කොවිඩ් නිසා වසර දෙකක් නතර වූ  දසුන්ගේ පිත්තට  කැන්ගරුවෝ  මෙල්ල වෙති

520

තෙවැනි විස්සයි විස්සෙන්  ශ්‍රී ලංකාවට තියුණු ජයක්

පන්දු 25කදී ලකුණු 54ක් ලබා ගනිමින් නායක දසුන් ශානක වාර්තා කළ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් ලෝක ශූර ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ අනුව පළමු තරග දෙක පරාජයට පත්වුවද දෙරට අතර ක්‍රියාත්මක වූ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජයගනිමින් තරගාවලිය 2-1ක් ලෙස ගෞරවාන්විතව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙරේදා (11 වැනිදා) සමත්වූහ.

ජාත්‍යන්තර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවකදී පන්දුවාර 15.4කදී මුළු ලකුණු 108කට කඩුලු 6ක් බිඳ වැටිණි.

එතැන් පටන් සිය නායත්වයේ වගකීම කරට ගත් නායක දසුන් ශානක චාමික කරුණාරත්න සමගින් එක්වී සුපිරි ඉනිමක් ක්‍රීඩාකරමින් ශ්‍රී ලංකාවට නොතිබූ ජයග්‍රහණයක පහස ලබා දීමට සමත්වූහ. එහිදී අවසන් පන්දු 18 තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු 59ක් ලබා ගැනීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දුන් දසුන් සහ චාමික එහි පළමු පන්දු 6ට ඔස්ටේ්‍රලියානු සුපිරි යවන්නා වන ජෝෂ් හැසල්වුඩ්ට එරෙහිව ලකුණු 22ක් රැස් කළේය. ඉන් ලකුණු 21ක්ම දසුන්ගේ පිත්තෙන් වාර්තා විය. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජායි රිචඩ්සන්ට එරෙහිව ලකුණු 18ක්

රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන ඒමට දසුන් සහ චාමික යුගළය සමත්වූහ.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් ලබා ගැනීමට තිබියදී එම පන්දුවාරයේ පළමු පන්දු දෙකම වයිඩ් පන්දු දෙකක් ලෙස යොමුකරමින් කේන් රිචඩ්සන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට සහයෝගය ලබා දුන්නේය. අනතුරුව ක්‍රියාත්මක වූ පන්දු දෙකේදී පිතිකරුවන් එක ලකුණ බැගින් පැති මාරුකර ගැනීමෙන් පසු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ සිට නැවතත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදා කර ගත් දසුන් ශානක පිට පිටම හතරේ පහර දෙකක් සහ හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණු සම කිරීමට සමත් වූයේ සිය විස්සයි විස්ස 5 වැනි අර්ධ ශතකයද ඒ සමගින් වාර්තා කරමිනි. අනතුරුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා එක් ලකුණක් පමණක් ලබාගත යුතුව තිබියදී එම ලකුණ වයිඩ් පන්දුවකින් ශ්‍රී ලංකාවට ලබා දීමට කේන් රිචුඩ්සන් කටයුතු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 43දී බිඳ වැටීමෙන් අනතුරුව පිළිවෙලින් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කඩුලු 3ම මුළු ලකුණු 85දී බිඳ වැටුණි. එහිදී පිළිවෙළින් ග්ලේන් මැක්ස්වෙල් (16), ඩේවිඩ් වෝනර් (39) සහ ජෝස් ඉන්ග්ලිස් (00) නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

අනතුරුව මක්‍රොස් ස්ටොනිස් ලකුණු 38කින් සහ ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 37ක් ලබා ගනිමින් ඔස්ටේ්‍රලියානු ඉනිම ශක්තිමක් කළේය.

දෙරට අතර තරග පහකින් සමන්විත් එක්දින තරගාවලිය ලබන 14 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු සාරාංශය

ඔස්ටේ්‍රලියාව පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 176යි (ඩේවිඩ් වෝනර් 39, ඒරන් ෆින්ච් 29, ස්ටීව් ස්මිත් (නොදැවී) 37, මක්‍රොස් ස්ටොනිස් 38, මහීෂ් තීක්ෂණ 25/2, වනිදු හසරංග 33/1, ප්‍රවීන් ජයවික්‍රම 43/1)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 177යි (පැතුම් නිස්සංක 27, චරිත් අසලංක 26, භානුක රාජපක්ෂ 17, දසුන් ශානක (නොදැවී) 54, චාමික කරුණාරත්න (නොදැවී) 14, ජෝස් හැසල්වුඩ් 25/2, මක්‍රොස් ස්ටොනිස් 8/2)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment