කොවිඩ් පාලනය කොයිබටද……?

515

පළමු කොරෝනා වසංගත රැල්ල සාර්ථක අයුරින් මැඬ පැවැත්වීමෙන් බටහිර රටවල පවා ප‍්‍රසාදයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකාවට එයට පසු පැතිර ගිය කොරෝනා වසංගත රැල්ල සාර්ථක ලෙස මර්දනය කිරීමට අපහසු වීමට හේතුව විශේෂඥ වෛද්‍ය උපදෙස් මත කඩිනම් පියවර නොගැනීම බව ඔස්ටේ‍්‍රලියාවේ වාසය කරන ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරයෙකු වන මහාචාරය තිස්ස විජේරත්න මහතා පවසයි.

ඒමන්ති මාරඹේ

පළමු කොරෝනා වසංගත රැල්ලට වඩා වැඩි වේගයකින් නව කොරෝනා වසංගත රැුල්ලක් මෙරට පැතිර යන මේ මොහොතේ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් ද නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් වසංගතයේ පැතිරීම තවමත් හරිහැටි පාලනය නොවන තත්ත්වයක් දක්නට ලැබේ. ඉකුත් ජනවාරි මාසයේ සිටම මෙරට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉල්ලා සිටි පරිදි නියමිත වේලාවට කොරෝනා මර්දන නීති රීති ක‍්‍රියාත්මක කරමින් වසංගතය පාලනය කිරීමට පියවර  නොගැනීම හා කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට ප‍්‍රමුඛතාවය ලබා දෙමින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර නොගැනීම යන හේතුන් නිසා වත්මන් කොරෝනා වසංගත රැල්ල ශීඝ‍්‍රයෙන් පැතිර යනුයේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් දිනපතා සැලකිය යුතු පිරිසකගේ ජීවිත අහිමි කරලමිනි.

මෙම ඛේදවාචකය මෙසේ විය හැකි බවට එදා මෙරට විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම කොරෝනා මර්දන සටනේ පෙරමුණේ සිටින ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයන් සෞඛ්‍ය බලධාරීන්ට කල් තබාම අනතුරු අඟවා සිටියද බලධාරීන් ලොව සෙසු රටවලින් හෝ ආදර්ශයක් ගනිමින් කොරෝනා වසංගතය නිසි කලට පාලනය නොකිරීමේ ඵලවිපාක මේ වන විට දක්නට ලැබේ. අඩුම තරමින් පළමු කොරෝනා වසංගත රැල්ලෙන් පසු කොරෝනා වසංගතය අමතක කර දමමින් මහජනතාවට රිසි සේ සමාජයේ හැසිරීමට අවස්ථාව ලබා දුන් ඉන්දීය බලධාරීන්ට අත් වූ ඉරණමින් හෝ අප පාඩමක් ඉගෙනගත් බවක්ද දක්නට නොලැබීම අභාග්‍යයකි. ඕනෑම රටක කොරෝනා වසංගත රැුල්ලක් මතු වූ විට එහි චෝදනාව මුලින්ම එල්ල වනුයේ රටේ පාලකයන්ට වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද කොරෝනා වසංගතයෙන් බැට කෑ සෙසු රටවල් හා සැසඳීමේදී දූපතක් වශයෙන් හෝ එයට ඉතාමත් සාර්ථක අයුරින් මුහුණ දීමට තිබූ අවස්ථාව ශ‍්‍රී ලංකාව විසින් අහිමි කරගෙන තිබේ.

මෙහිදී කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කළ නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව යන දූපත් රටවලින් හෝ ආදර්ශයක් ගැනීමට මෙරට බලධාරීන්ට නොහැකි වීම ඛේදජනකය. ඉතාමත් සාර්ථක ලෙස වසංගත රෝග පැතිරීම පාලනය කළ හා අති සාර්ථක ප‍්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන ලොව දියුණු රටවල් හා සමාන මට්ටමේ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකාවට මෙම කොරෝනා වසංගතය හරි හැටි පාලනය කරගැනීමට නොහැකි වීම පිළිබඳව මෙරට සිටින හිටපු වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු මෙන්ම ප‍්‍රජා විශේෂඥ වෛද්‍යවරු විමතිය පළ කර සිටිති. අප තබා කොරෝනා වසංගතය පැතිර පවතින සෙසු රටවල් බොහොමයක්ම කොරෝනා වෛරසයේ පැතිරීම ආරම්භ වූ චීනයෙන් හෝ වසංගතය මැඬ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දැනුමක් ලබා නොගැනීම පුදුමයට කරුණකි. සිය රටෙන් පැතිරීම ආරම්භ වුවද චීනය කිසි දිනක කොරෝනා වෛරසය රට පුරා පැතිරීමට ඉඩ ලබා දුන්නේ නැත. වෛරසය වූහාන් නගරය කේන්ද්‍ර කරගත් හුබෙයි පළාතෙන් පැතිරීම ඇරඹිය ද එම පළාත රටේ සෙසු ප‍්‍රදේශවලින් හුදකලා කර වෛරසයේ පැතිරීම පාලනය කළ ආකාරයවත් මෙරට බලධාරීන් විසින් අධ්‍යයනය කර තිබුණේ නම් වෛරසය පැතිරීම ආරම්භ වූ බස්නාහිර පළාතෙන් දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට මේ තරම් දුරට වෛරසය පැතිර නොයෑමට ඉඩකඩ තිබිණි. එහෙත් මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීමට නිසි සැලසුමක් නොතිබීමේ ප‍්‍රතිපලයක් ලෙස මේ වන විට වෛරසය දිවයිනේ දිස්ත‍්‍රික්ක 25ටම පැතිර ගොස් අවසන්ය.

චීනයේ වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිරෙන විට හොඳින් අරපරිස්සම් වෙමින් කොරෝනා වෛරසයට බිය වූ මෙරට ජනතාව දිනකට කොරෝනා ආසාදිතයන් 3000ක් ඉක්මවා වාර්තා වන මේ මොහොතේ වෛරසයට බිය නොවී සංචරණ සීමා තහනම පවා නොතකමින් මාර්ගවල සැරිසැරීම හරහා පෙනී යනුයේ තවමත් මෙරට ජනතාවගෙන් කොටසක් කොරෝනා වසංගතයේ සැබෑ ස්වරුපය හඳුනාගෙන නොමැති බවයි. මේ වන විට සමස්ත ආසාදිත සංඛ්‍යාව 213396කි. මරණ සංඛ්‍යාව 1910 දක්වා ඉහළ නැග ඇත. දෛනිකව රටෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 40 ඉක්මවා ඇති අතර මැයි 17 සිට ජුනි 08 දක්වා ප‍්‍රකාශිත මරණ ගණන 67කි. නමුත් මහජනතාවට එයද බිය විය යුතු කරුණක් වී නොමැත්තේ රටේ සෞඛ්‍ය බලධාරීන් විසින් මාස කිහිපයකට පෙර සිටම කොරෝනා වසංගතයේ සැබෑ ස්වරූපය පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා නොදෙමින් මෙරට කොරෝනා වසංගතය පාලනය වී ඇති ආකාරයේ චිත‍්‍රයක් මවා පෑම විය හැකිය. මාස කිහිපයකට පෙර බලධාරීන් විසින් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරමින් දෛනිකව මෙරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු බව ප‍්‍රකාශ කරන ලද්දේ ලොවටම තර්ජනයක්ව පවතින නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් මෙරට පැතිරීම ආරම්භ වී තිබියදීය. ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විසින් එංගලන්ත නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරට පැතිරීම ආරම්භ වූයේ ඉකුත් අපේ‍්‍රල් මස සිට බව පැවසුව ද ඉකුත් ජනවාරි මාසයේද එම වෛරස් ප‍්‍රභේදය මෙරට පැතිර යන බව හඳුනාගත් බව සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප‍්‍රකාශ කර තිබිණි. මෙසේ දෛනිකව සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කළ පසු වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද අඩු වීම නිසා එම අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් ප‍්‍රකාශ කර සිටියේ ශ‍්‍රී ලංකාව දෙවැනි කොරෝනා වසංගත රැල්ල ද පළමු රැල්ල මෙන්ම සාර්ථක අයුරින් පාලනය කර ඇති බවකි.

පසුව ඉකුත් සිංහල හා දමිළ අලූත් අවුරුද්ද වන තෙක්ම මෙරට කොරෝනා වසංගතය පාලනය වී තිබෙන අයුරක් ජනතාවට ඇඟවීම හේතුවෙන් මහජනතාව ද අවුරුදු සමයේ කොරෝනා වෛරසය අමතක කරමින් විශාල වශයෙන් පිරිස් ඒකරාශී වන සාප්පු, පන්සල්, කෝවිල් ආදි ස්ථානවලට කොරෝනා මර්දන නීති රීති අනුගමනය නොකරමින් විශාල වශයෙන් එක් රොක් වූ අතර අවුරුදු සමයේ රට පුරා සංචරණ සීමාවන් පනවන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් විසින් ඉල්ලීම් කර තිබියදී එම ඉල්ලීමට ඇහුම් කන් නොදීම හේතුවෙන් විශාල වශයෙන් පිරිස් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල නිදැල්ලේ සංචාරය කරමින් සිටිනු දක්නට ලැබිණි. අලූත් අවුරුදු සමයේ කිසිදු සංචරණ සීමාවක් නොපැනවූ බලධාරීන් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි අනුගමනය කරන ලෙස පමණක් මහජනතාවගෙන් ඉල්ලා සිටිය ද ජනතාව එයට ඇහුම්කන් දුන් අයුරක් දක්නට ලැබුණේ නැත. මෙසේ ඉල්ලීම් හරහා ජනතාවගේ ආකල්ප වෙනස් කළ හැකි නම මෙරටින් ඩෙංගු හා එච් අයි වී /ඒඞ්ස් වැනි රෝග මේ වන විට තුරන් කර තිබීමට ඉඩකඩ තිබිණි.

සැබවින්ම සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව දැනට නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත්වලින් සිදු වනුයේ කොරෝනා වෛරස් ආසාදනය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම වැළැක්වීමක් නොව එන්නත ලබා ගන්නා තැනැත්තාට කොරෝනා වෛරසය ආසාදනය වූ විට අසාධ්‍ය තත්ත්වයට පත් වී දැඩි සත්කාර එකක ප‍්‍රතිකාර ලැබීම, රෝහල්ගත වීම හා මරණයට පත් වීම වළක්වාලීමයි. එමෙන්ම මාත‍්‍රාවන් දෙකක් සහිත කොරෝනා මර්දන එන්නතකින් කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව පූර්ණ ප‍්‍රතිශක්තියක් ගොඩනැගීමට නම් එම මාත‍්‍රාවන් දෙකම ලබා ගත යුතු බව එම විශේෂඥයන්ගේ මතය වී තිබේ. එහෙත් එවැනි තත්ත්වයක් තුළ ඇතැම් නිලධාරීන් විසින් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ හැකි බවට මතයක් ගොඩ නැගීම නිසා බොහෝ පිරිස් එන්නත් ලබා ගැනීමෙන් පසු තමන් තවදුරටත් වෛරසය පතුරුවන්නෙක් නොවන බව ඇඟවෙන අයුරින් සමාජයේ හැසිරුන අයුරු පසුගිය කාලයේ දක්නට ලැබිණි. මේ නිසාම පසු ගිය කාලයේ පැවති බොහෝ ආගමික උත්සවවලදී ද කොරෝනා එන්නත් ලබා ගත් පිරිස් හැසිරුනේ කිසිදු වගකීමක් නොමැති අයුරින් මුහුණු ආවරණය (මාස්ක්) නිකටේ රඳවාගනිමින් හා සමාජ දුරස්ථභාවයක් පවා පවත්වා නොගනිමිනි.

එහි ප‍්‍රතිපලය වූයේ සමාජයෙන් තව තවත් කොරෝනා ආසාදිත පොකුරු බිහි වීමයි. අලූත් අවුරුදු සමයේදී විශේෂඥයන්ගේ උපදෙස් පරිදි දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමාවන් පැනවූවේ නම් සෞඛ්‍ය අංශ විසින් නම් කර ඇති අලූත් අවුරුදු පොකුරක් නිර්මාණය නොවනු ඇති අතර දැනට ක‍්‍රියාත්මකව පවතින සංචරණ සීමාවන් පැනවීම ද අවශ්‍ය නොවීමට ඉඩ තිබිණි. ඉතා පහසුවෙන් නියපොත්තෙන් කැඞීමට තිබූ දෙයක් තවත් වර්ධනය වීම සිදුව ඇත්තේ බලධාරීන්ගේ වරද නිසා බව සෞඛ්‍ය වෘත්තිකයෝ පවසති. පළමු කොරෝනා වසංගත රැුල්ල සාර්ථක අයුරින් මැඬ පැවැත්වීමෙන් බටහිර රටවල පවා ප‍්‍රසාදයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකාවට එයට පසු පැතිර ගිය කොරෝනා වසංගත රැුල්ල සාර්ථක ලෙස මර්දනය කිරීමට අපහසු වීමට හේතුව විශේෂඥ වෛද්‍ය උපදෙස් මත කඩිනම් පියවර නොගැනීම බව ඔස්ටේ‍්‍රලියාවේ වාසය කරන ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරයෙකු වන මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසයි. ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ පිහිටි වෙස්ටර්න් රෝහලේ ආඝාත (ස්ට්‍රෝක්* ඒකකයේ අධ්‍යක්ෂකවරයා ද වන මහාචාර්ය විජේරත්නට අනුව මෙරට කොරෝනා වසංගත රැුල්ල පාලනය කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය උපදෙස් මත මිසක වෛරස් පිළිබඳව කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැති සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන්ගේ උපදෙස් මත නොවේ.

ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාවේ ඇති වූ දරුණු කොරෝනා වසංගත තත්ත්වය හා සමාන වූ තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා නිසි සැලසුමක් සහිත වැඩපිළිවෙළක් දියත් කරන ලෙස ඉල්ලමින් කරුණු 11කින් සමන්විත නිර්දේශ මාලාවක් සෞඛ්‍ය ඇමැතිනිය වෙත භාර දීමට ප‍්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ඉකුත් මැයි 18 වැනිදා පියවර ගෙන තිබූ අතර එම නිර්දේශ මාලාවේ පහත සඳහන් කරුණු අන්තර්ගතව පවතී.

(01) වත්මන් කොරෝනා වසංගතයේ සැබෑ තත්ත්වය, පිළිබිඹු කෙරෙන සත්‍ය දත්ත වාර්තා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම-

දන්නා තරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව කොරෝනා වසංගතයේ සැබෑ දත්ත පවත්වාගෙන යෑමේ නිසි ක‍්‍රමවේදයක් නොපැවතීම හේතුවෙන් වත්මන් කොරෝනා වසංගතයේ සැබෑ ස්වරුපය පිළිබඳව මහජනතාව හා සෞඛ්‍ය බලධාරීන්ට නිශ්චිත අවබෝධයක් නොමැති අතර කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ පිළිබඳ දත්ත සැපයීමේදී වඩාත් සවිස්තරාත්මකව එම දත්ත සැපයිය යුතුය.

(02) වඩාත් ඵලදායි හා කාර්යක්ෂම ලෙස අවදානම් හා චර්යා රටාවන් වෙනස් කිරීමේ සන්නිවේදනයන් ශක්තිමත් කිරීම

(03) කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ක‍්‍රමවේදය සංශෝධනය කිරීම හා නැවත විමසා බැලීම –

මෙහිදී පී සී ආර් පරීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ ප‍්‍රමාදය මගහැරවීමට පියවර ගත යුතු අතර ජාතික කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණය හා දේශීයව නිපදවා ඇති ලාම්පු පරීක්ෂණය යොදා ගැනීමේ හැකියාව අධ්‍යයනය කළ යුතුව තිබේ.

(04) කොරෝනා ආසාදනය තදින් පැතිර යන අවදානම් රටවල සිට මෙරටට විදෙස් සංචාරකයන් ගෙන්වීමේදී දැනට පනවා ඇති සීමාවන් සංශෝධනය කිරීමෙන් හා පිටතින් රටට ඇතුළු වන වරායන්හි ක‍්‍රියාත්මක කරන නිරෝධායන ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන් නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් මෙරටට පැමිණීම වළක්වා ගත යුතුව ඇත.

(05) කොරෝනා ආසාදිතයන් නිරෝධායනය කිරීමේදී අවදානම පදනම් කරගත් නිරෝධායන ක‍්‍රියාවලියක් සකස් කිරීම

මෙහිදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම රඳවා ගෙන ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමය වහා ක‍්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා සුදුසු නිර්දේශ මාලාවක් සැකසිය යුතුය.

(06) ආශ‍්‍රිතයන් හඹා යාමේ ක‍්‍රියාවලිය විධිමත් කර එය කොරෝනා ආසාදිතයන්ගේ මූලික දත්ත ගබඩාවක් ලෙස පවත්වාගෙන යෑම

(07) කොරෝනා මර්දන පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීමේදී දිස්ත‍්‍රික් බලධාරීන්ට තීරණ ගැනීමේ බලය පැවරීමට පියවර ගත යුතුය.

(08)  කොරෝනා මර්දන එන්නත් ලබා දීමේදී කොරෝනා ආසාදනයට ගොදුරු වූ විට මරණයට පත් වීමේ හා රෝහල්ගත වීමේ වැඩි අවදානමක් ඇති රටේ වයස්ගත ජනගහනයට ප‍්‍රමුඛතාවය ලබා දිය යුතුය.

(09) සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක‍්‍රමවත් කොරෝනා මර්දන යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම

(10) කොරෝනා මර්දන ක‍්‍රියාවලියේ පෙරමුණේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අධික ලෙස කායිකව හා මානසිකව වෙහෙසට පත් කිරීමෙන් වැළකීම

(11) තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී අදාළ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ගේ හා ප‍්‍රධාන කොටස්කරුවන්ගේ අදහස් ලබා ගැනීමට පියවර ගැනීම කෙසේ වුවද අද වන තෙක් මෙම නිර්දේශ මාලාවේ සඳහන් කරුණුවලින් බහුතරය ක‍්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්නට නොතිබීම කනගාටුවට කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment