කොවිඩ් මැද්දේ ගෙවුණු වසරක්…

151
  • ජනවාරි

ගෙවී යන වසර ආරම්භ වන්නේ, ඊට පෙර වසරෙන් ශේෂ වූ කොවිඞ් වසංගතයේ සටහන් සමගමය. වසංගත සමය පුරා වසා දමා තිබූ සිනමා ශාලා ආරම්භ කිරීම සඳහා 2021 ජනවාරි පළමු වෙනිදා රජය විසින්, නියාමනයන් පැනවීමෙන් නව වසර ආරම්භ විය. එය නව වසරේ ලැබුණු සුබ පණිවිඩයක් විය. කොවිඞ් වසංගතය හමුවේ එකිනෙක වැසී ගොස් තිබූ ආයතන, නීති රීති සීමා යටතේ එසේ විවෘතවීමත් සමග සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කරන ලද්දේ, සංචාරකයන් ගෙන්වීම දිගටම සිදුකරන බවය. එය ශ‍්‍රී ලංකා ආර්ථිකයට යළි පණ ලැබෙන මට්ටමේ පුවතක් විය. මෙසේ ආරම්භ වූ නව වසර පුරාම පැතිරී ගියේ කොවිඞ් ප‍්‍රමුඛ වූ පුවත්ය. ජනවාරි මාසය පුරාම මැති ඇමැතිවරු ගණනාවකට කොවිඞ් වැළ`දීමේ පුවත් වාර්තා විය. ඒ අතර ප‍්‍රමුඛ වූයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඞ් ආසාදනයට ලක්වීමය. දයාසිරි ජයසේකර, රාවුෆ් හකීම්, වාසුදේව නානානයක්කාර, පියල් නිශාන්ත, වසන්ත යාපා බණ්ඩාර, අරුන්දික ප‍්‍රනාන්දු යන මැති ඇමැතිවරු සේම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන, චාමික කරුණාරත්න සහ බිනර ප‍්‍රනාන්දු ද බැට්මිටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න ද එම ආසාදිත ලැයිස්තුවට ඇතුළත්ව සිටියහ. ඒ වන විටත් රජය විසින් කොවිඞ් පාලනය සඳහා ගෙන තිබූ පියවර හේතුවෙන් රටේ වසංගත බිය පහළ ගොස් තිබූ අතර, එම පාලනය සඳහා ජාත්‍යන්තර සහතිකයක් ජනවාරි මාසයේදී ලබා දෙන ලද්දේ ඔස්ටේ‍්‍රලියාව විසිනි. ඔස්ටේ‍්‍රලියානු ලෝවි ආයතනයේ සංඛ්‍යාලේඛන අනුව, ලෝකයේ කොරෝනා වසංගතය වඩාත් ඵලදායී ලෙස හැසිරවූ රටවල් ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාව 10 වැනි ස්ථානයට පත්වීම එම සහතිකයය. ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඔක්ෆර්ඞ් ඇස්ට‍්‍රසනිකා එන්නත් තොගය, ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය ගෝපාල් බග්ලේ මහතා විසින් කොළඹ ගුවන් තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලද්දේ ජනවාරි 28 වෙනිදාය. ඒ සමගම පසුදා සිට ඇස්ට‍්‍රසෙනිකා කොවිශීල්ඞ් එන්නත්කරණය සඳහා රජය රට පුරා මධ්‍යස්ථාන ආරම්භ කළේය.

2017 අගෝස්තු 21 වන දින කොළඹ අග‍්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට දී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප‍්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවට චෝදනා කරමින් විශ‍්‍රාමික යුද හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් පවරන ලද නඩුවේ තීන්දුව ලබා දෙන ලද්දේ, ජනවාරි 12 වෙනිදාය.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ විනිසුරුවරයා පැවසීය.

එම ප‍්‍රකාශය ඔහු සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප‍්‍රකාශ මගින් එය තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා සිය තීන්දුවෙන් දැනුම් දුන්නේ ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කළේය. විශේෂත්වය වූයේ මේ සඳහා නඩු පවරා තිබුණේ ඔහු රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලද යහපාලන ආණ්ඩු සමයේදී වීමය.

ප‍්‍රවීණ මාධ්‍යවේදී කලා කීර්ති එඞ්වින් ආරියදාස මහතා සිය මෙහෙය නිමා කරමින් ජාතියට සමුදෙන්නේ, ජනවාරි 21 දාය.

  • පෙබරවාරි

රාගම ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන කොවිඞ් සංකූලතාවයන් හේතුවෙන් මියගිය ශෝකජනක පුවත සමග 2021 පෙබරවාරි මාසය ආරම්භ විය. එම ශෝකජනක සිදුවීම වාර්තා වූ පෙබරවාරි දෙවැනිදා පාර්ලිමේන්තුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන ලද්දේ ශ‍්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ජාත්‍යන්තර පොලිසිය සහ ඉන්දියානු පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී ප‍්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇල ගුණා සහ ඔහුගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවය. පාතාල වෙඩික්කරුවකු සහ එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වන ලද ‘‘ම්බා’’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පෙබරවාරි 11 වෙනිදා ප‍්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා දැයෙන් සමුගතේය, මෙරට 16 වන කථානායකවරයා මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර කොවිඞ් ආසාදනය වීමෙන් පසුව අභාවප‍්‍රාප්ත වූයේ පෙබරවාරි 14 වෙනිදාය. මියයන විට 80 වන වියේ පසුවූ ඔහු දේශීය වෛද්‍ය, සංස්කෘතික, අධිකරණ, අධ්‍යාපන, බුද්ධශාසන ආදී අමාත්‍ය ධුර රැසක් හොබවා තිබූ කෘතහස්ත දේශපාලන චරිතයක් විය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ සහ ගායකයකු වූ අනුර සේනානායක මහතා සිය දිවිසැරිය නිමා කරන්නේ පෙබරවාරි මස නිමාවන දිනයේය.

  • මාර්තු
කොවිඩ් මැද්දේ ගෙවුණු වසරක්…

කොවිඞ් හේතුවෙන් කල් දමා තිබූ අ.පො.ස සා.පෙළ විභාගය දැඩි සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ පැවැත්වීම ආරම්භ කරන ලද මාර්තු දෙවැනිදා සන්ධ්‍යාවේ, තවත් අභාග්‍ය සම්පන්න ආරංචියක් වාර්තා විය. කොළඹ, වේල්ල වීදියේ ගෑස් පහ හන්දිය ආසන්නයේ දමා ගොස් තිබූ විශාල ගමන් මල්ලක තිබී කාන්තා කවන්ධයක් සොයා ගැනීම එම පුවතයි. ඝාතනයට ලක්ව තිබුණේ කුරුවිට පොලිස් බල ප‍්‍රදේශයේ තෙප්පනාව ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකි. මූලික පොලිස් පරීක්ෂණයන් හිදී ඝාතනය සිදුකළ පුද්ගලයා බුත්තල පොලිසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු බවට හඳුනාගත් අතර ඔහු ද සියදිවි නසා ගන්නා ලද්දේ, එම ඝාතන රහස වළලා දමමිනි.

ශ‍්‍රී ලංකාවේ 16 වෙනි ජාතික විශ්වවිද්‍යාලය ලෙස ගම්පහ වික‍්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලද්දේ මාර්තු හතර වෙනිදාය. එම මස 22 වෙනිදා අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත්වී වදාළහ.

මාර්තු මාසයේ අවසානය සනිටුහන් කරමින් 31 වෙනිදා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ, ශ‍්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය මගින් ‘හරිත ටීවී’ නමින් නව රූපවාහිනි නාලිකාවක් දියත් කරන ලද්දේ, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදිය.

  • අපේ‍්‍රල්

නෙළුම් පොකුණ රඟහලේ පැවති මිසිස් ශ‍්‍රී ලංකා 2021 තරගය, අර්බුදයක් බවට පත්වීම වාර්තා වන්නේ අපේ‍්‍රල් හතර වෙනිදාය. ලෝක රූ රැජින කැරොලයින් ජූරි විසින් ජයග‍්‍රාහි පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ඉවත් හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වූ අතර එය ලොව පුරා පැතිරී ගිය ප‍්‍රවෘතියක් බවට පත්විය. මේ සඳහා චෝදනාලාභීන් ලෙස කැරොලයින් ජූරි චූලා පද්මේන්ද්‍ර දෙපල චෝදනා තුනක් යටතේ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත නිදහස් කරන ලදී.

ශ‍්‍රී ලංකාවට පාම් ඔයිල් ආනයනය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරන ලද්දේ අපේ‍්‍රල් 5 වෙනිදාය.

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස නවුෆර් මවුලවි නම් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් නිකුත් කරනු ලබන්නේ, අපේ‍්‍රල් හයවෙනිදාය. අන්තවාදය ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සහරාන්ගේ මාමණ්ඩිය, කුලියාපිටිය කැකුණුගොල්ල ප‍්‍රදේශයේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අත්අඩංගුවට පත්වන්නේ අපේ‍්‍රල් 23 වෙනිදාය. එසේම අපේ‍්‍රල් 24 වෙනිදා පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුතු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාද් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදුවිය. සිව් වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි වූ රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා දිවුරුම් දෙනු ලබන්නේ, අපේ‍්‍රල් නව වෙනිදාය.

එම මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගි ජනබලවේගයට මන්ත‍්‍රී ආසන හතරක් හිමිවූ අතර ඉන් වැඩිම මනාප ලබාගනු ලැබුවේ රංජන් රාමනායක වන අතර අජිත් මාන්නප්පෙරුම පස්වන ස්ථානය හිමිකරගෙන තිබුණි. අපේ‍්‍රල් 29 වෙනිදා, හිටපු පොලිස්පතිවරයකු වූ මහින්ද බාලසූරිය මහතා අභාවප‍්‍රාප්ත විය.

  • මැයි
කොවිඩ් මැද්දේ ගෙවුණු වසරක්…

මැයි හත්වෙනිදා, ශ‍්‍රී ලංකාවේ 07 වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද්දේ, අරලිය ගහ මන්දිරයේ සිට දුරස්ථ තාක්ෂණය ඔස්සේය.

මැයි 11 වෙනිදා පාතාල නායක මාබුලගේ දිනෙත් මෙලන් මාබුල හෙවත් ‘උරුජුවා’ පොලිස් වෙඩි පහරින් මියයන අතර, මැයි 13 දා තවත් පාතාල නායකයකු වූ තාරක පෙරේරා විජේසේකර හෙවත්ිකොස්ගොඩ තාරක මීරිගමදී පොලිස් වෙඩි පහරින් මියයෑම සිදුවිය.

ජනප‍්‍රිය ගායක භාතිය ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ගණනාවක් කොවිඞ් ආසාදනයට ලක්වීම මැයි මාසයේදී සිදුවිය. විශේෂත්වය වූයේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඔහුගේ ප‍්‍රිය භාර්යාව වූ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ද එම ඛාණ්ඩයට අයත්වීමය.

සිංගප්පූරු කන්ටේනර් නෞකාවක් වන එක්ස්ප‍්‍රස් පර්ල්, ශ‍්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ගිනි ගැනීමකට ලක් වූ අතර, එය මැයි 27 වන දින ගින්නෙන් දැවී, බටහිර වෙරළ තීරයට දැවැන්ත පාරිසරික හානියක් සිදු කළේය.

සමසමාජ පක්ෂයේ ප‍්‍රකට ක‍්‍රියාධාරියකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයක් දරන ලද ප‍්‍රථම සඟ නම වූ බද්දේගම සමිත හිමියෝ කොවිඞ් ආසාදිතව අපවත් වී වදාළේ, මැයි 31 දාය.

  • ජුනි

ජුනි මාසයේදී කොවිඞ් මරණ වාර්තාවීමට අමතරව මරණයෙන් ගැලවීමක්ද වාර්තා විය. මරණ දණ්ඩනයට නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර වන්නේ ජුනි 24 වෙනිදාය. එදිනම ලයිබීරියානු ධජ සහිත බහාලූම් නෞකාවක් වන මෙසිනා, ශ‍්‍රී ලංකාව සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර අතරමගදී ගිනි ගැනීමකට ලක්විය.

ප‍්‍රකට නර්තනවේදී කුලසිරි බුදවත්ත මහතාගේ අභාවය වාර්තා වන්නේ, ජුනි 23 දාය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ පිටියෙන් පිට වාර්තා ගත සිදුවීමක් ජුනි 28 වෙනිදා සිදුවිය. ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන් තිදෙනා, එංගලන්ත සංචාරය අතරතුර ඩර්හැම් වෙළෙඳපොළේ ජීව බුබුල බිඳ දමමින් සැරිසැරීම හේතුවෙන්, සංචාරයේ ඉතිරි කාලය අත්හිටුවා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය. මෙම තිදෙනාට ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසර කිහිපයකට අත්හිටුවන ලද අතර රුපියල් මිලියන 10 ක දඩයක් ද නියම විය.

  • ජුලි

අති සාර්ථක එන්නත්කරණය සහ කොවිඞ් මර්දනය වෙනුවෙන් සිදු කරන ලද සැලසුම් සහගත සේවය හේතුවෙන්, ජූලි පස් වෙනිදා, එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද ෆයිසර් එන්නතෙහි මාත‍්‍රා 26,000ක් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ලදී. දකුණු ආසියානු කලාපයේ රටකට ෆයිසර් එන්නත ලැබුණු පළමු අවස්ථාව මෙය විය.

ආගරපතන – දියගම බටහිර ප‍්‍රදේශයේ පදිංචි ජූඞ් කුමාර් ඉෂාලිනි නමැති 16 හැවිරිදි දැරියක් බරපතළ පිළිස්සුම් තුවාල ලබා මියයනු ලබන්නේ, ජුලි මස දහ අට වෙනිදාය. ඇය රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයාගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ අතර, ජූලි 3 වැනි දින බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ ඇය පසුව ජූලි 15 වැනි දින රෝහල්ගත කළ පසු මියගියාය. ජුලි 23 වැනි දින පොලිසිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ, හිටපු අමාත්‍යවරයාගේ මාමණ්ඩිය සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව එම පරිශ‍්‍රය තුළම දැරියකගේ මරණය සහ තවත් කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනකු පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය, පොලිසියට අවසර ලබා දුන්නේය.

සිරස, ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප‍්‍රාප්ත වන්නේ ජුලි 26 දාය.

‘කිලෝ ග‍්‍රෑම් 510ක් බරැති ලොව විශාලතම තරු නිල් මැණික් පොකුර ශ‍්‍රී ලංකාවේ රත්නපුරයෙන් මතුවන්නේ ජුලි 28 දාය. රත්නපුරයෙන් තරු මැණික මතුවී දෙදවසකට පසු කලා අඹරේ තරුවක් වූ, ජනප‍්‍රිය නිළි හයසින්ත් විජේරත්න මහත්මිය ලිඳුල ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පසුව නුවරඑළිය – තලවාකැලේ මාර්ගයේ ප‍්‍රපාතයකට ඇය ගමන් ගත් රිය පෙරළීමෙන් මියගියාය.

  • අගෝස්තු
කොවිඩ් මැද්දේ ගෙවුණු වසරක්…

අගෝස්තු 23 වෙනිදා ශ‍්‍රී ලංකාව යූ ටියුබ් ලෝකයේ වාර්තාවක් තබන්නේ, යොහානි සහ සතීෂන් විසින් ගායනා කරන ලද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, මිලියන 50 ක නරඹන්නන් ඉක්මවා යෑම හේතුවෙනි.

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ශ‍්‍රී ලංකා දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මංගල සමරවීර මහතා ‘කොවිඞ්’ ආසාදනය වීමෙන් මියයන්නේ අගෝස්තු මස 24 වෙනිදාය. ශ‍්‍රී ලංකාව සිය පළමු පැරා ඔලිම්පික් පදක්කම වාර්තා කරන්නේ අගෝස්තු 31 වෙනිදාය. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දිනේෂ් ප‍්‍රියන්ත හේරත්, පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්ව සඳහා මීටර් 67.79ක නව ලෝක වාර්තාවක් සමඟින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඓතිහාසික රන් පදක්කම එහිදී දිනා ගැනීමට සමත් විය.

  • සැප්තැම්බර්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි නායකයකු වන අමිල ප‍්‍රසන්න හෙට්ටිහේවා හෙවත් ‘සන්ෂයින් සුද්දා’ මාතර කොටවිල ප‍්‍රදේශයේදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වන්නේ, සැප්තැම්බර් තුන් වෙනිදාය. එදිනම ශ‍්‍රී ලාංකේය පර්යේෂක පිරිසක් විසින් තොප්පිගල ඝන කැලෑව තුළ පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක නටබුන් සොයා ගන්නා ලදී.

සැප්තැම්බර් හතර වෙනිදා, ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය, අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ‍්‍රී ලංකාවට දකුණින් ජාත්‍යන්තර මුහුදේ දී රුපියල් මිලියන 3100 කට අධික දළ වීදි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 336 කට අධික ප‍්‍රමාණයක් රැගෙන ආ විදේශීය ධීවර යාත‍්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

‘‘මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා’’… ගීතය ඇතුළු ජනප‍්‍රිය ගීත ගණනාවක් ගායනා කළ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා දැයෙන් සමුගන්නේ සැප්තැම්බර් හයවෙනිදාය. කොවිඞ් ආසාදනයෙන් පසු සිය නිවසට පැමිණි ඔහු එම සංකූලතා හේතුවෙන් ජීවන ගීතය නිමා කළේය.

එලියන්ත වයිට් නමින් ප‍්‍රසිද්ධව සිටි ගුප්ත ක‍්‍රමවේද වෛද්‍යවරයා අභාවප‍්‍රාප්ත වන්නේ සැප්තැම්බර් 22 වෙනිදාය.

  • ඔක්තෝම්බර්

හිටපු අමාත්‍යවරියක් වන නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඬේෂන්ගේ මූල්‍ය ලේඛන ඇතුළත් ලෝක නායකයන්, දේශපාලනඥයන් සහ ප‍්‍රකෝටිපතියන්ගේ රහස් ධනය සහ ගනුදෙනු ඇතුළත් පැන්ඩෝරා ලිපි ලේඛන කාන්දුව සිදුවන්නේ, ඔක්තෝම්බර් තුන් වෙනිදාය. නිරුපමා එසේ වාර්තා ගත වන අතරේ, ශ‍්‍රී ලංකා පොලිසිය සිය ඉතිහාසයේ පෙරළියක් සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නිලයට එකවර උසස් කරන ලද්දේ, ඔක්තෝම්බර් හත් වෙනිදාය.

ලොව ප‍්‍රකට පුරාවිද්‍යාවේදියකු වන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා, හැත්තෑ නම වසක් ආයු වළ`දා අභාවප‍්‍රාප්ත වන්නේ, මෙම මස පස් වෙනිදාය.

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් හි කුෂිනගර් ජාත්‍යන්තර තොටුපළේ පළමු ජාත්‍යන්තර ගුවන් ගොඩබෑම සමාරම්භ කරමින් භික්ෂුන් වහන්සේලා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නියෝජිත පිරිසක් එරටට ළඟා වන්නේ, ඔක්තෝම්බර් 18 වෙනිදාය. එදිනම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ටෙස්ට් ක‍්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා, වයස හැට අටක් සපුරා සිය ජීවන ඉනිම නිමා කරන ලද්දේ, පේ‍්‍රක්ෂක හදවත් තුළ සදා නොදැවී සිටිමිනි.

ඔක්තෝබර් 21 වෙනිදා, 31 හැවිරිදි මවක් කොළඹ පෞද්ගලික රෝහලකදී බිළිඳුන් හය දෙනකු, පිරිමි ළමුන් තිදෙනකු සහ ගැහැණු ළමුන් තිදෙනකු ලෙස ප‍්‍රසූත කරමින්, නිවුන් ගැහැණු පිරිමි දරුවන් වැඩි ගණනක් එකවර බිහි කිරීමට සමත් වූවාය. සිසුන් 200 ට අඩු පාසල්වල ප‍්‍රාථමික අංශ කොවිඞ් -19 වසංගතය හේතුවෙන් වසා දමා මාස හයකට පමණ පසු අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කරන ලද්දේ ද එදිනමය.

ඔක්තෝබර් 22 දින කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය 56 හැවිරිදි පුද්ගලයෙක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට කළු දිලීර ආසාදනයකට ගොදුරු වූ මරණය ලෙස වාර්තා විය.

මහාචාර්ය නීලිකා මලවිගේ කොවිඞ් -19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස තේරීපත් වන්නේ, ඔක්තෝම්බර් 28 දාය.

  • නොවැම්බර්
කොවිඩ් මැද්දේ ගෙවුණු වසරක්…

මෙම මස හතර වෙනිදා, සපුගස්කන්ද මාබිම කුණු කන්දක දමා ගිය ගමන් මල්ලක තිබී, අත් පා බැඳ ඇති කාන්තා මළ සිරුරක් සොයා ගනු ලැබීය. එම දේහය මාලිගාවත්ත මහල් නිවාසයේ පදිංචිව සිටි 44 හැවිරිදි මොහොමඞ් මුම්ටාස්ගේ බවට සොයා ගත් අතර, නොවැම්බර් 6 වෙනිදා, කාන්තාව ඝාතනය කළ බවට පාපොච්ඡාරණය කිරීමෙන් පසු 36 හැවිරිදි විවාහක යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ප‍්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර මහතා ජාතියේ ශෝක තැවුල සිව් සිය ගව් දුර ඇසෙන ලෙසින් සනිටුහන් කරමින්, ජීවන රිද්මයට තිත තබනුයේ, නොවැම්බර් 11 වෙනිදාය.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන පොලිස් මූලස්ථාන පරිපාලනයේ පළමු කාන්තා අධ්‍යක්ෂවරිය ලෙස පත් කරනු ලබන්නේ, නොවැම්බර් 16 දාය. ප‍්‍රවීණ නර්තන ශිල්පිනී ආචාර්ය වජිරා චිත‍්‍රසේන මහත්මිය වෙත ඉන්දීය ජනාධිපතිවරයා විසින් ‘පද්ම ශ‍්‍රී’ සම්මානය පුද කරන්නේ නොවැම්බර් 17 දාය. යුද ජයග‍්‍රහණය සමරමින් ඉදිකරන ලද සඳහිරු සෑය, සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලද මහතා අතින් පිරිනැමීම සිදුවන්නේ නොවැම්බර් 18 වෙනිදා අනුරාධපුර අටමස්ථාන භූමියේදීය. නොවැම්බර් 24 වෙනිදා, ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් නව නවීන කැලණි පාලම මහජනතාව සඳහා විවෘත කරන ලද අතර ඊට පසුදා, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා, එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස නව තනතුරක් භාර ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම සිදුවිය. නොවැම්බර් 30 වැනි දින මංජු ලලිත් වර්ණකුමාර ඔහුගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට පත් කරන ලදී. අර්ජුන රණතුංග මහතා තමා නියෝජනය කරන ලද එජාපයෙන් අස්වන්නේ, නොවැම්බර් මස 29 වෙනිදාය.

එජාපයේ හිටපු මහ ලේකම්වරයකු සහ අමාත්‍යවරයකු වූ සිරිසේන කුරේ මහතා, රහස් රැසක් සඟවාගෙන නික්ම යන්නේ නොවැම්බර් 30 වෙනිදාය.

  • දෙසැම්බර්

දෙසැම්බර් 3 දින නයිජීරියාවේ සිට ආපසු පැමිණි මාරවිල ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් තුළ ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ පළමු වරට වාර්තා වෙයි.

සියල්කොට් හි වසිරාබාද් පාරේ දී මැර පිරිසක් විසින් සිදු කළ ප‍්‍රහාරයකින් පුද්ගලික කර්මාන්තශාලා සේවකයන් පහර දී, රාජ්කෝ කර්මාන්තශාලාවේ ශ‍්‍රී ලංකා අපනයන කළමනාකරු ප‍්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය කෙරේ. අධික යටත් කර, ඔහුව ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දැමූ බව වාර්තා වන අතර, දෙසැම්බර් 6 වන දින මුද්‍රා තබා ඔහුගේ දේශය ශ‍්‍රී ලංකාවට ගෙන එන ලදී.

වයඹ පළාත් අණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලූර් මහතා අභාවප‍්‍රාප්ත වන්නේ, ‘දෙසැම්බර් 6 වන දිනය’ ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලූර් මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. රාජා කොල්ලූර් මහතා ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපතිවරයා ද වෙයි. 2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 83 වන වියෙහි පසුවිය.

දෙසැම්බර් දහවෙනිදා ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා, ජීවන තිරයෙන් නික්ම ගියේය. මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය. සිංහල සිනමාවේ ”බොක්ස් ඔෆිස් රජු’ යන විරුදාවලිය ලත් පිරිස් මහතා, චිත‍්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ. ජය පිට ජය, ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප‍්‍රියේ ආදරේ යන චිත‍්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත‍්‍රපට අතරින් කිහිපයකි.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment