කොවිඩ් එන්නත් ලක්‍ෂ 60 ක් 31 වැනිදා කල් පනියි

215

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා තුන්වැනි මාත්‍රාව ලෙස මෙරටට ගෙනැවිත් තිබෙන ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 60ක් (මිලියන 06) ලබන 31 වැනිදා කල් ඉකුත් වන බැවින් නොපමාව පැමිණ එන්නත ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ සමිත ගිනිගේ මහතා ඉල්ලා සිටී.

විශේෂයෙන්ම නිදන්ගත රෝගවලින් පෙළෙන වයස අවුරුදු හැටට වැඩි පිරිස සිව්වන මාත්‍රාව තාමත් නොගෙන ඇත්නම් ඉදිරි දින කිහිපයේ දී ආසන්නතම රෝහලට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් අදාළ එන්නත ලබාගන්නා ලෙසද ඒ මහතා දන්වා සිටී.

වයස අවුරුදු තිහට වැඩි ලක්‍ෂ 140 ක් (මිලියන 14) මෙරට සිටින බවත් එම පිරිස කොවිඩ් මර්දන පළමු මාත්‍රාවත් දෙවැනි මාත්‍රාවත් ලබාගත් බවත් සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

නමුත් ඔවුන්ගෙන් තුන්වැනි මාත්‍රාව ලබාගෙන ඇත්තේ ලක්‍ෂ අසූවක් (මිලියන 8) පමණි. ඒනිසා තුන්වැනි මාත්‍රාව නොගත් පිරිස හා වයස අවුරුදු හැටට වැඩි නිදන්ගත රෝගවලින් පීඩා විදින පිරිස හතරවැනි මාත්‍රාව ලබා ගන්නා ලෙසත් මෙම ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත්වී ඉවත දැමීම අපරාධයක් බවත් ඒ මහතා කීය.

යළි කොරෝනා වසංගතයෙන් බේරී සිටීමට නම් එන්නත් ලබානොගත් සෙසු පිරිස හැකි ඉක්මනින් එන්නත ලබාගැනීම අතිශය වැදගත් වන බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment