කොවිඩ් නිසා මාරාන්තික අවදානමකට මුහුණ දෙන දියවැඩියා රෝගීන්ට නවීනතම ප‍්‍රතිකාරයක්!

527

මෑතභායේ සිදුකළ පර්යේෂණ මගින් දියවැඩියාව ආපස්සට හැරවිය හැකි ප‍්‍රතිකාර හඳුනාගෙන තිබෙනවා

දියවැඩියා රෝගීන්ගෙන් හරි අඩක් පමණ නිසි ලෙස ප‍්‍රතිකාර ක‍්‍රම අනුගමනය කරන්නේ නැත

දියවැඩියා නිසා ලිංගික දුර්වලතා, අදි රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු දුර්වලතාවයන් ආදී අතුරු රෝගාබාධ වන රෝග රැසකට පහසුවෙන් ගොදුරු විය හැකිය

වර්තමානයේ අප මුහුණදී සිටින කොවිඩ් වෛරස රෝගය වැලඳුන විට මාරන්තික තත්ත්වයට පත්වීම සඳහා සහාය වන රෝගයක් ලෙසට දියවැඩියාව හඳුනාගෙන ඇත. දැනට මියගොස් ඇති කොවිඩ් රෝගීන්ගෙන් වැඩි පිරිසක් දියවැඩියාව ඇති පුද්ගලයින්ය. එනිසා දියවැඩියාව ඇති අය තම රෝගය නිසි ලෙස පාලනය කරගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය.

දැනට අප බොහෝ දෙනා ගතකරන ජීවන රටාව සහ අනුගමනය කරන ආහාර පුරුදු නිසා ඉතා ඉක්මනින් දියවැඩියාව රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතී. එනිසා වයස් සීමාවකින් තොරව මෙම රෝගයට ලක්වීමේ ඇති ඉඩ කඩ වැඩිය. තරුණ විය මැදිවිය කියා බේදයකින් තොරව වර්තමානයේ දියවැඩියා රෝගීන් දකින්නට ලැබෙන්නේ එබැවිනි.

කොවිඩ් නිසා මාරාන්තික අවදානමකට මුහුණ දෙන දියවැඩියා රෝගීන්ට නවීනතම ප‍්‍රතිකාරයක්!

වෛද්‍යතුමනි, දියවැඩියාව රෝගය නිට්ටාවට සුව කළ හැකි ප‍්‍රතිකාර තිබෙනවාද?

දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රම නැහැ. නමුත් දියවැඩියාව පාලනය කළ හැකි සාර්ථක ප‍්‍රතිකාරයක් වර්තමානයේ නවීන වෛද්‍ය ප‍්‍රතිකාර අතරට එක්වී තිබෙනවා. මෙතෙක් කාලයක් දියවැඩියා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් වැඩි අවධානයක් යොමු කළේ මතුව ඇති රෝගය පාලනය කිරීම සඳහාය. එහිදී ආහාර, ව්‍යායාම සහ ඖෂධ මගින් රුධිරගත සීනි මට්ටමත් ග්ලූකෝස් මට්ටමත් HB1C‍ අගය 7ට වඩා ප‍්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අවධානය යොමු කළා. නමුත් මෑතභායේ සිදුකළ පර්යේෂණ මගින් දියවැඩියාව ආපස්සට හැරවිය හැකි ප‍්‍රතිකාර හඳුනාගෙන තිබෙනවා. (can diabetes be reversed) මෙම ප‍්‍රතිකාරය කරනු ලබන්නේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව රෝගීන්ටය. එහිදී රෝගය මතුවී වසරක් පමණ ඇතුළත නැවත ආපස්සට හැරවිය හැකියාව තිබේ. මෙය දියවැඩියා රෝග ප‍්‍රතිකාර සම්බන්ධ පෙරළියක් ලෙස සැලකිය හැකියි. දියවැඩියා නිසා

ලිංගික දුර්වලතා, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු දුර්වලතාවයන් ආදී අතුරු රෝගාබාධ වන රෝග රැසකට පහසුවෙන් ගොදුරු විය හැකිය. මෙවැනි අවස්ථාවන්හිදී බොහෝ දෙනා විමසන්නේ දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකි ප‍්‍රතිකාරයක් නැතිදැයි කියාය. දියවැඩියා රෝගය පාලනයේදී ඖෂධ ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ආහාර පාලනය ද කළ යුතුය. නමුත් දියවැඩියා රෝගීන්ගෙන් හරි අඩක් පමණ නිසි ලෙස ප‍්‍රතිකාර ක‍්‍රම අනුගමනය කරන්නේ නැත. එනම් ආහාර පාලනය හෝ දියවැඩියා පාලන ඖෂධ නිසි ලෙස ගැනීම සිදු කරන්නේ නැත.

කොවිඩ් නිසා මාරාන්තික අවදානමකට මුහුණ දෙන දියවැඩියා රෝගීන්ට නවීනතම ප‍්‍රතිකාරයක්!

වෛද්‍යතුමනි, දියවැඩියාව ආපස්සට හරවන්නේ කෙසේද?

වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙන්නේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව මතුවී මාස ගණනක් ඇතුළත ඔවුන්ගේ සීනි මට්ටම ඉක්මනින්ම පාලනය කළහොත් දියවැඩියාව ආපස්සට හැරවිය හැකි බවයි. එහිදී පළමුව රෝගියාගේ රුධිරගත සීනි මට්ටම පාලනය කරනවා. ඉන් පසු සති කිහිපයක් ඉන්සියුලින් ලබාදෙනවා. මෙමගින් සිදු කරන්නේ අග්න්‍යාසයට කිසියම් විවේකයක් ලබාදීමයි. දියවැඩියා රෝගයේදී අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා ෙසෙලවලට සිරුර තුළ වැඩිපුර නිපදවන ග්ලූකෝස් විෂ සහිතයි.(glucotoxicity) මෙම විෂ සහිත බව බාහිරින් ඉන්සියුලින් ලබාදීමෙන් සමනය කළ හැකියි. ඊට අමතරව අග්න්‍යාසයේ බීටා ෙසෙලවලට වැඩි වෙහෙසක් ඇතිකිරීම වළක්වන ඖෂධ ලබාදීම සහ එම පුද්ගලයාගේ සිරුරේ බර සියයට 10ත් 15ත් අතර ප‍්‍රමාණයක් අඩු කිරීම මගින් දියවැඩියාව නැවත ආපස්සට හැරවිය හැකි බව තහවුරුවී තිබෙනවා. විශේෂයෙන් සිරුරේ බර සියයට 15ක් පමණ ප‍්‍රතිශතයකින් අඩු කිරීමෙන් එම පුද්ගලයාගේ දියවැඩියාව නැවත ආපස්සට හැරවීම ඉතා පහසු බව හඳුනාගෙන තිබෙනවා.

වෛද්‍යතුමනි, සිරුරේ බර අඩු කරනු ලබන්නේ කෙසේද?

මෙහිදී බර අඩුකිරීම සඳහා සුදුසුම ක‍්‍රමය වන්නේ ආහාර පාලනයයි. ඊට හේතුව වන්නේ බර අඩු කිරීම මගින් බලාපොරොත්තු වන්නේ සිරුරේ තැන්පත් වන මේදය ප‍්‍රමාණය පාලනය කිරීමයි. විශේෂයෙන් අක්මාවේ, අග්න්‍යාසයේ සහ උදර කුහරයේ ඇතුළත පටකවල තෙල් තැන්පත් වී තිබීම මගින් ඉන්සියුලින් ප‍්‍රතිරෝධයක් ඇතිවීම සහ ලිපිඩ ප‍්‍රතිරෝධයක් ඇතිවීම (lipotoxicity) සිදුවෙනවා. එනිසා ආහාර පාලනය මගින් බර අඩුකිරීම මෙහිදී වැදගත්ය. එම ආහාර පාලනය වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුයි. මෙහිදී සිරුරට වැඩිපුර පිෂ්ඨය (කාබෝහයිඩ්‍රේඩ්ස්) එක් නොවන ආහාර වර්ග ලබාදෙනවා. ඇතැම් පුද්ගලයින්ට පිෂ්ඨය අඩු ආහාර ආදේශක වර්ග ලබාදීම පවා සිදු කරනවා. අධික ස්ථූලබවින් පෙළෙන අයට ආහාර පාලනය මගින් බර අඩු කළ නොහැකියි. එවැනි පුද්ගලයින්ට ආමාශයේ සිදුකරන සැත්කම් මගින් (bariatric surgery) ආහාර පාලනය කර බර අඩු කළ හැකියි.

වෛද්‍යතුමනි, උපතින් ඇතිවන දියවැඩියාව හෙවත් පළමු කාණ්ඩයේ දියවැඩියාව සඳහා මෙම දියවැඩියාව නැවත ආපස්සට හැරවීමේ ප‍්‍රතිකාරය කළ නොහැකිද?

කළ හැකියි. ඒ සඳහා අග්න්‍යාස බද්ධ කිරීමක් හෝ බීටා ෙසෙල බද්ධ කිරීමක් සිදු කළ යුතුයි. දැනට එවැනි ප‍්‍රතිකාර සිදු කරන්නේ ඉතා සුළු වශයෙනි. මෙය වියදම් අධික සහිත ප‍්‍රතිකාර ක‍්‍රමයකි. එසේම මෙවැනි ප‍්‍රතිකාරයකින් පසු මුළු ජීවිත කාලයටම ඖෂධ ගත යුතුයි.

වෛද්‍යතුමනි, දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ආපස්සට හැරවීමෙන් පසු එම පුද්ගලයාට එදිනෙදා කටයුතු සාමාන්‍ය අයුරින් සිදුකළ හැකිද?

ඔව්… දියවැඩියාව ආපස්සට හැරවීමෙන් පසු සාමාන්‍ය පුද්ගලයකු ලෙසින් තම එදිනෙදා කටයුතු කළ හැකියි. මොකද මෙම ප‍්‍රතිකාරයෙන් පසු අක්මාවේ තැන්පත්ව තිබූ අධික මේද තට්ටුව ඉවත්වෙනවා. අධිරුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුවෙනවා. රාත‍්‍රියට නින්දෙන් ගෙරවූවා නම් එය පහව යනවා. එනිසා දියවැඩියාව පාලනය සඳහා ඖෂධ ගතයුතු වන්නේ නැහැ.

නමුත් මින් අදහස් කරන්නේ පරණ පුරුදු ලෙස අධික ලෙස ආහාර පාන ගනිමින් දිවිගෙවීම නොවෙයි. මොකද මෙය සම්පූර්ණ සුවයක් නොවෙයි. එනිසා ආහාර පාලනය කරමින් ව්‍යායාමවල යෙදෙමින් වසරකට වරක්වත් රුධිරයේ සීනි පරීක්ෂාවකට යොමු විය යුතුයි. එලෙස කටයුතු කළොත් දියවැඩියාව යළි ඇතිවීම වලක්වාගෙන අතුරු ආබාධවලින් තොරව මුළු ජීවිත කාලය පුරාවට නීරෝගීව දිවි ගෙවිය හැකියි.

කොවිඩ් නිසා මාරාන්තික අවදානමකට මුහුණ දෙන දියවැඩියා රෝගීන්ට නවීනතම ප‍්‍රතිකාරයක්!

කොළඹ වෛද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ
කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය විද්‍යාජෝති
ප‍්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment