයත් හමන මද සුළගේ සිසිලසත් නිසා ජනාධිපතිවරයා මේ මොහොතේ අපමණ සතුටින් පසු වූයේය. ඔහු මද සුළගින් ලෙළ දෙමින් සැලෙන සිරිමා බෝ සමිඳුන්ගේ බෝපත් දෙස බලා සිටියේය.

මදක් තදින් හැමූ සුළගක් නිසා ඒ මොහොතේ බෝ පත් රැසක් ගසින් ගිලිහී වැටෙන්නට වූ බව දුටු ජනාධිපතිවරයා ඒවා අතින් අල්ලා ගන්නට යුහුසුළු විය. සැලකිය යුතු බෝපත් ප‍්‍රමාණයක් අල්ලා ගන්නට ජනාධිපතිවරයා සමත් විය.

ඉහළම මළුවෙන් වැලි මළුව වෙත බසිද්දී ජනාධිපතිවරයා පැමිණ සිටින බව දුටු වියපත් උපාසකම්මලා පිරිසක් අපමණ ලෙස සතුටට පත් ව ජනාධිපතිවරයා වට කරගත්හ.

”උඩ මළුවෙන් දෙයියෙක් පාත් වෙනව වගේ අපි ඔබතුමාව දැක්කේ….” එක් මවක් කීවාය.

”මෙන්න එහෙනම් මගෙන් ඔබතුමියට තෑග්ගක්…” කියමින් අතේ තිබූ බෝ පතක් ජනාධිපති උපාසකම්මා අත තැබුවේය.

ඒ මොහොතේ අත් ගණනාවක් ජනාධිපතිවරයා වෙත දික් විය… ජනාධිපති ගෝඨාභය තම අතේ වූ සියලූ බෝපත් උපාසකම්මලා අතර බෙදා හදා දුන්නේ ඉතා සතුටින් යුතුව ය.

එතනින් සමුගෙන එළියට එන්නට වැලිමළුවේ දොරටුව අබියසට එන විට කුඩා බිලිඳකු වඩාගත් තරුණ යුවළක් ජනාධිපතිවරයාගේ මුහුණට මුහුණ මුණ ගැසිණි..

ජනාධිපතිට තම සිඟිති මුණුපුරු මතක් වන්නට ඇත.

”පුංචි බබත් අරන් උදෙන්ම පන්සල් ආවද…

ජනාධිපතිවරයාගේ අනපේක්ෂිත හමුවීම නිසා වික්ෂිප්තභාවයට පත් තරුණ යුවලට වචන ගැට ගසා ගන්නට නොහැකි විය.

”බාරයක් ඔප්පු කරන්න තියෙනවා… ඒකට ආවා…” තරුණ මව කීවාය.

”කීයද දැන් බබාගෙ වයස…” බිලින්දාගේ වයස මසකට වැඩි නොවී ය. ජනාධිපතිවරයා ඒ මොහොතේ සාක්කුවට අත දමා සාක්කුව තුළ ගෙදර ගෙනයන්නට සුරැකිව තබා ගත් අවසාන බෝ පත ගෙන පුංචි බිලිඳා අසලින් තබා ආශිර්වාද කළේය… තරුණ යුවළගේ දෙනෙත් සතුටින් හා කාන්තියෙන් දිලිසෙන්නට වූහ.

උඩමළුවෙන් පසුව ජනාධිපතිවරයා ඊළඟට ගියේ මිරිසවැටිය විහාරයටය. ඉන්පසුව ලංකාරාමයටත් ගියේය. අවසානයේ සම්බුද්ධ ජයන්ති විහාරයට ගොස් වැඳපුදාගෙන නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් හා ස්වල්ප වේලාවක් කතා බහ කරමින් වෙලාවක් කතාබහ කරමින් සිටියේ ය.

විහාරස්ථානය වැඳ පුදා ගන්නට පැමිණි බැතිමතුන් පිරිසක් අමතමින් ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයා ගැන මෙසේ කීවේය.

”ජනාධිපතිතුමාට ඔබතුමන්ලා අත් දෙක එකතු කරලා ආචාර කළාට පවු නෑ. අනිත් රටවල්වල මිනිස්සු පාරට බහින්න බයේ ඉද්දි ඕගොල්ලෝ අද කිසි බයක් නැතුව මේ වගේ පන්සලකට ගිහින් මලක් පහනක් නිදහසේ පූජා කරන්නේ මෙතුමන් කලට වේලාවට එන්නත් ටික ගෙනල්ලා ජනතාවට එන්නතේ ආරක්ෂාව දුන්න නිසයි. සමහර අය ඒ ගැන කතාවක් නෑ… විවේචනය කරනවා විතරයි…”

”ටික දෙනෙක් විවේචන කළාට බහුතරයක් දෙනා ඒ ගැන හොඳ අවබෝධයෙන් ඉන්නෙ අපේ හාමුදුරුවනේ… ඒ ගැන කවුරුත් ජනාධිපතිතුමාට පින්දෙනවා… එහි සිටි ජනතාව කීහ.

බුදුගේ වන්දනා කරන්නට ජනාධිපතිවරයා පැමිණි වේලාවේ එහි පැමිණ සිටි වෛද්‍යවරයෙක් පැමිණ ජනාධිපතිවරයා හා කතාබහ කළේය. උතුරු මැද පළාතේ එන්නත්කරණය හා සෞඛ්‍යය කටයුතු නිසියාකාරව සිදුවෙන අයුරු ගැන ඔහු හොඳ විස්තරයක් කළේය… වෛද්‍යවරයා රවී හේරත් නම් විය. ජනාධිපතිවරයා ඉන්පසුව අභයගිරියටත් ඊටත් පසුව ථූපාරාමයටත් ගියේය. හවස යළි ගුවන් මගින් කොළඹට ආවේ පහුවදාට ඉතාමත් වැදගත් වැඩ කටයුතු රාශියක් කරන්නට යෙදී තිබූ නිසාය.

  • පෝට්සිටි පෙන්වන්න
    රනිල් හා කරු ඇවිත්

මීට පෙර සතියක ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාවට පැමිණ ගියේය. ඔහුගේ පැමිණීම ගැන අපේ සමාජයේ දේශපාලන කතිකාව තුළ ලොකු කතාබහක් ඇති විය. මේ අතර එම කතාබහ තවත් උණුසුම් කරන්නට හේතු වූ කරුණක් පසුගිය සතියේ ද සිදුවිය. ඒ චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාවට පැමිණීම ය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් අතර හමුව අපට දේශපාලනමය හා ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම වැදගත් හමුවීමක් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ ඒ වන විට මත පළකර සිටියහ.

ඉරිදා උදේ 10. 30ට ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා චීන විදේශ ඇමැතිවරයාත් අතර හමුව හා විශේෂ සාකච්ඡාව පැවැත්වුණි. සාකච්ඡාව සඳහා පැයක කාලයක් මිඩංගු විය.

ඉන් පසුව චීන විදේශ අමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් දූත පිරිසත් පෝට් සිටි ප‍්‍රදේශයට ගියේ එහි වූ විවෘත කිරීම් රාශියකට සහභාගි වන්නටය.

මුලින්ම පෝට් සිටියේ වැඩ නිමකර තිබූ ප්රසබ් ඉ්හ මංතීරුවේ හා පාලමේ විවෘත කිරීම ජනාධිපතිවරයාගේ හා විදේශ ඇමැතිවරයාගේ අතින් සිදුවිය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මැති ඇමැතිවරු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටි අතර විශේෂ අමුත්තන් දෙදෙනකු ද පැමිණ සිටියහ. ඒ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා හිටපු කථානායක කරු ජයසූරිය යි. මේ දෙදෙනා ඉතාමත් සුහදව ජනාධිපතිවරයා හා චීන විදේශ අමාත්‍යවරයා හා කතා බහ කරමින් අවට සිරි විසිතුරු බලන ආකාරය ද සිරි සුබ දසුනක් විය.

චීන – ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික සබඳතාවලට අවුරුදු 65 ක් සපිරීම හා චීන ශ‍්‍රී ලංකා රබර් – සහල් ගිවිසුමට අවුරුදු හැත්තෑවක් සපිරීම ද මෙම අවස්ථාවේදී ඇගයීමට ලක්වීම විශේෂ කරුණක් විය.

චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම හා මෙම විවෘත කිරීම් සිදුවීම අපේ රටේ දේශපාලන කතිකාවට කතාබහ සඳහා හොඳ මාතෘකාවක් විය. ආණ්ඩුව ඉතා සූක්ෂම ලෙස ඉන්දු ශ‍්‍රී ලංකා මෙන්ම චීන ශ‍්‍රී ලංකා සබඳතා කළමනාකරණය කර ගන්නා අන්දම දේශපාලන නිරීක්ෂකයන්ගේ ඇගයීමට ලක් විය.

දොළොස් වන බදාදා දිනය අපට තවත් වැදගත් දිනයක් විය. ඊට හේතුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවෙනි අදියරේ වැඩ කටයුතු එදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් ආරම්භ වීමයි. මෙය ඉතා ලොකු රාජ්‍ය උත්සවයක් ලෙසින් පැවැත්වුණු අතර රජයේ මැති ඇමැතිවරු හා නිලධාරීන් රාශියක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම අවස්ථාව අළලා හොඳ කතාවක් කළේය.

”අපි මේ රටේ ජනතාව 69 ලක්ෂයකගේ බලය අරගෙන ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ මේ රටට හුඟක් වැඩ කරන්න හිතාගෙන. අවුරුදු 2 කට වැඩි කාලයක් මේ කොරෝනා වසංගතය නිසා අපේ කාලය අපතේ ගියා. දැන් අපි ආයෙත් වැඩ ආරම්භ කරලා තියෙනවා. අපිට විවිධ බලපෑම් ආවා. විවිධ විවේචන ආවා. කරපු හොඳ දේවල් එකක්වත් කවුරුවත් අගය කළේ නෑ. කොවිඞ් වසංගතය නිසා අපේ ආර්ථික ඉලක්ක සම්පූර්ණ වුණේ නෑ. ඒ වුණත් අපි ජනතාවට සහන සලසන එක හා සංවර්ධන කටයුතු අතෑරියේ නෑ. ඇත්තම කියනවා නම් කොවිඞ් වසංගතය අපිව ලොකු ආර්ථික අගාධයකට තල්ලූ කර හැරියා. එහි ගැඹුර කොච්චරද කියනවා නම් මේ වරාය පතුලටත් වඩා ගැඹුරුයි. අසීරු උනත් අපි ඉන් ගොඩ එන ගමන දැන් අරඹලා තියෙනවා. අපි ඒ ඇරඹුමේ එක වැදගත් සන්ධිස්ථානයක් තමයි මේ වරාය සංවර්ධන කටයුතු…”

අග‍්‍රාමාත්‍යවරයාගේ කතාව කාටත් තදින් හද පතුලටම දැනෙන ආකාරයේ කතාවක් විය. ඒ අතර වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන ද තවත් වැදගත් කතාවක් කීවේය.

“alphaliner ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපි දැන් ලෝකයේ වරායවල් අතරින් ඉන්නේ 23 වන ස්ථානයේ. 2025 වන විට අපි මේ වරායේ වැඩ ඔක්කොම ඉවර කරනවා. එතකොට නිසැක වශයෙන්ම අපි ලෝකයේ වරායවල් අතර 13වන ස්ථානයට පිවිසෙනවා…”

නැටුම් ගැයුම් හා විශේෂ දේශනවලින් වර්ණවත් වූ මෙම උත්සවය පසුගිය සතියේ පැවැත්වුණු කැපී පෙනෙන රාජ්‍ය උත්සවය විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නව වසරේ නවතාවයකින් හා නව මානයකින් යුතුව වැඩ පටන් ගෙන ඇති ආකාරය පසුගිය සති දෙක තුළ මේ අයුරින් අනාවරණය විය.

ඩුබායි එක්ස්පෝ ප‍්‍රදර්ශනය සඳහා සහභාගි වූ ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවත මෙරටට පැමිණියේ ඉකුත් ඉරිදායි. මෙරටට පැමිණි ඇමැතිවරයාගේ රාජකාරි ඇරඹුවේ සඳුදා උදේ පාන්දර මිනුවන්ගොඩ කලාපයේ විදුහල්පතිවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකිනි. එහිදී ගුරුවරුන්ගේ වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා විය.

”මම ඩුබායි යන්න කළින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට කතා කරලා කිව්වා ජනවාරි මාසයේ ඉඳන් වැටුප් ප‍්‍රශ්න විසඳනවා. ඒකට අවශ්‍ය කරන සියලූ තොරතුරු සූදානම් කරලා තබා ගන්න කියලා. ඒ තොරතුරු ලෑස්තියි නම් ජනවාරි මාසයේ ගුරුවරුන්ගේ නියමිත වැටුප් ලැබෙනවා. ඒ තොරතුරු තවම දීලා නැත්නම් හැකි ඉක්මනින් තොරතුරු යවන්න.” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය.

”ඔව් ඇමැතිතුමා රට යන්න කළින් මට ඒ උපදෙස් ලබා දුන්නා. ඒ වගේම අදාළ තොරතුරු ඔක්කොම මේ වෙනකොටත් අපි ලබා දිලා තියෙන්නේ.” ඊට සහභාගිව සිටි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ද පෙරළා පිළිතුරු දුන්නේය.

”මේ වැටුප් වැඩිවීම අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ජනතාවට දුන්න පොරොන්දුවක් ඉටු කිරීමක්. අපිට පහුගිය කොවිඞ් කාලසීමාවේ ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් තිබුණේ. 2020 විසඳන්න සැලසුම් කළ ප‍්‍රශ්නයක් මේ තරම් කාලයක් ප‍්‍රමාද වුණේ ඒ නිසයි. වෘත්තීය සමිතිවලට ඕනේ වුණේ මේක විසඳන ක‍්‍රියාවලිය කඩාකප්පල් කරන්නයි. මමත් සාමාජිකයෙක් වෙලා අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමකින් තමයි මේ තීරණ ගත්තේ.” ගුරු වැටුප් විෂමතාවය විසඳීම සම්බන්ධයෙන් දීර්ඝ අදහස් දැක්වීමක් කරන අතරේ ඇමැතිවරයා පැවසීය.

” වසර 24ක් තිස්සේ තිබුණු මේ ප‍්‍රශ්නය විසඳා දීම නම් ගුරුවරුන් වෙනුවෙන් කළ ලොකු සේවයක්” විදුහල්පතිවරයෙක් කීවේය.

”ඒ විතරක් නෙවෙයි. මුදල් ඇමැතිතුමා සහන පැකේජය මගින් ලබා දෙන්න පොරොන්දු වුණු රුපියල් 5000 දීමනාවත් මේ මාසයේ ඉඳලා ගුරුවරුන්ගේ වැටුපට එකතු වෙනවා.” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කාටත් අමතකව ගිය තවත් කරුණක් සිහිපත් කළේය.

  • මෛත‍්‍රීගේ විශ්වාසය ගැන
    ප‍්‍රසන්නගේ අවිශ්වාසය

එදින සවස බස්නාහිර පළාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ රැස්වීමක් නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැති මෙම සාකච්ඡාවේදී වරාය නැගෙනහිර පර්යන්තයේ වැඩ ඇරඹීම, වරාය බටහිර පර්යන්තයේ වැඩ ඇරඹීම, මීරිගම සිට අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීම මෙන්ම බස්නාහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද සාකච්ඡා විණි.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළට මෙහිදි මන්ත‍්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.

”ඒ අය ආණ්ඩුව නියෝජනය කරන්නේ නැහැ වගෙයි කතා කරන්නේ” මිලාන් ජයතිලක මන්ත‍්‍රීවරයා කීවේය.

”ඒක නම් ඇත්ත, මම නම් මේ දීගෙට මුල ඉඳලාම විරුද්ධයි. හිටපු ජනාධිපතිතුමා ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. මම යන්නේ නැහැ කියලා ඊළඟ දවසේ හංසයාගෙන් ඡන්දේ ඉල්ලන්න ගියා. ඊට පස්සේ මහ මැතිවරණයේදී මහින්ද මහත්තයාගේ ජනප‍්‍රියත්වයෙන් ඡන්ද ටික ලැබෙන තැනටම මැතිවරණ ව්‍යාපාරය ගෙනත් දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා. අන්තිම මොහොතේ පක්ෂ ලේකම්වරු කනපිට ගැහුවා. ඊට පස්සෙ එජාප දීගය කැඞී ගෙන යනකොට තනියම ඡන්දයට ගියොත් ඇපත් නැහැ කියලා දන්න නිසා පොහොට්ටුවට හේත්තු වෙලා යන්තම් මන්ත‍්‍රී ධුර ටිකක් දිනාගත්තා. දැන් කියනවා ඒ අයලූ මැතිවරණය දිනෙව්වේ.” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා හැමදාමත් දක්වන විරෝධය එහිදී ද පෙන්විය.

”අපේ ඇමැතිතුමා කියන දේ හරියටම හරි. ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනාගත්තේ එක මන්ත‍්‍රී ධුරයයි. ඒකත් දිනාගන්න පුළුවන් වුණේ පොහොට්ටුව එක්ක එකතු වුණ නිසා. තනියම ඉල්ලූවා නම් ඒ ආසනයත් ලැබෙන්නේ නැහැ.” මිලාන් ජයතිලක මන්ත‍්‍රීවරයා නැවතත් කීවේය.

”ඔය කියන කාරණයේ ඇත්තක් තියෙනවා. පහුගිය කාලයේ සිදුවීම් දිහා බැලූවාම ඒ අය සාමූහික වගකීම කඩකරන බවක් තමයි අපිටත් පේන්නේ” නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේය.

”විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ ඉන්නවා. තමන්ට කොවිඞ් පාලනය කර ගන්න බැහැ කියලත් හොඳටම දන්නවා. විදේශ විනිමය ප‍්‍රශ්නයට හරි ආර්ථික ප‍්‍රශ්නයට හරි තමන්ට දෙන්න තරම් විසඳුමක් නැහැ කියලත් දන්නවා. තමන්ට දැක්මක් නැති වුණත් වැඩපිළිවෙළක් නැති වුණත් ඒ අය උත්සහ කරන්නේ කොහොම හරි බලය ගන්න. ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවතත් කීවේය.

”ඇමතිතුමා කියන කතාව ඇත්ත. ඒ අයට ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් දීලා තියෙන කොට ඒ අය සාමූහික වගකීම ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඒ වුණාට හොඳ ප‍්‍රතිඵල ලැබෙනවා නම් විතරයි ඒ ගොල්ලො වගකීම් දරන්නේ. නරක ප‍්‍රතිඵල එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ අතර කතාවට ලක්වෙන දේවල් සම්බන්ධයෙන් ඒ අය හිමින් සැරේ ලිස්සලා ගිහින් ඇඟ බේරා ගන්නවා.” නාමල් ඇමැතිවරයා ද පිළිතුරු දුන්නේය.

”ඒ සම්බන්ධයෙන් ඒ අයම ඉක්මනට තීරණයක් ගන්න ඕනේ. ජනතාව ඇත්ත දන්නවා. කොවිඞ් පාලනය කරගෙන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න ගත්තාම ජනතාව ඇත්ත තේරුම් ගන්නවා. බලය ලබා ගන්න බොරු කියන බොරු කරන අයට ජනතාවම පාඩමක් උගන්වයි” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවතත් කීවේය.

  • දිනේෂ්ට තවමත්
    මුල අමතක නෑ ලූ
කොවිඩ් වසංගතය නිසා බැරිවුණ දේවල් කරන්න ජනපති - අගමැති එකඟත්වයක…

පසුගිය ජනවාරි 11 වැනි දා දිනේෂ් ගුණවර්ධනට වගේම, ම.එ.පෙ.ට විශේෂ දිනයක් වූයේ, ම.එ.පෙ. නිර්මාතෘ ”බොරළුගොඩ සිංහයා” පිලිප් ගුණවර්ධනයන්ගේ 121 වන උපන් දිනය යෙදී තිබීම නිසාය. එදිනට පෙර දින දිනේෂ්, හදිසියේ කොළඹ නගර මධ්‍යයේ පිහිටි, පිලිප් ගුණවර්ධන ක‍්‍රීඩාංගනයට ගියේ කැබිනට් රැස්වීමට යෑමට පෙරාතුවය. ඒ වන විට කොළඹ සංවර්ධන කමිටු සභාපති, යදාමිණි මන්ත‍්‍රීවරයා ද කොළඹ නාගරික මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ද එහි පැමිණ සිටියහ. දිනේෂ්ගේ ප‍්‍රතිපාදනවලින් කොළඹ ක‍්‍රීඩා සමාජ, යෞවන සමාජවලට එල්ලේ, ක‍්‍රිකට්, පාපන්දු ආදී ක‍්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් එහි සංවිධාන කර තිබුණි.

”අපේ ම වන, එල්ලේ ජාත්‍යන්තර මට්ටමට ගෙනයන්න උදව් ඕනෙ.”

දිනේෂ් හා යදාමිණි වටකරගත් එහි පැමිණ සිටි එල්ලේ ක‍්‍ර‍්‍රීඩකයෝ විශේෂ ඉල්ලීමක් කළහ. ඊට සවන් දුන් ඇමැති දිනේෂ්, කුණු වළක්ව තිබූ ස්ථානයක්, ක‍්‍රීඩා පිටියක් කළ කොළඹ හිටපු අමාත්‍ය සුගතදාස මහතා ගැනද, තමන් විපක්ෂයේ සිටියදී තරුණයන්ට බෙදීමට තමන් වෙත ක‍්‍රීඩා භාණ්ඩ දුන් වින්සන්ට් පෙරේරා අමාත්‍යවරයා ගැනද සිහිපත් කළේ, පක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් ක‍්‍රියා කළ අන්දම පිළිබඳව ද සුහදව තරුණ, තරුණියන්ට පැහැදිලි කරමිනි.

11 වැනිදා උදෑසන ම පාර්ලිමේන්තුව අසල පිහිටි සිළුමිණි සෑය විහාරයට පැමිණි දිනේෂ්, එහි පැවති පින්කමේදී, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අති පූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ ආශිර්වාද ගෙන, කෙළින් ම ගියේ බොරළුගොඩ වෙතය. සිය පියා පිලිප් ගුණවර්ධනයන් වෙනුවෙන්, ගීතාංජන ගුණවර්ධන, යදාමිණි ඇතුළු ම.එ.පෙ. සාමාජිකයන් සමග, බොරළුගොඩ සමාධියට පුෂ්පෝපහාර දක්වා, නැවත පාර්ලිමේන්තුවට පැමිණියේ, සභානායකවරයා ලෙස පක්ෂ නායක රැස්වීමට එක්වීමටය.

පසුගිය සතියේ චීන තානාපති කාර්යාලයේ විශේෂ උත්සවයක් පැවැත්විණි. චීන – ලංකා රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් සම්පූර්ණවීම හා නව චීනය සමග නිල වශයෙන් රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ඇතිකරගෙන අවුරුදු 65ක් සම්පූර්ණවීම නිමිත්තෙන් එම විශේෂ උත්සවය සංවිධානය කර තිබුණි. එහි ප‍්‍රධාන ආරාධිතයන් වූයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා ය. ඒ සඳහා ආරාධනා කර තිබුණේ 50ක් තරම් වූ සීමිත පිරිසකට ය. කරු ජයසූරිය මහතාට ද එහිදි ලැබුණේ විශේෂ අවධානයකි.

ඒ සඳහා හේතු වූ කරුණු කිහිපයක්ම තිබෙන්නට ඇත. කරුගේ චීන මිත‍්‍රත්වය බොහෝ දුර අතීතයකට හිමිකම් කියන්නකි. ඔහු මුලින්ම සංචාරයක් සඳහා චීනයට ගොස් ඇත්තේ මෙයට වසර 53කට පෙර 1965 වසරේදී ය. එපමණක් නොව 1965 වසරේ සිට 1982 දක්වා ශ‍්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කර ඇති රබර් තොග අතරින් වැඩිම පංගුවක් අපනයනය කර ඇත්තේ ද එවකට කරු ජයසූරිය සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද පුද්ගලික අංශයට අයත් සමාගම් විසිනි.

එමෙන්ම කරු ජයසූරිය කෙරෙහි චීන ජනතාවගේ මිත‍්‍රශීලීත්වය වර්ධනයවීමට හේතු වූ තවත් එක් වැදගත් කරුණක් තිබේ. 80 දශකයේ දී චීනය තුළ රබර් වගා කිරීම සඳහා චීන රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලදී. ඒ හයිනාන් ප‍්‍රාන්තය කේන්ද්‍රගත කරගෙනය. ඒ සඳහා චීන රජය තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව හා ශ‍්‍රී ලංකාව යන රටවලින් තාක්ෂණික හා අනෙකුත්

සහයෝගයන් අපේක්ෂා කර තිබේ. එවකට පුද්ගලික අංශයේ සමාගම් ගණනාවකම ප‍්‍රධානත්වය දරා ඇති කරු වෙත ද ඒ සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. එහිදී නොපැකිලිවම ඊට ප‍්‍රතිචාර දක්වමින් රබර් ඇට මිලියනයක් කරු විසින් චීනයට ලබාදී ඇත්තේ මුදලට නොව පරිත්‍යාගයක් ලෙසටය. අද දවසේ පවා චීනය එය මහත් සේ අගය කරයි. එදා එම උත්සවයට සහභාගි වෙමින් සිටියදී ද ඒ ගැන බොහෝදෙනෙකු සිහිපත් කර ඇත.

  • තෑගි ගැන විමසන්න
    ජපානෙන් ඇවිල්ල ලූ

ජපන් රජය අපේ රටට දුන් ත්‍යාග හා පරිත්‍යාග බොහෝය. ඒ අතර 1988 වර්ෂයේදී මේ රටේ තරුණ පරපුර පරිණත නායකත්වයකින් හෙබි පෞරුෂවත් නිර්මාණශීලී ජවසම්පන්න පරපුරක් බවට පත් කිරීමේ අභිලාශය ඇතිව ලංකාවට දෙනු ලැබූ මිල කළ නොහැකි තෑග්ගක් ද තිබුණි. ඒ මහරගම හයිලෙවල් පාරේ පිහිටි ජාතික තරුණ මධ්‍යස්ථානයයි. අද ජාතික තරුණ සේවා සභාවේ මහගෙදර නමින් මූලස්ථානය හා ප‍්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන්නේ එදා ජපානයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු
ගොඩනැගිලි සංකීර්ණය තුළයි.

පසුගිය සතියේ එම මධ්‍යස්ථානයේ වර්තමාන ප‍්‍රගතිය නිරීක්ෂණය කර දැක බලාගන්නට අමුත්තෙකු පැමිණියේය. අමුත්තා අන් කවරකුවත් නොව, ජපානයේ සිට පසුගියදා මෙහි පැමිණි නව තානාපති මිසුකොසි හිදෙකි මහතාය.

ඔහු මේ ගමනට තනියම පැමිණියේ ද නැත. නියෝජ්‍ය තානාපති කොතාරෝ කත්සුකි, කොන්සල් ජනරාල් කවකාමී කතයුකි ඇතුළු තානාපති කාර්යාලයේ විශේෂ නිලධාරීන් පිරිසක් ද මෙම ගමනට පැමිණ සිටියහ.

ජපන් තානාපති මෙම සංචාරය පැමිණ තිබුණේ තරුණ කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ආරාධනයක් අනුව ය.

‘‘ඔබතුමන්ලා අපේ රටට වටිනා තෑග්ගක් දුන්නා.. අපි ඒක අවුරුදු 32ක් තිස්සේ සුරැකිව රැකබලා ගනිමින් අප‍්‍රමාණ ලෙස ඵල ප‍්‍රයෝජන ගත්තා. ඔබතුමන්ලා තෑගි දුන්න තත්ත්වයෙන්ම අදටත් ඒ ත්‍යාගය තියනවා… ඕනි නම් ඕනම වෙලාවක ඇවිල්ල නිරීක්ෂණය කරන්න…”

ජපන් තානාපති ඇතුළු පිරිස හදිසියේම පසුගිය සතියේ එම නිරීක්ෂණ චාරිකාව පැමිණ තිබුණේ නාමල්ගේ ඒ ආරාධනාව මත ය. ගොඩනැගිලිවල සුරක්ෂිතතාවය පිරිසිදු බව හා භූමියේ කාර්යක්ෂමතාවය මෙහිදී ජපන් නිරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක්විය. අවසානයේ ඉතා සතුටුදායක ලෙස මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑම පිළිබඳව ජපන් තානාපතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම තරුණ සේවා සභාවේ වත්මන් සභාපති දමිත වික‍්‍රමසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයටත් අමාත්‍යවරයාටත් ස්තුති කරමින් සුහද කතාබහකට එක් විය. එම අවස්ථාවේදී තානාපතිවරයා ඇතුළු පිරිසට මේ මධ්‍යස්ථානයේ පුහුණුව ලබන තරුණ තරුණියන් හා සාකච්ඡා කරන්නට ද අවශ්‍ය විය. ඒ සඳහා වහ වහා අවශ්‍ය පහසුකම් සපයා දෙන්නට නිලධාරීන් යුහුසුළු වූහ. භාෂා පරිවර්තකයින් යොදාගෙන කරනු ලැබූ එම සාකච්ඡාවේදී හුවමාරු වූ කරුණු සම්බන්ධයෙන් ජපන් තානාපතිවරයා අපමණ සතුටට පත් වී සිටින බව අවසානයේ හෙළිදරව් විය.

  • ආණ්ඩුව කඩාවැටිල්ල හා
    රනිල්ගේ තක්සේරුව

එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරීන් ඉකුත් බදාදා ද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නායකයා හමුවී සාකච්ඡා කිහිපයක්ම පවත්වා තිබුණේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙනි.

”තරුණ කණ්ඩායමට අවශ්‍ය පහසුකම් ටික දුන්නා. දැන් එයාලට ක‍්‍රීඩා කටයුතු, කලා කටයුතු එතන ඉඳන් කරන්න පුළුවන්.” මහලේකම් කීවේය.

”ජනවාරි අන්තිම සතියේ එයාලගේ වැඩ ටික පටන් ගන්නවා නම් හොඳ දෙයක් කරන්න වේවි. ඕන නම් ශ‍්‍රමදානයක් වගේ දෙයකින් මේ කට්ටිය එකතු කරගන්නත් පුළුවන් කියලා තරුණ කණ්ඩායම් අතරින් අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා.” රුවන් ද කතාවට එකතු විය.

”යෝජනා අදහස් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඉදිරි සතියෙත් කතා කරලා අලූත් දෙයක් කරන්න බලමු.” නායකයා කීවේ එවැන්නකි.

”පළාත් පාලන මැතිවරණයත් කල් ගියා. ජාතික මැතිවරණයකට මෙපිටින් මැතිවරණයක් එන පාටක් නෑ. මොකද මෙයාලා කරලා තියෙන දේවල්වල හැටියට ඡන්දයකට යන්න බෑනේ.” සංදිත් සමරසිංහ කීවේය.

”විදුලිය කපනවා කියන්නේ ජලයත් කපන්න වෙනවා කියන එකයි. දැන් ආණ්ඩුවට ඡන්දය දුන්නු කෙනෙක් හොයා ගන්නත් නෑ. මම බඩු මල්ලකුත් අරන් අද ප‍්‍රවෘත්ති සාකච්ඡාවකුත් කරනවා.” වජිර ජනතා ප‍්‍රශ්න ඉදිරිපත් කළේය.

”ඔව් ජනතාවට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ආණ්ඩුව මොනවා කරන්න හදනවාද කියලා හිතා ගන්න බෑ.” සාගල ද කතාවට හවුල් විය.

”රත්තරන් සංචිතත් භාගෙට භාගයක් විකුණලා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල එන්න එන්නම අපි පහළට යනවා. ආණ්ඩුව පුරසාරම් දොඩවමින් සිටිනවා.” රංගේද කීවේ එවැන්නකි.

”ඉදිරියට එන ආණ්ඩුවකටත් කරන්න අමාරු තැනකට මේ රට ගෙන එන බව තමයි පේන්න තියෙන්නේ. අපි ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු මාරුවුණාට ප‍්‍රතිපත්ති මාරු නොවන ස්ථිර ප‍්‍රතිපත්තියක් නැතුව මේ රට ගොඩ ගන්න බැරිවෙයි. ඒකට අපි සූදානම් වෙමු. මේ වසර අපි බැහැලා වැඩකරමු.” නායක රනිල් කීවේ දැඩි විශ්වාසයකිනි.

තමන්ට රූපවාහිනී වැඩසටහනකට සහභාගීවීමට තිබෙන බව කියමින් නායකයා සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් ඉවත්ව ගිය ද පිරිස තවදුරටත් නියෝජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්වීය.

නියෝජ්‍ය නායක රුවන් ද ඉකුත් සති අන්තයේ බියගමට ගියේ ඔහු වෙන් කළ ප‍්‍රතිපාදනවලින් සකස් කළ ළමා ක‍්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ය. එම ක‍්‍රීඩාංගනය විවෘත කරනා තුරු එහි පැමිණි දරුවන් පුල පුලා බලා සිටියේ ඔවුනට ක‍්‍රීඩා කිරීමට ස්ථානයක් කාලයක් තිස්සේ නොතිබූ බැවිනි. නියෝජ්‍ය නායකයා ක‍්‍රීඩාපිටිය විවෘත කිරීමේ පීත්ත පටිය කැපූ සැනින් දරුවන් ක‍්‍රීඩාංගනයට හැල්මේ දිව ගොස් ක‍්‍රීඩා කරද්දී රුවන්ගේ ඇසට සතුටු කඳුළක් එක්විය.

  • වෙනස් ප‍්‍රවේශයකින්
    සජිත් වැඩට බැහැලා

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මෙම අවුරුද්දේ සිය දේශපාලන සටන ආරම්භ කළේ අන් අයට වඩා වෙනස් ප‍්‍රවේශයකිනි. පසුගිය සති දෙක පුරාම ඔහු උතුරුකරයේ සිට දේශපාලන කටයුතු ආරම්භ කළේය.

සමගි ජන බලවේගයේ ප‍්‍රධාන වැඩසටහන් දෙකක් වන හුස්මක් හා සක්වල යන සමාජ සත්කාර වැඩසටහන් දෙක රැගෙන විපක්ෂ නායක සජිත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ සංචාරය ආරම්භ කරමින් උතුරේ ජනතාවගෙන් දුකට කන් දෙන්නට පටන් ගත්තේය. සක්වල වැඩසටහන හරහා සජිත් කළේ අඩු ආදායම්ලාභී ජනතාව වෙසෙන ප‍්‍රදේශවල දුප්පත් පාසල්වලට අවශ්‍ය නවීන උපකරණ ලබාදීමය. පරිගණක සහ ඩිජිටල් පරිගණක පුවරු ලබාදීමටත් සජිත් මේ පාසල් තෝරා බේරා ගත්තේය.

හුස්මක් වැඩසටහන යටතේ ඔහු උදව් කළේ උතුරු නැගෙනහිර පළාත්වල අඩු පහසුකම් සහිත රෝහල්වලට ය. ත‍්‍රිකුණාමලය නිලාවැලි සම්පත්තිව් දෙමළ මහා විද්‍යාලයට පරිගණක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කරමින් උතුරුකරයේ සංචාරය ඇරඹූ සජිත් එතැන් සිට පසුගිය දොළොස් වැනි දා වන තුරුම උතුරුකරයෙන් පැමිණියේ නැත.

ඒ අතර සජිත්ගේ උපන් දිනය ද යෙදී තිබිණි. ඔහු සිය උපන්දිනය සැමරුවේ ද චාවකච්චේරිය පාසලක ළමයින් පන්සියයක් දෙනාට සපත්තු ලබාදීමේ පුණ්‍යකර්මයට සහභාගි වෙමිනි. කොළඹට වෙලා ලොකු හෝටලයක යාළු මිත‍්‍රයෝ වටකරගෙන කේක් එකක් කපලා අත්පුඩි ගහලා සතුටුවෙනවා වෙනුවට බිහි කරන සත්කාරය උතුම් නැද්ද… තමන්ට සුබ පතමින් කතා කළ මිතුරෙකුට සජිත් කීවේ එසේය. උතුරු නැගෙනහිර මාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමු කිහිපයකටම සජිත් එක්විය.

”මාධ්‍ය වාරණය සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද?”

උතුරේ මාධ්‍යවේදියෙක් සජිත්ගෙන් ඇසුවේය.

”මොකටද වාරණ. කිසිම මාධ්‍යයකට කිසිම විදිහකට වාරණ නොදැමිය යුතුයි කියන ප‍්‍රතිපත්තියේ තමයි මම ඉන්නේ. වාරණ දාලා, බැරියර් දාලා මාධ්‍යයේ කට වහන්න කාටවත් අයිතියක් නෑ” සජිත් උත්තර දුන්නේය.

”ඔබතුමාගේ ආණ්ඩුවක් යටතේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍යයට වාරණ නොදමන බවට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?” තවත් මාධ්‍යවේදියෙක් ඇසුවේය.

”මගේ වචන විශ්වාස කරන්න. ඒ වගේම මගේ ඉතිහාසය පරීක්ෂා කරන්න. මානව නිදහස, මානව අයිතිවාසිකම්, සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගේ ජීවිතයේ තේමා පාඨ. සමහරු යෝජනා කරනවා මාධ්‍යයට ආචාරධර්ම තියෙන්න ඕනි කියලා. එක අතකට මං විශ්වාස කරනවා, ආචාරධර්ම මාධ්‍ය විසින්ම සකස් කර ගත යුතුයි කියලා. අනෙක් පැත්තෙන් වාරණය ගැන කතා කළොත් මගේ අදහස වෙන්නේ කිසිවෙක් මාධ්‍යයට වාරණ නොදැමිය යුතුයි. ඒ වගේම මාධ්‍ය ස්වයං වාරණයක යෙදුනම ඇති” සජිත් උත්තර දුන්නේය.

  • හිටපු ජනපති මෛත‍්‍රී
    සටනකට සැරසිලා

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල දිගින් දිගටම ආණ්ඩුවට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එළිපිටම ආණ්ඩුවට එරෙහිව සටන සිය අතට ගෙන තිබෙන බව පසුගිය සතිවල කරන ප‍්‍රකාශවලින් පැහැදිලි විය.

පසුගිය 12 වැනිදා පක්ෂ මූලස්ථානයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේදීද මෙම සටන්කාමීත්වය පිළිබිඹු විය.

මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළේ ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය පිටිපස කොටසේ කාමරයක ය. ඒ වෙනුවෙන් පැවති රැස්වීම පැවතියේ පස්වන තට්ටුවේ ප‍්‍රධාන ශාලාවේය. මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ වැඩ කටයුතුවලින් පසුව පක්ෂ නායක මෛත‍්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක ඇතුළු පිරිස ප‍්‍රධාන ශාලාවේ අසුන් ගත්හ.

උත්සවයේ නිවේදක පැතුම් පැස්කුවල් විසින් මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අරමුණු පැහැදිලි කරන ලෙස පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර ට අවස්ථාව ලබා දුන්නේය. ඔහු අරමුණ පැහැදිලි කරමින් සිය කතාව පටන් ගෙන ටික වෙලාවකින් විදුලිය විසන්ධි විය. ශාලාවේ විවිධ කෑකෝ ගැසීම් ඇති විය.

සභාව සන්සුන් කර ගත් ශාන්ත බණ්ඩාර සිය අරමුණු පැහැදිලි කළ කතාව හමාර කළේ මීළඟ කතාව පවත්වන මහින්ද අමරවීරට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමිනි. එහෙත් මහින්ද අමරවීර පැතුම් පැස්කුවල්ට කීවේ තම අවස්ථාව පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේනට ම ලබා දෙන ලෙසයි. කරුවලේම වැඬේ ඉදිරියට ඇදී ගියේය.

මෛත‍්‍රීපාල සිය කතාව ආරම්භ කළේ වේදිකාවෙන් බිමට බැස සභාව මැදට පැමිණ තරමක් සන්සුන් විලාසයකිනි.

”අපිට ලයිට් නෑ… මයික‍්‍රෆෝන නෑ… විදුලි පංකා නෑ… කමක් නෑ…

ඒ වුණාට අපි අපේ වැඬේ අතාරින්නෙ නැහැ… කවුරු විදුලිය කැපුවත් කවුරු විදුලිය විසන්ධි කළත් මොන මොන බාධා ආවත් අපි අපේ විවේචනය නතර කරන්නෙත් නෑ… අපි යන ගමන නතර වෙන්නෙත් නෑ… කවුරුත් ජනෙල් ඇරලා ජනෙල් තිර ඈත් මෑත් කරල මගේ මේ කතාව අහන්න සංසුන් වෙන්න… කියමින් මෛත‍්‍රීපාල සිරිසේන ආරම්භ කළ ඒ වේගවත් කතාව අවසානයේ ඔහුට ද නතර කර ගත නොහැකි තත්ත්වයට පත්විය. ශාලාව තුළ උෂ්ණත්වය දරුණු වූයේන් සියලූ කතා අවලංගු කර මෛත‍්‍රිපාල සිරිසේන මහතා පමණක් කථා කළේය. ඔහුගේ කතාවෙන් උත්සවය ද අවසන් විය.

කෙසේ වෙතත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ආණ්ඩුවට එල්ල කළ ප‍්‍රහාරය බරපතළ විය.

ඊට පහුවදා එනම් 13 වැනි දා තවත් ආගමික උත්සවයක් අනුරාධපුරයේ රුවන්මැලි සෑය අභියස පැවැත්විණි. නව වසරේ පක්ෂයේ වැඩ ආරම්භ කිරීම, පක්ෂයට සෙත් පැතීම හා අලූතෙන් පත් වූ ආසන සංවිධායකවරුන්ට සෙත් පැතීම සඳහා එහිදී කප්රුක් පූජාවක් හා විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වන්නට සියලූ කටයුතු සංවිධානය වී තිබිණි. එහෙත් පුදුමයකට මෙන් එම අවස්ථාවට පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැරුණුවිට පැමිණි සිටි එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වූයේ රංජිත් සියඹලාපිටිය පමණි. අනුරාධපුරයේ දුමින්ද දිසානායකවත් ඊට සහභාගී නොවීම පුදුමයට කරුණක් විය.

කෙසේ වෙතත් අලූත් ආසන සංවිධායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෛත‍්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් එම කප්රුක් පූජාව හා ආශිර්වාද පූජාව පැවැත්වී උදේ නමය වන විට සියල්ල අවසන් විය.

මෙම පුණ්‍යකර්මය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් වන ශ‍්‍රීලනිප පාක්ෂිකයන් නොපැමිණීම ගැන සංවිධායකවරුන් අතර ලොකු කසුකුසුවක් ඇති විය.

උත්සවයට සහභාගි වූ පාක්ෂිකයන් අතර කසුකුසුවට ලක්වූ තවත් කාරණා කීපයක් තිබුණි. ඒ ඉදිරියේදී පැමිණෙන පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ගැනයි. විශේෂයෙන්ම මේ කවර මැතිවරණයකදී වුව පොලොන්නරුවේ තත්ත්වය ඉතාමත්ම උණුසුම් වනු ඇති බව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් පැමිණ සිටි ආසන සංවිධායකගේ අදහස විය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනත් සිරිපාල ගම්ලත් මහතාගේ පුතු නිපුන ගම්ලත් තරුණයාත් ඩඞ්ලි සිරිසේන මහතාගේ තරුණ පුත‍්‍රයාත් නිසැකවම ඊළඟ පළාත් සභා මැතිවරණයේ දී පොලොන්නරුව නියෝජනය කරමින් සටන් වදිනු ඇති බව එම කතාබහෙන් හෙළිදරව් විය. එපමණක් නොව අනාගතයේදී ප‍්‍රධාන මැතිවරණයකට තරග වදින්නට ඩඞ්ලි සිරිසේන මහතාද පිඹුරුපත් සකසමින් සිටින බව පොලොන්නරුවෙන් එම අවස්ථාවට පැමිණ සිටි පාක්ෂිකයන්ගේ කතාබස්වලින් කරුණු හෙළිදරව් විය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment