කොවිඩ් කාලේ සෞඛ්‍යයට ලැබුණු මිලියන 1339 ක බඩු ගිණුම්වල නෑ

136

කොවිඩ් 19 යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ඒ යටතේ පවතින රෝහල් හා ආයතන වෙත 2020 වර්ෂයේදී ලැබී තිබූ රුපියල් මිලියන 1,339.28 ක් වටිනා විවිධ භාණ්ඩ, වෛද්‍ය උපකරණ හා වෛද්‍ය සැපයීම් අංශයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම වටිනාකම නොදත් භාණ්ඩ ඒකක 2,444 ක් ද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. 2020 වර්ෂයේදී විවිධ විදේශීය රාජ්‍යයන්, දේශීය හා විදේශීය ආයතන සංවිධාන හා පුද්ගලයන් සහ දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙකී වෛද්‍ය උපකරණ ඇතුළු විවිධ සැපයීම් ලබාදී තිබුණි. ගිණුම් ගත නොකළ සියලු වත්කම් හඳුනාගෙන ගිණුම් ගත කරමින් 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඉදිරිපත් කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 යටතේ රෝහල් හා ආයතනවලට ලැබී ඇති මූල්‍ය හා මූල්‍ය නොවන ආධාර පරිත්‍යාග පිළිබඳ තොරතුරු ලබාගෙන මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්වීම හෝ නොවීම පිළිබඳ කඩිනමින් වාර්තා කරන බවය. සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment