කොවිඞ් වැළඳුණු දියවැඩියා රෝගීන්ට මතුවන අතුරු ආබාධ

496

සාමාන්‍යයෙන් කොවිඞ් රෝගය වැළඳුන විට ලබාදෙන ඇතැම් ඖෂධ නිසා කොවිඞ් රෝගයට මුහුණදීම සඳහා ලබාදෙන ආහාර නිසා ආහාර පාලනය ගිලිහීමෙන් ඔවුන්ගේ රුධිර ගත සීනි මට්ටම් යම් යම් වෙනස්කම් මතුවී තිබිය හැකියි.

 දියවැඩියා රෝගීන්ට කොවිඞ් රෝගය වැළඳුණුවිට බරපතළ රෝග ලක්‍ෂණ මතුවිය හැකි බව වෛද්‍යවරු අනතුරු අගවා ඇති නිසා බොහෝ දියවැඩියා  රෝගීන් මෙම කොවිඞ් වසංගතය හමුවේ පසුවන්නේ දැඩි බියකිනි. එසේම කොවිඞ් රෝගය වැළඳී සුවපත් වූ දියවැඩියා රෝගීන් ද තමන්ට කොවිඞ් බලපෑම් මත අතුරු ආබාධ ඇතිවේ යැයි කියා බියකින් පසුවෙති.

වෛද්‍යතුමනි, කොවිඞ් වැළඳී සුවවූ දියවැඩියා  රෝගීන්ට පසුකාලීනව විවිධ අතුරු ආබාධ ඇතිවිය හැකිද?

 කොවිඞ් රෝගයෙන් පසු ඇතැම් අයට යම් යම් රෝග තත්ත්වයන් මතුව තිබෙනවා. එනම් කොවිඞ් නිසා මතු වූ නිවුමෝනියා තත්ත්වය රෝගය සුවවූ පසුද ඇතිවීම, ශරීරයේ දුබලතාවය, ස්නායු පද්ධතිය ආශ‍්‍රිතව වෙනස්කම් හා ආබාධ මතුව තිබෙනවා.

 දියවැඩියා රෝගීන්ට කියා විශේෂත්වයක් නැහැ. මගේ අත්දැකීම් අනුව මා කොවිඞ් රෝගයට ගොදුරුවූ දියවැඩියා රෝගීන් විශාල පිරිසකට ප‍්‍රතිකාර කර තිබෙනවා. එවැනි රෝගීන්ට දියවැඩියාව නිසා සුවිශේෂී රෝග මතුවී නැහැ. එනිසා කොවිඞ් වැළඳුණු දියවැඩියා රෝගීන් අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ.

 වෛද්‍යතුමනි, දියවැඩියා රෝගය නිසා ස්නායු දුර්වලවීම, හෘදයාබාධ ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොවිඞ් රෝගය නිසා මෙම රෝග ඇතිවීම ඉක්මන් විය හැකිද?

 එවැනි සිදුවීම් මේ දක්වා වාර්තාවී නැහැ. ඉදිරියේදී සිදුකරණ පරීක්‍ෂණ මගින් එවැනි සිද්ධීන් හමුවිය හැකිදැයි කියා දැන්ම පැවසිය නොහැකියි.

 සාමාන්‍යයෙන් කොවිඞ් රෝගය වැළඳුන විට ලබාදෙන ඇතැම් ඖෂධ නිසා කොවිඞ් රෝගයට මුහුණදීම සඳහා ලබාදෙන ආහාර නිසා ආහාර පාලනය ගිලිහීමෙන් ඔවුන්ගේ රුධිර ගත සීනි මට්ටම් යම් යම් වෙනස්කම් මතුවී තිබිය හැකියි.

 එවැනි දියවැඩියා රෝගීන්ට නිසි වෛද්‍ය පරීක්‍ෂාවකින් පසු ලබාදෙන ඖෂධ වල යම් යම් වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය විය හැකියි. එසේ නැතිව කොවිඞ් වැළඳීම නිසා දියවැඩියා රෝගීන් ගනු ලබන ඖෂධ වර්ගවල විශේෂ වෙනස්කමක් සිදු කිරීම හෝ ලබාදෙන මාත‍්‍රාවේ වෙනසක් කළයුතු වන්නේ නැහැ.

 වෛද්‍යතුමනි, දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු කොවිඞ් පාලන එන්නත කුමක්ද?

 දියවැඩියා රෝගීන්ට පමණක් නොව කිසිදු පුද්ගලයකුට සුවිශේෂී එන්නතක් කියා එන්නත් වර්ගයක් නම් කළ නොහැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන ඇස්ට‍්‍රාසෙනිකා, ෆයිසර්, මොඩර්නා, සයිනොෆාම් යන එන්නත් වර්ගවලින් කුමන හෝ එන්නතක් ලැබෙන මුල් අවස්ථාවේදීම ලබා ගැනීම කළ යුතුය.

 එසේම දියවැඩියා රෝගීන් කොවිඞ් රෝගය හමුවේ කියා වෙනසක් නැතිව නිසිලෙස රෝග පාලනය කිරීම, ආහාර පාලනය, ලබාගන්නා දියවැඩියා පාලන ඖෂධ නිසි මාත‍්‍රාව නියමිත වේලාවට ගැනීම නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම ආදිය කළ යුතුයි.

 එසේ නොවුණහොත් සිදුවන්නේ දියවැඩියා රෝගය උත්සන්න වීමයි. එසේ උත්සන්නවූ පුද්ලයින්ට කොවිඞ් රෝගය වැළඳුන හොත් බරපතළ තත්ත්වයන්ට යා හැකියි. එනිසා නිසි ලෙස කොවිඞ් පාලන එන්නත් ලබා ගැනීම, දියවැඩියා පාලන ඉන්සියුලින් එන්නත් ලබා ගැනීම, ආහාර පාලනය ආදියට යොමුවීමත් කොවිඞ් නිසා මතුවිය හැකි බරපතළ රෝග තත්ත්වයන් අවම කරගත හැකියි.

කොවිඞ් වැළඳුණු දියවැඩියා රෝගීන්ට මතුවන අතුරු ආබාධ
කොවිඞ් වැළඳුණු දියවැඩියා රෝගීන්ට මතුවන අතුරු ආබාධ
advertistmentadvertistment
advertistmentadvertistment