කොවිඩ් අර්බූදය මිනිස් සංහතියටම මරු පහරක් – ජී 20 අන්තර් ආගමික සංසදයේ දේශනය පවත්වමින් අගමැති මහින්ද රාජපක්‍ෂ

286

* වසංගතයෙන් බේරී ජීවිත ඇරඹීමට ජාත්‍යන්තර සහයෝගය ශක්තිමත් කළ යුතුයි

 * විවාහය භාරකාරත්වය සහ උරුමය යල්පැනගිය  නීති යාවත්කාලීන කරනවා

 * අපගේ තරුණයන් තෘප්තිමත් ජීවනෝපාය සඳහා සන්නද්ධ කරනවා

කොවිඩ් අර්බූදය මිනිස් සංහතියටම මරු පහරක් - ජී 20 අන්තර් ආගමික සංසදයේ දේශනය පවත්වමින් අගමැති මහින්ද රාජපක්‍ෂ

කොවිඞ් 19 අර්බුදයේදී ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනසක් නැත. එය මුළු මිනිස් සංහතියටම මාරාන්තික පහරක් එල්ල කරයි. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයැයි ඉතාලියේ බොලොන්ඤ්ඤ හි ඊයේ (13දා) ආරම්භවූ ජී 20 අන්තර් ආගමික සංසදයේ සමාරම්භක දේශනය පවත්වමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අග‍්‍රාමාත්‍යවරයා පැවැත්වූ එම දේශන මෙසේය.

 ‘‘සුව කිරීමට කාලයයි: සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය’’ යන තේමාවෙන් ඓතිහාසික බොලොන්ඤ්ඤ නගරයේ පැවැත්වෙන ඉතා කාලෝචිත ජී20 ආගමික සංසදය ඇමතීමට ලැබීම සතුටකි.

 ඊට සහභාගි වන ලෙස ආරාධනා කිරීම පිළිබඳව ඉතාලි සංවිධායක කමිටුවේ සභාපති ඇල්බටෝ මෙලොනි ඇතුළු සියලූ දෙනාට මම ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන් මගේ රට වන ශ‍්‍රී ලංකාවට සහ දකුණු ආසියාවේ භූගෝලීය කලාපයටම මෙම සම්මන්ත‍්‍රණ තේමාව අදාළ වීම නිසා මෙම අවස්ථාව වඩාත් අගය කරමි. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් අතර නැඟී සිටිමින්, විවිධ ජන කොටස් එක්සේසත් කරමින්, පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගයට අපි ප‍්‍රතිචාර දක්වා ඇත්තෙමු. අපගේ ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍යම එකමුතුව සහ සහයෝගීතාව මත එක් ජාතියක් වශයෙන් අපගේ අනාගතය බොහෝ සෙයින් රඳා පවතී.

 අපේ කාලය තුළ සංස්කෘතීන් තුළ සාමය හා සමගිය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අංශ කෙරෙහි ඔබ දැඩි අවධානයක් යොමු කර ඇති බව ඉතා පැහැදිලි ලෙස සකස් කළ සම්මන්ත‍්‍රණ ලේඛන වලින් මම නිරීක්ෂණය කරමි. අධ්‍යාපනය මෙම ක්ෂේත‍්‍රයන්ගෙන් වැදගත්ම ක්ෂේත‍්‍රය ලෙස හඳුනා ගැනීමට මා කිසිසේත්ම පැකිළෙන්නේ නැත. තරුණ මනස සිත් ඇදගන්නා සුළු වන අතර නිවැරදි ආකල්ප හා සාරධර්ම වර්ධනය කර ගැනීමට වැඩිම අවස්ථාවක් ඇත්තේ ළමා වියේදී ය. පැහැදිලිවම, විවිධ ආගම් වල හරය තුළ විවිධ වෙනස්කම් ඇතත්, සෑම ආගමකටම පොදු වූ විශ්වාසයන් හා එම විශ්වාසයන්හි හරයක් ද ඇත. අපගේ පාසල් හා විශ්වවිද්‍යාල විෂය මාලාව සහ ඉගැන්වීමේ ක‍්‍රමවේදයන් තුළින් වෙනස්කම් ඉස්මතු කරන කරුණු වලට වඩා එකඟතාව සහ සෑම ආගමකටම පොදු කරුණු පිළිබඳ අවධාරණය යොමු කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ යුතුකමකි. අපේ අධ්‍යාපන ආයතනවල තරුණයන්ට පවුරුවලට වඩා පාලම් තැනීමට සහ ජීවිතය පුරා පවතින මිත‍්‍රත්වයන් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් තිබේ. මගේ රටේ රජය දැන් ප‍්‍රමුඛතාව දෙමින් සිටින්නේ අධ්‍යාපනයේ අන්තර්ගතය නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප‍්‍රතිසංස්කරණය කිරීමට සහ අපගේ තරුණයන් තෘප්තිමත් ජීවනෝපාය මාර්ගයක් සඳහා සන්නද්ධ කිරීමටයි.

 අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප‍්‍රචණ්ඩත්වය අප යුගයේ මුහුණ දෙන බරපතළම අභියෝගයකි. හරියටම වසර විස්සකට පෙර 09/11 සිදු වූ ඛේදජනක සිදුවීම සිහිපත් කරමින් එම සාහසික ක‍්‍රියාවට ගොදුරුවූවන්ගේ පවුල් සමඟ සහ ඇත්ත වශයෙන්ම මුළු මිනිස් සංහතිය සමඟම අපගේ බලවත් ශෝකය මේ අවස්ථාවේ බෙදා ගනිමි. වැරදිකරුවන් සහ ඔවුන්ගේ ප‍්‍රකාශිත අරමුණු කුමක් වුවත් කවර හෝ ආකාරයක ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට එරෙහි නිරන්තර සුපරීක්ෂාවේ අවශ්‍යතාව මෙහිදී සිහිපත් කරයි.

 මෙම වටිනා අවස්ථාව සංස්කෘතියේ, කලාවේ සහ බුද්ධිමය

 ක‍්‍රියාකාරකම්හි ලෝකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සිය කීර්ති නාමය තහවුරු කරගත් බොලොඤ්ඤ නගරයේ පැවැත්වීම සැබැවින්ම සුදුසුය. මෙම සිත් ඇදගන්නා නගරය ඉතාලි පුනරුදයේ ආත්මය නිරන්තරයෙන් තහවුරු කරන අතර ශිෂ්ටාචාරයේ වර්ධනය සඳහා එහි කැපී පෙනෙන දායකත්වයක් සපයයි. ඉතිහාසයේ එම යුගය තුළ සිටි ශේෂ්ඨ ඉතාලි ජාතික විශිෂ්ටයන්ගේ දක්ෂතාවයෙන් හා නිර්මාණාත්මකභාවයෙන් ලොව නිසැකවම පොහොසත් වී ඇත.

 මේ මොහොතේ ලෝකය අත්විඳින බරපතළම අර්බුදය, අප සියලූ දෙනා එක්සත් කරන බැඳීම් අවධාරණය කරනු ඇත: කොවිඞ් 19 අර්බුදයේදී ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනසක් නැත. එය මුළු මිනිස් සංහතියටම මාරාන්තික පහරක් එල්ල කරයි. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.

 නූතන වෛද්‍ය විද්‍යාව මඟින් ලබා ගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්ෂාව ලොව පුරා තිබිය යුතු අතර, අඩු ධනවත් රටවල් සඳහා ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයන් සහිත රටවල ආධාර ලබා ගැනීමට දැඩි විධිවිධාන යෙදිය යුතුය. මෙය සමහර පිරිසක් නොව සියලූ දෙනාම ජයග‍්‍රහණය කළ යුතු සටනකි.

 වෛරසය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසා දැමීම සුදුසු වුවත්, හුදෙකලා වීම ඊට පිළිතුර නොවේ. අප ජීවත් වන ලෝකයේ එක් යථාර්ථයක් නම් රටවල මායිම් හරහා භාණ්ඩ, සේවා සහ මිනිසුන්ගේ නිදහස් සංචලනයයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක‍්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැුකියා ලබා ගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුය.

 මෙය ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව සහ ගරුත්වය කෙරෙහි විශේෂ වැදගත්කමක් ඇති ක්ෂේත‍්‍රයකි. සමාජයක සදාචාරාත්මක ගුණය තක්සේරු කළ යුත්තේ එහි වඩාත් අවදානමට ලක්විය හැකි සාමාජිකයන් කෙරෙහි දක්වන කරුණාව සහ දයානුකම්පාවෙන් බව ගෞතම බුදුරජාණන් වහන්සේ සිය අවසාන දේශනාව වන මහා පරිනිබ්බාන සූත‍්‍රයේදී දේශනා කළහ.

 නිවසේදී, රැුකියා කරන ස්ථානවල සහ සමාජය තුළ සූරාකෑමට සහ විවිධාකාර වෙනස්කම්වලට එරෙහිව කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්ෂාව කෙරෙහි අපේ රජය දැඩි අවධානයකින් පසුවේ. විවාහය, භාරකාරත්වය සහ උරුමය සම්බන්ධ යල්පැනගිය නීති දැනට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාවත්කාලීන කරමින් පවතී.

 දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටලූ අපගේ මනසෙහි ඉදිරියෙන්ම ඇත. මානව සංවර්ධනය සඳහා සමබර ප‍්‍රවේශයක් අනුගමනය කිරීමට ශ‍්‍රී ලංකාව උපරිම උත්සාහයක් දරයි. වේගයෙන් වර්ධනය වන ජනගහනයට සහාය දැක්වීම සඳහා ආර්ථික ගැටලූ පිළිබඳ ප‍්‍රගතිය අවශ්‍ය වුවද පවතින පරිසරය තුළ මෙය කළ නොහැක.

 අපේ රටට බුදු දහමේ වටිනා දායාදය රැුගෙන පැමිණි ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජු අමතා ‘රජතුමනි, ඔබ අපේ භූමියේ කඳුකරය, වනාන්තර, ගංගා සහ ඇළ දොළ, සතුන් හා වෘක්ෂලතාවල පරම හිමිකරු නොව තාවකාලික භාරකරු පමණයි. මෙම වත්කම් ඔබේ මුතුන්

 මිත්තන්ගෙන් ඔබට උරුම වූ පරිද්දෙන් අනාගත පරපුරට පැවරීමට ඔබ බැඳී සිටී’ යැයි පැවසූහ.

 අපේ සංස්කෘතිය හා බැඳී පවතින මෙම වදන් පරිසරය කෙරෙහි අපගේ ප‍්‍රතිපත්තිය මනාව අර්ථ දක්වයි.

 සංහිඳියාව අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවකි. ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය ඇති වන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලූ දෙනා සමඟ පවත්නා යහපත් සබඳතාවලිනි.

 මෙතැනදීත්, අපේ ආගම අපට උගන්වන්නේ වෛරය ජයගන්නේ වෛරයෙන් නොව ආදරය තුළින් පමණක් බවයි. අතීතයෙන් හිමි වූ

 දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවක අවශ්‍යතාවය,සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩ නඟා ගතහොත් අප සැවොම බලා සිටින ආශ්වාදජනක නව මායිම වෙත ළඟා විය හැකියි.

 අවසාන වශයෙන්, යුරෝපයේ පැරණිතම ඉගෙනුම් මධ්‍යස්ථානය වන බොලොන්ඤ හි පැවැත්වෙන මෙම ප‍්‍රබෝධමත් සම්මන්ත‍්‍රණය මේ සඳහා වටිනා දායකත්වයක් සපයයි. අවුරුදු හතක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදය, අන්තර් සංස්කෘතික සංවාදය සඳහා දුර්ලභ අවස්ථාවක් සලසා දෙයි.

 මෙම වටිනා සැසිය ඇමතීමට ඔබ කළ ආරාධනයෙන්, ඔබ මා වෙත දැක්වූ ගෞරවය පිළිබඳව සිහිපත් කරමි. මහාචාර්ය මෙලොනි සහ ඔහුගේ සහායකයන්ට හදවතින්ම ස්තුතිවන්ත වන අතර ඔබේ සාකච්ඡුා සාර්ථක වේවායි පතමි.

advertistmentadvertistment
advertistmentadvertistment