කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක කර්මාන්තය ගොඩගන්නේ කොහොමද?

3942

දැනට රට මුහුණ දී සිටින විදේශ මුදල් ප‍්‍රශ්නය හමුවේ කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීම අත්‍යවශ්‍ය ප‍්‍රමුඛතම කාරණා දෙකකි. මේ කරුණු දෙක සම්බන්ධයෙන්ම බලවත් අඩුපාඩු දකින්නට ඇත. සංචාරක කටයුතු ඇතුළු රටේ ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට නම් කොවිඞ් වසංගතය පැතිරීම වැළක්වීම සදහා තවමත් ක‍්‍රියාත්මක වන සීමාකාරී තත්වයන් ක‍්‍රමයෙන් ලිහිල් කරගත යුතුය. එහෙත් වසංගත තත්වය පාලනය කිරීමට නිසි පියවර නොගෙන ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට ද දුෂ්කර බව රජයේ ආර්ථික බලධාරීන් තෙරුම් ගත යුතුය. උදාහරණයක් ලෙස අප කොරෝනා වසංගත තත්වය හොදින් පාලනය කර ගැනීමට සමත් වුවහොත් අපට සංචාරකයන් ගෙන්වා ගැනීමට ද පහසුය.

මේ අප කියන්නේ කොවිඞ් තුරන් කරගෙන සංචාරක කටයුතු පණ ගන්වා ගන්න කියා නොවේ. අප කියන්නේ ද කොවිඞ් සමගම සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීම ගැනය. එහෙත් දිනකට විශාල පිරිසක් මිය යමින් දිනපතාම විශාල වශයෙන් ආසාධිතයින් පිරිසක් වාර්තා වෙමින් තිබේ නම් අප විසින් සංචාරක ප‍්‍රවර්ධනයට දරන උත්සාහයන්ද ඵලරහිත වනු ඇත. දැන් අප රටේ ඇත්තේ එවැනි අවදානම් තත්වයකි. එනම් අපට පෙනෙන්නේ කොවිඞ් යළි හිස ඔසවමින් සිටින ස්වභාවයකි. ඒ නිසා පොදුවේ ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට එය ඉතා අහිතකර තත්වයකි. එහෙත් රජය විසින් කොවිඞ් වෛරසයට එරෙහිව එන්නත්කරණය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටීම සතුටට කරුණකි. මේ නිසා අප සිතන්නේ කොවිඞ් සමගම සංචාරක ව්‍යාපාරය යළි පණ ගන්වා ගැනීම සදහා දැනට හිස ඔසවමින් තිබෙන වසංගත තත්ත්වය සුළුකොට නොතකා එය පාලනය කරගත යුතු බවයි. ඒ සමගම රජයේ කාර්යභාරය විය යුත්තේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සැලසීමයි. ඒ මිස රජයේ සංචාරක බලධාරීන්ට අවශ්‍ය ලෙස කර්මාන්තය දැඩිව මෙහෙයවීමට කටයුතු කිරීම නොවේ.

කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක කර්මාන්තය ගොඩගන්නේ කොහොමද?

සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් සහ රජයේ සංචාරක බලධාරීන්ගේ පියවරයන් අතර බරපතල විරසකයන් ඇති බව ද අපට දැනගන්නට ලැබී තිබේ. ඒ නිසා සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සලසන්නාගේ කාර්යභාරය ඉටු කිරීම සදහා එම කර්මාන්තකරුවන්ගේ අදහස් ද විමසීම ඉතාම අවශ්‍ය දෙයකි. මේ පසුබිම තුළ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් හමුවීම අප දකින්නේ ඉතා වැදගත් පියවරක් ලෙසය. සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී සංචාරක හෝටල් හිමියන්, ගුවන් සමාගම් සහ සංචාරක නියෝජිත ආයතන මුහුණ දෙන ගැටළු සම්බන්ධව එම ක්ෂේත‍්‍රවල නියෝජිතයෝ මෙහි දී මුදල් අමාත්‍යවරයා දැනුවත් කළහ. හඳුනාගත් ගැටලූ‍කාරී තත්ත්වයන් පිළිබඳ අදාළ ක්ෂේත‍්‍රවල නියෝජිතයන් සමග වෙන් වෙන් ව දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වුණු බව මුදල් අමාත්‍යංශය පවසයි. එහිදී ගත් තීන්දු තීරණ මොනවාද යන්න ගැන අප නොදන්නා නමුත් මෙවැනි මුලාරම්භයක් ඇති වීම ඉතා වැදගත්ය. එසේම මෙය එක හමුවකට සීමා නොවී විටින් විට හමු වී අඛණ්ඩව සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීමට ක‍්‍රියාකරන හමුවක් බවට පරිවර්තනය කරගත හැකි නම් වඩාත්ම හොදය. පසුගිය ජුලි 30 වැනිදා පෙරවරුවේ සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ අංශ සමග මුදල් අමාත්‍යාංශයේ දී මේ සාකච්ඡුාව පැවැත්විණි. මෙම සාකච්ඡුාව සඳහා සංචාරක හෝටල් හිමියෝ, ගුවන් සමාගම් නියෝජිතයෝ සහ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් පිරිස් සහභාගී වී සිටියහ. රජය පැත්තෙන් පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, අජිත් නිවාඞ් කබ්රාල්, විමලවීර දිසානායක, ඞී.වී. චානක, ප‍්‍රියංකර ජයරත්න යන මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. ඇත්තවශයෙන්ම සංචාරක කටයුතු පණ ගන්වා ගැනීමට නම් මෙසේ ඊට අදාළ අනෙකුත් අංශවල සහාය සහ දායකත්වය ද ලබාගත යුතුමය.

කොවිඞ් වසංගතය නිසා වැඩිම බලපෑමට ලක් වූ කර්මාන්තය ලෙස ද මේ සංචාරක කර්මාන්තය හැදින්විය හැකිය. මෙය බෝවෙන රෝගයක් නිසා කොරෝනා ආසාධිත වූ වහාම සිදු වන්නේ ඔහුගේ පමණක් නොව ඔහුගේ ආශ‍්‍රිතයන්ගේ ද සංචරණය නැවැත්වීමයි. එසේම ආසාධිතයා වෙන්කර ප‍්‍රතිකාර කිරීම සහ අනෙකුත් ආශ‍්‍රිතයන් නිරෝදායනයට ලක් කිරීමයි. මේ නිසා කොවිඞ් නිසා සංචාරක කර්මාන්තය අකර්මන්‍ය වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් එන්නත්කරණය අපේ රටේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලත් වේගයෙන් සිදු කරමින් සිටින තත්වය තුළ අනාගතයේ දී මේ කොරෝනාව මරණ අවදානම ඉතා අවම සහ රෝග ලක්ෂණ අවම තත්වයට පත්ව උණක්,හෙම්බිරිසාවක් බවට පත්කර ගත හැකි වුවහොත් ජනයාගේ සංචරණය මෙන්ම පොදුවේ රටවල ආර්ථික කටයුතු ද පණ ගන්වා ගැනීමට පහසුය. අප මේ වසංගත තත්වයට මුහුණ දෙමින් සිටින්නේ ගිය වසරේ (2020 ) මාර්තු අග සිටමය. දැන් වසර එකහමාරකට ආසන්න වෙමින් තිබේ. මෙය අවසන් වන දිනයක් ද නිශ්චිතව කිසිවෙකුටත් කීමට හැකියාවක් නැත. අපට මේ නිසා කොරෝනා සමග තවත් සෑහෙන කාලයක් ගත කිරීමට සිදු විය හැකිය. මුලින් ‘අපි තමයි හොදටම් කරේ’ කියා කීවත් එය එසේ නොවන බව මේ වන විට පැහැදිලි වී තිබේ. මේ මොහොතේ කොරෝනාව යළි හිස ඔසවමින් තිබියදී රාජ්‍ය සේවයට සියලූ‍ දෙනා කැදවීම ද ගැටළු සහගතය. අපේ පොදු ප‍්‍රවාහන සේවයේ තත්ත්වය ද අප නොදන්නවා නොවේ. මේ තත්ත්වය හමුවේ අපේ වසංගත තත්වය තවදුරටත් ව්‍යාප්ත විය හැකිය. එය සංචාරක කර්මාන්තය පමණක් නොව පොදුවේ සියලූ‍ ආර්ථික කටයුතු පණගන්වා ගැනීමට ද අහිතකර ලෙස බලපානු ඇත.

එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත‍්‍ර  රැසක් ප‍්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවක දී පවසා තිබුණි. ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්ත්වයට රැුගෙන ඒමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළි‍වෙළ අගය කරන බව ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය මෙහිදී ප‍්‍රකාශ කර තිබේ. මේ දිනවල යුද හමුදාව මගින් වේගයෙන් සාර්ථකව සිදු කරන එන්නත්කරණය කාගේත් අගය කිරීමට ලක්ව තිබේ. එහෙත් රටේ ආර්ථික කටයුතු අකර්මන්‍ය වීමට සෘජුවම බලපාන කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ගන්නා පියවරවල නොයෙකුත් අඩුපාඩු අප දකින අතරම කොවිඞ්වලින් පසු අපේ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීමට ද රජය විසින් නිසි කාර්යක්ෂම පියවර අනුගමනය නොකළ බවද අපගේ අදහසය. මේ සදහා එක උදාහරණයක් දැක්විය හැකිය. එනම් මාලදිවයින් රජය කොවිඞ් ගමුවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අනුගමනය කළ නිවැරදි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග නිසා ඒ රටට මේ වර්ෂයේ (2021 * පළමු මාස හතේදී විදේශ සංචාරකයන් 617,791ක් ගෙන්වා ගැනීමට හැකිව තිබේ. එහෙත් සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් ඊට වඩා බොහෝ ශක්තීන් තිබෙන අප රටේ තත්වය කුමක් ද ? ශ‍්‍රී ලංකාවේ සංචාරක බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට අසමත් වූ නිසා අපට මේ මාස හතේදී ගෙන්වා ගැනීමට හැකි වී ඇති සංචාරකයන් ප‍්‍රමාණය 17,700 ක් පමණකි. නිරෝදායනය මුවාවෙන් රජයේ හිතවතුන්ගේ සංචාරක හෝටල්වලට බිස්නස් වැඩිකර ගැනීමට ක‍්‍රියා කිරීම මෙන්ම පීසීආර් වෙළෙදාම වැනි සංචාරකයින් ගෙන්වා ගැනීමට බාධාවන පිළිවෙත් සම්බන්ධයෙන් වන ඇතැම් චෝදනා තිබේ. මේවා ඇතුළු මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට බාධාකාරී අහිතකර පිළිවෙත් වහාම ඉවත් කළ යුතුව තිබේ. නැතහොත් කොවිඞ් හමුවේ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීමේ අපේ ඉලක්ක අපට ඒ අයුරින්ම සපුරා ගැනීමට අපහසු වනු ඇති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම සංචාරක ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාටත් අපි කියා සිටිමු. එවිට මෙරට සංචාරක කර්මාන්තයේ සෘජුව සහ වක‍්‍රව නිරතව සිටින ලක්ෂ තිහක් තරම් පිරිස තවදුරටත් දුෂ්කරතාවට පත් වනු ඇත. එසේම විදේශ මුදල් හිඟය හමුවේ දුෂ්කර තත්වයට පත්ව සිටින අපට විදේශ විනිමය උපයා ගැනීමට තිබෙන මේ කර්මාන්තයෙන් අප උපරිම ලෙස ප‍්‍රයෝජන ගැනීමේ අවස්තාව ද අපට මග හැරෙනු ඇත. ඒ නිසා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට මේ කර්මාන්තය ගැන අවධානය යොමු කර පවතින ගැටළු විසදා ඉක්මනින් මේ කර්මාන්තය පණ ගන්වා ගැනීමට ක‍්‍රියා කිරීම ගැන සංචාරක කර්මාන්තයේ බොහෝ පිරිස් අපේක්ෂා දල්වාගෙන සිටී. එහෙත් අපේ රටේ පමණක් නොව වෙනත් රටවල පවා යළි හිස ඔසවන කොවිඞ් වසංගත තත්වය මේ සදහා බලවත් තර්ජනයකි. කෙසේ හෝ කොවිඞ් තත්ත්වය සමනය වීමෙන් පසු සංචාරක පැමිණීම් වැඩි කර ගැනීමට අප දැන් සිටම සුදානම් විය යුතුමය. අපේ සංචාරක ආකර්ෂණීය ස්ථානවල යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම නව සාමාන්‍ය තත්ත්වය යටතේ නව සංචාරක අවශ්‍යතා හදුනාගෙන ඊට ගැලපෙන ලෙස සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීම සහ සංචාරක නිෂ්පාදිතයින් හදුන්වා දීම ද මෙහිදී අවශ්‍ය වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සලසනවා  – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක කර්මාන්තය ගොඩගන්නේ කොහොමද?


ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක‍්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ‍්‍රිත ක්ෂේත‍්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට රජය සූදානම්. ඉලක්ක ගත වැඩපිළිවෙළක් යටතේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැපයීමට රජය නොපැකිළව කටයුතු කරනවා. පසුගිය යුධ සමයේ දී ද සංචාරක කර්මාන්තයේ යම් බිඳ වැටීමක් ඇති වූ අවස්ථාවේ දී එම අභියෝග ජයගැනීමට අප කටයුතු කළා. දැන් පවතින තත්ත්වය ද කෙටි කාලයක් තුළ මග හරවා ගැනීමට හැකි වන බව අප විශ්වාස කරනවා. මෙරට කොවිඞ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධ ප‍්‍රගතිය පිළිබඳ ව සෙසු රටවල් දැනුවත් කිරීමට කටයුතු කරන අතර වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති රටවල් සමග එම සීමා ලිහිල් කර ගැනීමට වෙන් වෙන් වශයෙන් සාකච්ඡුා කිරීමට කටයුතු කරනවා කොවිඩි වසංගත තතත්ත්වයත් සමග මෙරට ක්ෂේත‍්‍ර ගණනාවක යම් පසුබැසීමක් ඇති වෙලා තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ අඛණ්ඩව ක‍්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මාස කිහිපයක් තුළ මෙරට අපනයන ආදායම් ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන ලෙස වර්ධනයක් ළගා කර ගැනීමට හැකි වී තිබෙනවා. එසේ ම සංචාරක ක්ෂේත‍්‍රය ද කඩිනමින් යථා තත්ත්වයට පත් කොට විදේශ විනිමය උපයන මට්ටමට පත් කිරීමට අවශ්‍යයි. වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ලෝකයේ බොහෝ රටවල් විවිධ සහන පැකේජ හඳුන්වා දී තිබෙනවා. ඒවා අධ්‍යයනය කර තරගකාරී ලෙස සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි සහන පැකේජ හඳුන්වා දීමට කටයුතු කිරීමත් අවශ්‍යයි.

සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ අංශ සමග  පසුගිය ජුලි 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේ දී

advertistmentadvertistment
advertistmentadvertistment