කොවිඩ් ණය සහන ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

330

කොවිඞ් ණය සහන දීර්ඝ කිරීමට අදාළ චක‍්‍රලේඛය මහ බැංකුව විසින් සියලූම බැංකුවලට යවා ඇති බවත් දැන් බැංකු විසින් සිය ශාඛාවලට අභ්‍යන්තර උපදෙස් හෝ චක‍්‍රලේඛ නිකුත් කළ යුතුව ඇති බවත් මහ බැංකුව පවසයි.

එහෙත් ඒ සඳහා බැංකුවලට දින හතක කාලයක් ලබා දී ඇති බව මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකුවේ උසස් නිලධාරියෙක් ඊයේ (06දා) ‘දිවයින’ට කීවේය. මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ බැංකු සිය ශාඛාවලට අභ්‍යන්තර උපදෙස් හෝ චක‍්‍රලේඛ නිකුත් කිරීම ගැන පරීක්ෂා කරන බව එම උසස් නිලධාරියා කීවේය. ඒ නිසා මේ ගැන බැංකු ගනුදෙනුකරුවන් කලබල වීමට අවශ්‍ය නොවන බව ද ඔහු කීවේය.

මේ ගැන ප‍්‍රශ්න මතු වී ඇති බැංකු ගනුදෙනුකරුවන්ට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි අතර එහි 011 2477966 යන දුරකථන අංකයට මේ සඳහා ඇමතිය හැකි වේ.

1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. බලපත‍්‍රලාභී වාණිජ බැංකු, බලපත‍්‍රලාභී විශේෂිත බැංකු, බලපත‍්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන, බලයලත් ප‍්‍රාථමික අලෙවිකරුවන් සහ ශ‍්‍රී ලංකා ගෙවීම් හා පියවීම් පද්ධතිය හා සම්බන්ධවන්නන් යන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනයන් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවෙහි විෂය පථයට අයත් වේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනයන්හි පාරිභෝගිකයන් විසින් යොමු කරන ලබන සියලූම පැමිණිලි සහ දුක්ගැනවිලි භාර ගැනීම සහ ඒවා සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ තනි ඒකකයක් ලෙස මෙම මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සේවය සපයනු ලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment