කොවිඩ් ඉවර වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනය ඉවරද?…ඔන්ලයින් එපා…රූපවාහිනියෙන් ඉගෙන ගනිමු…!

2236

චන්ද්‍රිකා චැනල් 16ක් ආරම්භ කරන්නත් සැළසුම් කරලා…

ගුරුවරු තවමත් වර්ජනයේ

පාට පක්ෂ බෙදෙමින් එම අභියෝගයට කිසිදිනක විසඳුම් සෙවීමට නොහැක

කොවිඞ් වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල පාසල් මේ වන විට වසා දමා ඇති අතර 2021 වර්ෂයේ ලොව පුරා සිසුන් මිලියන එකසිය හතළිහකට ආසන්න ප‍්‍රමාණයක් පාසල් වලට ඇතුළත් වීමට නොහැකිව බලා සිටින බවට යුනිසෙෆ් ආයතනය තොරතුරු වාර්තා කරයි.

කොවිඞ් වසංගතය නිසා ලංකාවේ පාසල් 10155 ක් වසා දමා ඇත. ඒත් සමඟම සිසුන් 4063685 කට ආසන්න ප‍්‍රමාණයකගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වී තිබේ. අතරමඟ නතර වූ අධ්‍යාපනය යළි නඟා සිටුවීම සඳහා බොහෝ රටවල් මාර්ගගත අධ්‍යාපනය භාවිත කරයි. ලංකාවේද මාර්ගගත ක‍්‍රමය ඇතුළු ක‍්‍රම කිහිපයක් ඔස්සේ දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම සිදු වුව ද මේ වන විට යම් යම් ගැටලූ නිසා ඒවාගෙන් බොහෝමයක් ද අතරමඟ නතර වී ගොසිනි.

පාසල් යෑමට අවස්ථාව නොලැබීම නිසා බොහෝ දුෂ්කරතා මැද මාර්ගගත ක‍්‍රමයට යොමු වූ දරුවන්ට එම ක‍්‍රමවේදය හරහා ද අධ්‍යාපනය ලැබීමට තිබූ අවස්ථාවන් අහිමිව තිබේ. රටක අනාගත උරුමකරුවන් වන දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන් හඬා වැටෙද්දී කෙදිනක හෝ පාසල් පටන් ගනීවි යැයි බලාපොරොත්තුවෙන් දරුවන් බලා සිටිද්දී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන්ගේ තීරණය කුමක්දැයි මහජනතාව ප‍්‍රශ්න කරයි.

ඔවුන්ගේ ගැටලූවලට පිළිතුරු ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ලබාගත් තොරතුරු මෙලෙස සටහන් කරන්නෙමු.

‘‘අධ්‍යාපන ක‍්‍රියාවලිය කියලා කියන්නේ රටක සියලූම ක්ෂේත‍්‍ර සඳහා අත්‍යවශ්‍යම දෙයක්. මොන දේ කරන්නත් අධ්‍යාපනය තියෙන්න ඕනේ. මේ අධ්‍යාපනය කියලා කියන්නේ පොතපතේ දැනුම විතරක් නෙමෙයි. දැනුම, ආකල්ප, කුසලතා හැකියා මේ හැම දෙයක්ම අධ්‍යාපනයට අයත් වෙනවා. වත්මන් ආණ්ඩුවත් සමඟ එකතු වෙලා ගුරුවරුන්ට එන්නත ලබාදීමේ වැඩපිළිවෙළක් සූදානම් කළේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කිරීමේ අවශ්‍යතාව තදින්ම තියෙන නිසා. හැබැයි අපි නොසිතූ විදිහට මේ වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වෙනවා. පාසල් විවෘත කළ යුතුම වුණත් දරුවන්ගේ ජීවිත බිල්ලට දීලා පාසල් විවෘත කරන්න බෑ. ඒත් මේ රටේ හැම පාසලක්ම යළිත් විවෘත විය යුතුයි. ගම් නගර භේදයක් නැතුව දුප්පත් පොහොසත් භේදයක් නැතුව හැම දරුවෙකුටම ඉගෙන ගැනීමට අවකාශ සලසා දිය යුතුයි. මේ කොරෝනා වසංගතය නිසා විශේෂයෙන්ම ප‍්‍රාථමික දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම වගේ අඩාල වෙලා තියෙනවා. අධ්‍යාපනය නැත්නම් කිසිම කෙනෙක්ට පැවැත්මක් නෑ. ඒ නිසා රටේ අනාගත පරපුරට අධ්‍යාපනය ලබන්න ඉඩ හදලා දෙන එක තමයි වැඩිහිටියන්ගේත්, ගුරුවරුන්ගේත් පාලකයන්ගේත් අපි හැම දෙනාගේත් වගකීම ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

සාමාන්‍ය ලෙස වැඩ කටයුතු ආරම්භ කිරීමට අවසර ලැබෙන විටම ජනතාව එම අවසරය අවභාවිත කරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම දිගින් දිගටම සිදු වුවහොත් එය රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ද තදින්ම බලපානු ලබයි.

නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ජනතාව වගකීමෙන් කටයුතු කරන්නට පෙළඹේ නම් යම්තාක් දුරට හෝ මේ වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ හැකියාව පවතී. එසේ වුවහොත් යම් යම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව හෝ නැවත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව ලේකම්වරයා පෙන්වා දෙයි.

දරුවන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් මේ දිනවල අදාළ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එන්නත්කරණ වැඩසටහනින් අනතුරුව පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹිය හැකි බව විශේෂඥයන්ගේ අදහසයි. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා ප‍්‍රථමයෙන් කොවිඞ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවට ද අධ්‍යාපනය ලේකම්වරයා පවසයි.

පාසල් ආරම්භ කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත වැඩසටහන් සඳහා අවශ්‍ය මුදල් මේ වන විටත් සියලූම පාසල් වලට බෙදා දී අවසන් බවට අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු හෙළි කරයි. ඒ අනුව 2020 වර්ෂයේදී මිලියන 693 ක් සහ 2021 වර්ෂයේදී මිලියන 918 ක මුදල් ප‍්‍රමාණයක් පාසල් සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන් සඳහා ලබාදී තිබේ.

දරුවන්ටද එන්නත ලබා දීමෙන් අනතුරුව රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවහොත් අදාළ විශේෂඥයන්ගේ උපදෙස් ලබාගෙන පාසල් ආරම්භ කිරීමට හැකියාව ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹීමට කිසිවෙකුටත් හැකියාව නැත.

‘‘කොවිඞ් වසංගතය ආරම්භ වුණු දවස්වල අපි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශිෂ්‍යයන් අරමුණු කරගෙන විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරා. හැබැයි වසංගත තත්ත්වය එන්න එන්නම දරුණු වෙද්දී අපි අනෙක් දරුවන් පිළිබඳවත් අවධානය යොමු කළා. දරුවන්ට ගුරුවරුන් විසින් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අවශ්‍යය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබුවා. ඇතැම් අවස්ථාවල දරුවන්ට වගේම ගුරුවරුන්ටත් නෙට්වර්ක් ප‍්‍රශ්න තිබුණා. සෑහෙන කැපකිරීමකින් ගුරු විදුහල්පතිවරුන් මේ ඉගැන්වීම් ක‍්‍රියාවලියේ නිරත වුණා. මේ ගුරු වර්ජනය නිසා ඔන්ලයින් ක‍්‍රමයට

ඉගැන්වීමේ වැඩසටහන නතර වෙලා තියෙනවා. නමුත් ඒ සියලූම ගැටලූ ඉක්මනින් විසඳාගෙන ගුරුවරුන් දරුවන් වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරයි කියන විශ්වාසය අපිට තියෙනවා” ලෙසින් පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ධර්මසේන මහතා පවසයි.

අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබා දෙන තුරු ගුරුවරුන්ට රුපියල් පන්දාහක දීමනාවක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබුණ ද සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙසින් වැටුප් විෂමතා නොවිසඳා මෙලෙස රුපියල් පන්දාහේ දීමනාව ලබාදීම ගුරු විදුහල්පතිවරුන් මුළා කිරීමක් බවත් එම නිසා නිසි අයුරින් ගුරු විදුහල්පති ගැටලූ විසඳන තුරු ගුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශ්ෆ් ස්ටාලින් මහතා පවසයි.

මාස එක හමාරත් ඉක්මවමින් දිග් ගැස්සෙන ගුරු වර්ජනය නිසා බොහෝ දරුවන්ට මේ වනවිට මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිව ඇත. නමුත් ඇතැම් ගුරුවරුන් තවමත් දරුවන් වෙනුවෙන් කැප වෙමින් ඉගැන්වීම් කටයුතු කරන බවට ද සිහිපත් කළ යුතුව ඇත.

ඔන්ලයිනුත් නැති පාසලත් නැති දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතා පෙන්වාදෙයි.

  • ඔන්ලයින් වෙනුවට ටීවී චැනල්
කොවිඩ් ඉවර වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනය ඉවරද?…ඔන්ලයින් එපා…රූපවාහිනියෙන් ඉගෙන ගනිමු…!

ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී ගුරු සිසු දෙපිරිසම බොහෝ ගැටලූවලට මුහුණ පාන්නට සිදු වූ බව නොරහසකි. දුරකථන සබඳතාවල ඇති ගැටලූ නිසා හා බොහෝ දරුවන්ට මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය උපාංග නොමැති වීම නිසා පත් වූ දුෂ්කරතාවන් පිළිබඳව දිවයින ඉරිදා සංග‍්‍රහය හරහා මීට පෙර ද වාර්තා කළෙමු.

‘‘මේ ඔන්ලයින් ක‍්‍රමයට හැම දරුවෙකුටම අධ්‍යාපනය ලබන්න බෑ කියන එක අවබෝධ වුණු නිසා තමයි රූපවානිය හරහා අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තේ. 2020 අපේ‍්‍රල් 20 පළවෙනි වැඩසටහන නේත‍්‍රා සහ චැනල් අයි නාලිකාව හරහා විකාශය වුණා.

කොවිඞ් වසංගතය ආරම්භ වුණු මුල් අවධියේ පහ ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පන්ති තුන පමණක් ඉලක්ක කරගනිමින් රූපවාහිනී වැඩසටහන් විකාශය කරා. පස්සෙ හැම ළමයෙක්ම ඉලක්ක කරගෙන අධ්‍යාපන වැඩසටහන් ප‍්‍රචාරය වුණා”.

මාර්ගගත ක‍්‍රමයට වඩා රූපවාහිනිය හරහා අධ්‍යාපනය ලබා දීමේ ක‍්‍රමවේදය සියලූ අංශ කෙරෙහිම පහසුවකි. අන්තර්ජාල පහසුකම් නැති නිවෙස්වල පවා රූපවාහිනී යන්ත‍්‍ර තිබෙන නිසා මෙම ක‍්‍රමය මාර්ගගත ක‍්‍රමයට වඩා සාර්ථක බව බොහෝ දෙනකු පවසයි. නමුත් අධ්‍යාපන වැඩසටහන් විකාශය වන නාලිකා හැම දරුවෙකුටම නැරඹීමට හැකි ද යන්න ප‍්‍රශ්නාර්ථයකි.

‘‘ලංකාවේ හැම නිවසක්ම ආවරණය වන විදියට හැම නිවසකටම පේන විදිහට එකම ටීවී චැනල් එකක්වත් තවම නෑ. ඒ නිසා ඉහතින් සඳහන් කළ වැඩසටහන් නැරඹීමේදී දරුවන්ට ගැටලූ ඇතිවුණා. මේ ගැටලූවට විසඳුම් සෙවීමට මාධ්‍ය සාකච්ඡා කිහිපයක් තියලා ඉල්ලීම් කළාම චැනල් කිහිපයක් එකතු වුණා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන් ප‍්‍රචාරය කරන්න. ඒ චැනල් පැය එක හමාරක වගේ කාලයක් වෙන් කරගෙන විෂයයන් සහ ශ්‍රේණි බෙදාගෙන වැඩසටහන් විකාශය කරනවා” ලෙසින් සේදර මහතා පවසයි.

  • දරුවන් වෙනුවෙන් පියෝ ටීවී නාලිකා විස්සක්

මේ වන විට පියෝ ටීවී නාලිකා විස්සක් හරහා අධ්‍යාපනයට දීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර අදාළ අමාත්‍යාංශ අනුමැතිය ගෙන එම නාලිකා වලින් මුලින්ම නාලිකා හතක් හරහා දරුවන්ට අධ්‍යාපන තොරතුරු ලබා දීමට අවශ්‍ය වැඩසටහන් සකස් අන්දමින් සිටින අතර සැප්තැම්බර් පළවෙනිදා සිට ක‍්‍රියාත්මක කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙලෙස පැහැදිලි කළේය.

‘‘පෙර පාසල සහ 1, 2 ශ්‍රේණි සඳහා එක් චැනල් එකක්, 3 4 5 සඳහා තව චැනල් එකක් වගේ බෙදීම් සිදු කරනවා. ඒ සඳහා අවශ්‍ය කාල සටහන් හදමින් පවතිනවා. මේ වැඩසටහන් වලට විශේෂ මැදිරියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පහත මහලේ හැදෙනවා. ඒත් ප‍්‍රශ්නය තියෙන්නේ පියෝ ටීවී එක පේන්නෙත් පියෝ ටීවී බලන්න හැකියාව තියන අයට විතරයි. සමෘද්ධි අමාත්‍යාංශය එක්ක කතා කරලා යම් ක‍්‍රමවේදයකට දිළිඳු පවුල්වල අයටත් පියෝ ටීවී නරඹන්න ක‍්‍රමවේදයක් හදලා දෙන්න කියලා ඉල්ලීම් කළා. නැතිනම් මේ එක ක‍්‍රමයකින්වත් වැඩක් නෑ. ජාතික අධ්‍යාපනය ආයතනය සම්මතව පිළියෙල කරපු පාඩම් වලින් තමයි රූපවාහිනී නාලිකා වල අධ්‍යාපන වැඩසටහන් සියල්ලම සකස් කරන්නේ. හොඳම පාසල් ගුරුවරුන් අරගෙන තමයි සිලබස් එකට අනුව පාඩම් හදන්නේ” ඒ නිසා ලබාදෙන දැනුම සම්බන්ධයෙන් ගැටලූවක් ඇති නොවන බවද බලධාරීන් පෙන්වා දෙයි.

  • සැටලයිට් ක‍්‍රමයටත් චැනල් දාසයක්

සැටලයිට් භාවිත කරලා චැනල් දාසයක් ලබා දෙන්න අලූත් ටීවී චැනල් එකක් ඉදිරිපත් වෙලා ඉන්නවා. සතයක්වත් අය කර ගන්නෙ නැතුව තමයි ඒ චැනල් 16 අපිට ලැබෙන්නේ. සැටලයිට් ක‍්‍රමයට චැනල් එකක් අස්සක් මුල්ලක් නෑර හැම තැනටම පේනවා. නමුත් චැනල් එක අලූත් නිසා ඞීකෝඩර් බොක්ස් එකක් ගැනීමට සිදුවෙනවා. ඒකට රුපියල් පන්දාහක් වැය වෙනවා. ඞීකෝඩරේ ගන්න විතරයි ජනතාවට සල්ලි යන්නේ. චැනල් එක බලන්න සල්ලි ඕනි නෑ”.

මේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට මාස කිහිපයක් ගත වන බවද මහතා පෙන්වා දෙයි.

‘‘අපි පාඩම් ලෑස්ති කළාට ඒවා ශිෂ්‍යයන්ට ලබා දීමේ වැඩපිළිවෙළ අපිට තනියම සූදානම් කරන්න බෑ. අධ්‍යාපන ක‍්‍රමවේද හැදුවට අපිට නෙට්වර්ක් ප‍්‍රශ්න විසඳන්න හැකියාවක් නෑ. ඒ වුණාට අදාළ ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ එකතු වෙලා නෙට්වර්ක් ප‍්‍රශ්නෙටත් අපි විසඳුම් හොයනවා.

කෙසේ වෙතත් පාසල් විවෘත නොකර විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී බොහෝ දුෂ්කරතා පැන නඟින බවද අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

  • අධ්‍යාපනයේ අලූත්ම වැඩපිළිවෙළත් ගුරු වර්ජනය නිසා කල් ගිහින්.

දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අලූත්ම ක‍්‍රමවේදය ලෙස කුටුම්භපාදක ඉගෙනුම් ක‍්‍රමය හඳුන්වා දී තිබේ. කැබිනට් අනුමැතියද ලැබී තිබෙන නිසා අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස කුටුම්භපාදක අධ්‍යාපන ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි.

‘‘ටෙලිවිෂන්, ඔන්ලයින් වලින් ඉගෙන ගන්න අතරේම මේ කුටුම්භපාදක අධ්‍යාපන ක‍්‍රමය ක‍්‍රියාත්මක කරනවා. ක‍්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය යටතේ හැම ළමයෙක්ටම ගුරුවරු හා විදුහල්පතිවරුන් හරහා ක‍්‍රියාකාරකමක් පාසල මඟින් ලබා දීම සිදු කරනවා. හැම දරුවකුටම කොවිඞ් මර්දන එන්නත දුන්නොත් දරුවන් කොටස් විදියට සතියකට දවසක්වත් පාසලට ගෙන්න ගන්න පුළුවන්. සතියකට අදාළ පැවරුම් ලබාදීම වගේම පෙර සතියේ පැවරුම් නිරීක්ෂණය කිරීමත් ගුරුවරුන් විසින් සිදු කරනු ලබනවා. දරුවන්ගේ පැමිණීම ලකුණු කරනවා. දුර්වලකම් පෙන්නලා මඟ පෙන්වනවා”.

මෙම වැඩසටහනට අවශ්‍ය පාඩම් මාලාවන් පළාත් නමයම ආවරණය වන පරිදි කලාප, පළාත්, විෂය අධ්‍යක්ෂවරු, ගුරුවරුන් එක් වී සකස් කිරීම් අවසන් කර තිබේ. එම වැඩසටහන අගෝස්තු මස සිට ක‍්‍රියාත්මක කළ හැකිව තිබුණත් ගුරු වර්ජනය නිසා කල් දැමීමට සිදු වී ඇත.

මෙම කුටුම්භපාදක ක‍්‍රමවේදය හා රූපවාහිනී වැඩසටහන් එකිනෙකට සම්බන්ධ වන නිසා අවශ්‍ය තොරතුරු එම වැඩසටහන් හරහා මෙන්ම පෙළ පොත ද භාවිත කරමින්ද ලබා ගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව හිමිවේ.

‘‘මේ වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක‍්‍රියාමාර්ග රාශියක් අරගෙන තියෙනවා. නමුත් යටිතල පහසුකම් සැපයීමේ ප‍්‍රමාදය අපේ ප‍්‍රශ්නයක් නොවුණත් ඒවත් හදාගෙන දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. ඉදිරියේදී නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාශියක් සිදු වීමට නියමිතයි. කුටුම්භපාදක ක‍්‍රමය අගෝස්තු මාසෙ ක‍්‍රියාත්මක වෙන්න තිබ්බේ. ගුරු වර්ජනය නතර වූ වහාම ඒ ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙනවා”.

  • දරුවන්ට මානසික සංකූලතා ඇති වීමේ අවදානමක් .

රටෙහි අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් ඉහත ලෙසින් අදහස් දක්වද්දී දරුවන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ ගැටලූ පැන නැඟී ඇති බව මානසික රෝග පිළිබඳව ජාතික ආයතනයේ සායනික අධ්‍යක්ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් මහතා පවසයි.

පාසලෙන්, ගුරුවරුන්ගෙන් සහ මිතුරන් ගෙන් මිදී නිවෙස් තුළම තනි වූ දරුවන්ට මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව ද අහිමි වී යෑමත් සමඟ ඔවුන් හුදකලා වීම නිසා මානසික සංකූලතා වලට ලක් වීමට ඇති අවස්ථාවන් වැඩිය.

මේ නිසා නිවෙස තුළ දරුවන්ව තනි නොකර ඔවුන් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. මාර්ගගත අධ්‍යාපනය මේ වන විට නතර වී තිබුණ ද දරුවන් ජංගම දුරකථන හරහා විවිධ ක‍්‍රීඩා වලට ඇබ්බැහි වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ද නිරන්තරයෙන් වැඩිහිටියන් සොයා බැලිය යුතු ය.

‘‘මේ වසංගතය නිසා අසල්වාසීන් පවා සැක කරන්න සිද්ධ වෙන වටපිටාවක බොහෝ දරුවන් තමන්ටත් කොවිඞ් වෛරසයට ගොදුරු වෙන්න සිද්ධ වේවි කියන බියත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තමන්ගේ දෙමාපියන්, සමීපතමයන් තමන්ට අහිමි වේවි කියලා බයක් දරුවන්ගේ හිත් තුළ ඇතිවෙනවා. පාසල් නොයා ගෙදරටම කොටු වෙලා ඉන්න නිසා යහළුවන් ගුරුවරුන් මුණ නොගැසීම නිසා දරුවන් ඉන්නේ පීඩනයකින්. ඒකාකාරී ජීවිතයත් එක්ක දරුවන්ට මානසික පීඩනයන් ඇති වීමට තියෙන ඉඩකඩ වැඩියි.”

නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද වලට දරුවා හුරු කරන අතරතුරදී ම දරුවාගේ මානසිකත්වය පිළිබඳව ද දෙමාපියන් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් විශාදය වැනි තත්ත්වයන්ට දරුවා ගොදුරු විය හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

  • ශිෂ්‍යයන් ඉගෙනීමට තව තවත් උනන්දු විය යුතුයි.

දුෂ්කරම අවස්ථාවක වුවද අධ්‍යාපනය ලැබීමට ඇති උනන්දුව අඩු කර නොගනිමින් ධෛර්යවන්තව කටයුතු කරන ලෙසට පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි. මේ වන විට අධ්‍යාපනය ලැබීමට අලූත් ක‍්‍රමවේද බොහෝමයක් ඇති නිසා තොරතුරු සොයමින්, අත්හදා බලමින් උනන්දුවෙන් අධ්‍යයන කටයුතු සිදුකළ යුතු බවත් පාසල් විවෘත කළ වහාම සුපුරුදු පරිදි තමා අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකි බවත් ඒ මහතා දරුවන්ට සිහිපත් කරයි. පෙර පාසල්, පාසල්, විශ්වවිද්‍යාල යන සමස්ත අධ්‍යාපන පද්ධතියම කොවිඞ් වසංගතය හමුවේ අඩපණ වී යද්දී දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඇති උනන්දුව උත්සාහය ද ටිකෙන් ටික නැති වෙමින් තිබෙන බව දෙමාපියන් පවසයි. දුෂ්කරතා මැද වුවද අකුරු කළ ගුරුභවතුන් සියල්ල වර්ජනය නිසා නතර වද්දී විභාග සම්බන්ධයෙන් මෙන්ම තමන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද ශිෂ්‍යයන් ට ඇත්තේ අනියත බියකි.

ස්වභාවික ව්‍යසනයක් වන කොවිඞ් වෛරසය ලෝකයටම බලපෑම් කරමින් සිටින අවස්ථාවක බොහෝ දුෂ්කරතා මැද වුවද රටේ අනාගත පරපුර දැනුමෙන් කුසලතාවන්ගෙන් මෙන්ම ගුණදහමින් පෝෂණය කිරීමේ කාර්යභාරය සමස්ත ජාතියටම පැවරී තිබෙන වගකීමකි. පාට පක්ෂ බෙදෙමින් එම අභියෝගයට කිසිදිනක විසඳුම් සෙවීමට නොහැකි වනු ඇත. මේ මොහොතේ වසංගතයට මෙන්ම අනෙකුත් ගැටලූ වලට විසඳුම් සෙවිය යුත්තේ හැඟුම්බර වීමෙන් නොව බුද්ධිමත්ව සිතා බැලීමෙනි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment