කොවිඩ් එන්නත් රැසක් ජුලිවලදී කල් පනී: ඊට කලින් බූස්ටරය ගන්න

127

මේ වසරේ ජූලි මස අග වනවිට මෙරටට ලැබී ඇති කොවිඞ් මර්දන එන්නතේ මාත‍්‍රා බොහොමයක් කල් ඉකුත්වීමට නියමිතව ඇති නිසා තමන් ලබාගත යුතුව ඇති කුමන හෝ එන්නත් මාත‍්‍රාවක් ලබාගැනීමට නොපමාව ක‍්‍රියා කරන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය, හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට මෙරට ජන ගණනයෙන් සියයට 90ක් ඉක්මවා කොවිඞ් මර්දනය වෙනුවෙන් ලබාදෙන එක් එන්නත් මාත‍්‍රාවක් හෝ ලබාගෙන ඇති බවත් එහි දෙවැනි මාත‍්‍රාව ලබාගත් පිරිස ද සියයට 75ක් ඉක්මවා ඇතත් තෙවැනි මාත‍්‍රාවවන බූස්ටර් එන්නත මේ මොහොත වනවිට ලබා ගෙන ඇත්තේ මෙරට ජනගහනයෙන් සියයට 55ක ප‍්‍රතිශතයක් පමණක් බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේද පැවසීය.

අද වනවිට කොවිඞ් රෝගීන්ගේ දෛනික වාර්තාවීම දෙසීයේ සීමාවට පැමිණ තිබෙනවා. එන්නත්කරණය වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්‍ෂා කිරීමත් මේ තත්ත්වයට බලපෑවා. අපි මේ දෙකම අඛණ්ඩව පවත්වාගෙන ගියොත් ඉදිරි උත්සව සමයේත් කොවිඞ්වලින් රට ආරක්‍ෂා කර ගත හැකියි. නමුත් වඩා වැදගත් වන බූස්ටර් එන්නත් මාත‍්‍රාව රටේ ජනගහනයෙන් සියයට 80ක් ලබාගත යුතුව තිබෙනවා. නමුත් මේ වනවිට ඒ අපේක්‍ෂිත මට්ටමට ළඟා නොවීම හොඳ තත්ත්වයක් නොවෙයි. මේ එන්නත් නුදුරේදීම කල් ඉකුත් වෙනවා. ඒ නිසා ඉක්මනින් තමන්ගේ තෙවැනි මාත‍්‍රාව ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment