කොවිඩ් ආසාදනයෙන් පියා, මව හා පුතු මසක් තුළ ජීවිතක්‍ෂයට

391

* මහගෙදර ඉතුරු වුණු මල්ලිගෙ බිරිඳයි දරුවෝ දෙන්නයි දැන් ජීවත්වන්නේ කොහොමද? – තනිවූ සහෝදරිය හැඬූ කඳුලින් අසයි

කොවිඞ් ආසාදනය වීමෙන් එකම පවුලේ තිදෙනකු මියගිය පුවත සුළිසුළඟට හසුවූ දුහුවිල්ලක් මෙන් රටපුරා පැතිරගියේ ක්ෂණයකිනි. ඒ සමගම යළිත් කොවිඞ් පිළිබඳව බියක් චකිතයක් සියළු සිත් තුළ ඇති වූ බව නොකියා බැරිය.

මෙසේ මියගොස් ඇත්තේ ඉලූ‍ක්තැන්න මුරුතලාවේ පදිංචි සිරිපාල රාජපක්ෂ (71), චන්ද්‍රා රාජපක්ෂ (68) සහ ධම්මික රාජපක්ෂ (39) යන තිදෙනාය. සිරිපාල මහතා සිය බිරිඳ සහ බාල පුත් ධම්මික ඔහුගේ බිරිඳ සහ දරුවන් සමග මුරුතලාවේ නිවසේ පදිංචිව සිට ඇත. සිරිපාල මහතාගේ එකම දියණිය වන සුජීවා රාජපක්ෂ සිය ස්වාමියාගේ පේරාදෙණියේ නිවසේ දරුවන් දෙදෙනා සමග ජීවත් වෙති.

සිරිපාල මහතා සේවය කර ඇත්තේ පේරාදෙණිය අගුණාවල මීවතුර  ප‍්‍රදේශයේය. වාහන අලූ‍ත්වැඩියාවේ වසර හතලිහකට ආසන්න කාලයක් ගරාජයක් පවත්වාගෙන ගිය සිරිපාල මහතා සමග සිය පුතු ධම්මිකද වසර විස්සකට ආසන්න කාලයක් සේවය කර ඇත. මේ නිවසේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ ගරාජයෙන් උපයන ආදායමය.

සිරිපාල මහතාගේ මියයාම සිදුව ඇත්තේ ජූනි දෙවැනිදාය. දියවැඩියාව රෝගය කාලයක් පුරා පැවතියද සිරිපාල මහතා වෙනත් කිසිදු රෝගයකින් පෙලී නැති බව ඔහුගේ දියණිය පවසයි. දියණිය වන සුජීවා ඇගේ පියා මව සහ මල්ලීගේ වියෝවේ කතාව කීවේ මෙසේය.

” තාත්තා මැයි තිස්වැනිදා විතර ඉදන් කන්න බැරි කතාවක් කිව්වා. එයා සාමාන්‍යයෙන් කෑමට වැඩි ඉඩක් නොදෙන නිසා අපි වැඩිය හිතුවේ නැ. නමුත් පහුවදා කොන්ද රිදෙන බව කීවා. ඒ නිසා මල්ලි තාත්තාව පේරාදෙණිය රෝහලට කැටුව ගියා. එතනදි ඇන්ටිජන් පරීක්ෂණයක් කරලා තාත්තාට කොවිඞ් හැදිලා කියලා. ඒත් වෙනත් අමාරුවක් තිබුණේ නැහැ. ජූනි දෙවැනිදා තාත්තා නැති වුණා.

ඉන්පස්සේ ගෙදර හැමෝටම පීසීආර් කරයි කියා බලාගෙන හිටියා. නමුත් ඉක්මනින් පරීක්ෂණ වෙන පාටක් තිබුණේ නැහැ. ඒ නිසා පුද්ගලික රසායනාගාරයකට මුදල් ගෙවලා අම්මා, මල්ලි, එයාගේ නෝනා, බබාලා දෙන්නාගේ පීසීආර් කළා. හැමෝටම කොවිඞ් ආසාදනය වෙලා කියලා එතනදි දැන ගත්තා. ඉන්පසුව 1990 ඇවිත් අරං ගියා. අම්මායි මල්ලියි පේරාදෙණිය රෝහලට නංගියි බබාලයි පැණිදෙණිය අතරමැදි  රෝහලට අරං ගියා.

නමුත් කාටවත් රෝග ලක්ෂණ මුකුත් තිබුණේ නැහැ. අම්මා දැන් අවුරුද්දකට කලින් හෘද සැත්කමකට භාජනය කරලා ඉන්නේ. අම්මාට නම් වකුගඩු රෝග දියවැඩියාව රුධිර පීඩනය වගේ හැම ලෙඩක්ම තිබුණා. නමුත් බෙහෙත් බීලා හොඳින් හිටියා. අම්මාට ජූනි මාසේ පහළොස් වැනිදා විතර ඉදන් හොඳ නැති බව දැනගන්න ලැබුණා. අම්මා දහහත්වැනිදා නැතිවුණ බව රෝහලෙන් කිව්වා. අම්මායි තාත්තයි දෙන්නාම රෝහලෙන් ආදාහනය කළේ. අපි මිනියවත් දැක්කේ නැහැ.

මල්ලිට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. රෝහලේදි කැස්ස තිබෙන බව කිව්වා. නමුත් වෙන මුකුත් අමාරුවක් තිබුණේ නැහැ. එයාගේ ඔක්සිජන් මට්ටම අඩු වෙනවා කියලා අයිසීයූ එකට දාලා. එතනදි අමාරු වෙලා. එයා විසිතුන්වැනිදා නැති වුණා.

මාසේ ඇතුලත තුන්දෙනාම අපිව දාලා ගියා. දැන් මහගෙදර ඉතුරු වුණේ මල්ලිගේ බිරිඳයි දරුවෝ දෙන්නයි විතරයි. ඒ අයට දැන් ආදායම් මාර්ගයක් නෑ. තාත්තායි මල්ලියි දෙන්නාම වැඩකළේ ගැරේජ් එකේ…” ඇය ඇඩූ කඳුලින් විස්තර කීවාය.

ධම්මිකගේ බිරිඳ සහ දරුවන් සිදුවූ විපත පිළිබඳව අදහාගත නොහී වේදනාවෙන් සිටිති. මාසයක් තුළ එකම නිවසේ එකම පවුලේ පියා මව පුතු මිය යාම ඔවුනට තබා රටවැසියන්ටද අදහා ගත නොහැකි සිදුවීමකි. පවුලේ සියල්ලෝ නිවසින් පිටව ගියේ කොවිඞ් ආසාදනය වීමෙන් බැවින් ඔවුන් යළි නිවසට ආයේ විෂ බීජ හරණය සිදුකිරිමෙන් පසුවය. නමුත් ඒසඳහා කිසිඳු සෞඛ්‍ය බලධාරියකු මැදිහත්ව නැත. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිවැසියන් විසින් පෞද්ගලික ආයතනයකට මුදල් ගෙවා (රු25000) විෂබීජහරණය සිදුකරගෙන තිබේ.

කොවිඞ් 19 වෛරසයේ ප‍්‍රබලකම් දැන් සනාථ වෙමින් තිබේ. කෙතරම් ආරක්ෂිතව සිටීමට වෙර දැරුවද සුළු අතපසුවීමකින් හෝ කොවිඞ් ජීවිත බිලිගැනීමේ වෑයමක සිටින බව මේඔස්සේ අපට පැහැදිලිය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. නිගමන ඔස්සේ යළි මිය ගිය ජීවිතවලට පණ දිය නොහැකි වුවත් ජීවත්වන සමස්ථ ජනතාව වෙනුවෙන් පරීක්ෂණ ප‍්‍රතිඵල ඉවහල්වනු ඇත. ගැටළුව ඇත්තේ තුන්මාසයේ පිංකමට පෙරවත් පරීක්ෂණ ප‍්‍රතිඵල පැමිණේවිද යන්නය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment