කොවිඩ් අවුලෙන් පෞද්ගලික ගුවන් සමාගම් හාන්සියි

450

කොවිඞ් ව්‍යසනය නිසා උද්ගත වී තිබෙන නොයෙකුත් ගැටලූ හමුවේ මෙරට පෞද්ගලික දේශීය ගුවන් සමාගම්වල කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව එහි හිමිකරුවෝ පවසති. විශේෂයෙන්ම ගුවන් නියමු, ගුවන් ඉංජිනේරු ඇතුළු පාඨමාලා සඳහා සිසුන් කැඳවීමට නොහැකි වීමත් ගුවන් සංචාර සඳහා සංචාරකයින් නොපැමිණීමත් නිසා තම සමගාම්වලට හිමි වූ ආදායම් අහිමි වී පාඩු ලබන තත්ත්වයක් උදා වී තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති. මෙම අර්බුදකාරීත්වය ඉදිරි වසර තුළදී හෝ සාමාන්‍ය නොවුණහොත් මෙරට පෞද්ගලික ගුවන් සමාගම් කීපයක්ම වැසී යෑමට ඉඩ ඇති බවට ද ඔවුහු බිය පළ කරති.

මේ වනවිට මෙරට පෞද්ගලික ගුවන් සමාගම් දහයකට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර ඉන් එක් සමාගමක් පමණක් පෞද්ගලිකව ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. අනෙකුත් සියලූ සමාගම් රත්මලාන, කොළඹ ගුවන්තොටුපළ තුළ තම ගුවන් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යයි.

මීට වසර දෙකකට පෙරාතුව රත්මලාන සිට පලාලි දක්වා සාමාන්‍ය දේශීය ගුවන් සේවාවක් ආරම්භ කිරීමට මෙරට ප‍්‍රධාන පෞද්ගලික ගුවන් සමාගමක් කටයුතු කළේය. ඒ වෙනුවෙන්ම කෝටි ගණනක් වැයකර මගීන් 60 දෙනකුට ගමන් කළ හැකි මගී ගුවන්යානය ආනයනය කිරීමට එම ගුවන් සමාගම කටයුතු කළේය. එහෙත් අදාළ සමාගමට එම කටයුතු පවත්වා ගනිමින් එහි ප‍්‍රතිලාභ ලැබිය හැකි වූයේ මාස කීපයක් පමණි. කොවිඩි ව්‍යාප්තියත් සමගම එම දේශීය ගුවන් සේවාව ද බිඳවැටුණු අතර එම ගුවන්යානය ද අද වනවිට කිසිදු ප‍්‍රයෝජනයක් නොමැතිව රත්මලාන, කොළඹ ගුවන්තොටුපළ තුළ ගාල්කර තිබෙනු දැකගත හැකිය. මෙම ගුවන්යානය ගුවන්ගත නොකළ ද එහි නඩත්තුව හා නවතා තැබීමේ ගාස්තු වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බව එම යානයේ ඉංජිනේරු කටයුතු භාරව සිටි නිලධාරියෙක් පැවසීය.

බේරුවල – චමින්ද ප‍්‍රසාද්
 

advertistmentadvertistment
advertistmentadvertistment