කොවිඩ් වසංගතය තීරණාත්මක තැනක කුමක් කළ යුතුද?

315

කොරෝනා වසංගත ව්‍යාප්තියේ තීරණාත්මක අවධියකට අප රට පැමිණ ඇත. ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය, නව ප‍්‍රභේදයක් ඇතිවීමේ හැකියාව, රෝහල් ධාරිතාවයන් ඉක්මවා යෑම, රෝගී මරණ ඉහළ යෑම, සෞඛ්‍ය අංශ වසංගතයේ ගොදුරු බවට පත්වීම ඇතුළු තවත් කරුණු කාරණා පවතින තත්ත්වය තව තවත් බරපතල කර තිබේ. මේ වන විට ශ‍්‍රී ලංකාවේ COVID රෝගී මරණ අනුපාතය (ක්‍්ිැ ත්‍්ඒකසඑහ ඍ්එැ – ක්‍ත්‍ඍ* අනෙක් රටවලට වඩා ඉතා ඉහළ අගයක් ද ගනිමින් තිබේ. එය දළ වශයෙන් පසුගිය 15 වැනිදා වන විට සියයට 5.7 කි. විශාල මරණ සංඛ්‍යාවක් සිදුවෙනවා මාධ්‍යයෙන් දුටු අසල්වැසි ඉන්දියාවේ එය සියයට 1.2 කි. මෙරට සිටින බරපතළකම එතැනය.

 2021 වසර අවසාන භාගයේ COVID වසංගතය හමුවේ අපට මුහුණ දීමට සිදුවිය හැකි භයානකම තර්ජනය නම්, ශ‍්‍රී ලංකාවට ආවේණික වූ වර්තමාන එන්නත්කරණ ප‍්‍රතිශක්තිකරණයට ඔරොත්තු නොදෙන නව දරුණු COVID වෙරෙස් ප‍්‍රභේදයක් ඇතිවීමයි.

 මේ වන විට ලෝකය පුරා COVID වෛරසයේ විවිධ ප‍්‍රභේද ඇතිවන ආකාරය, ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ ක‍්‍රියාවලියේ ඇති අවිධිමත්භාවය, COVID රෝගයේ වර්තමාන සමාජ ව්‍යාප්තිය සහ දෛනිකව වාර්තා වන COVID රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම වැනි සාධක නිසා කොවිඞ් වෛරසයේ ශ‍්‍රී ලංකාවටම ආවේණික වූ දරුණු COVID වෛරසයේ ප‍්‍රභේදයක් ඇති වීමේ හැකියාව කිසි ලෙසකත් බැහැර කළ නොහැකිය.

 මේ සඳහා දැන් සිටම අප සූදානම් වීම ඉතා වැදගත්ය. එහිදී විවිධ වෛරස් ප‍්‍රභේද හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව රසායනගාර පහසුකම් ඇතිකර ගැනීම මෙන්ම, ඒ සඳහා ප‍්‍රමාණවත් සාම්පල අඛණ්ඩව පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

 තුන්වන එන්නත් මාත‍්‍රාවක් ලබාදීම පිළිබඳ මේ වන විට විවිධාකාරයේ වෛද්‍ය පර්යේෂණ සිදුකර ඇති අතර, ඇතැම් රටවල් දැනටමත් තුන්වන මාත‍්‍රාව ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇත.

 මුල් අදියරේදී ඉදිරි පෙළ සේවය කරන සෞඛ්‍ය සේවකයින් සඳහා තුන්වන එන්නත් මාත‍්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාවය මේ වන විට දැඩිව පැන නැග ඇත්තේ අද වනවිට නැවත වටයකින්, එන්නත් මාත‍්‍රා දෙකම ලබා සිටින සෞඛ්‍ය සේවකයින් පවා COVID වසංගතයේ ගොදුරු වෙමින් පැවතීමයි. තවදුරටත් සෞඛ්‍ය සේවකයන් අතර කොවිඞ් රෝගය පැතිරුණහොත් සෞඛ්‍ය ධාරිතාවට එය දැඩි ලෙස බලපෑමක් ඇති කරන බව පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ.

 ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ට වැඩි සියලූ පුරවැසියන් සඳහා එන්නත් මාත‍්‍රා දෙකම ලබා දීම සඳහා තවත් එන්නත් මාත‍්‍රා මිලියන 15-16ත් අතර ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය වන අතර, තාක්ෂණික කමිටුවල අනුමැතිය ලද එන්නතකින් තුන්වන එන්නත් මාත‍්‍රාවක් වයස අවුරුදු 12 ට වැඩි සියලූ දෙනා සඳහා ලබාදීමට නම් පළමු මාත‍්‍රා දෙක සඳහා අවශ්‍ය ඉහත සඳහන් එන්නත් ප‍්‍රමාණයට අමතරව තවත් එන්නත් මාත‍්‍රා මිලියන 17.5 ක් පමණ අවශ්‍ය වේ.

 වර්තමානයේ මෙරට කොරෝනා COVID රෝගී මරණ අනුපාතය (CFR) ඇතුළු අනෙකුත් දත්ත පිළිබඳ විශ්ලේෂණයේදී ශ‍්‍රී ලංකාව කොරෝනා වසංගතයේ 4 වන අදියරයේ තත්ත්වයකට මුහුණ දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID වසංගත ව්‍යාප්තියේ මට්ටම (Transmission Level සහ ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව (Response Capacity අනුව සිදුකරන නිර්වචනය මඟින් ඒ බව තහවුරු වේ.

 පවතින වසංගත තත්ත්වය සලකා බලන විට ගත යුතු පළමුවැනිම ක‍්‍රියාමාර්ගය ලෙස අප අවධාරණය කරනු ලබන්නේ කොවිඞ් 19 අවදානම් මට්ටම් හි 4 වැනි මට්ටමට රට පත්ව ඇති බව ප‍්‍රකාශයට පත් කර එම මට්ටමට අනුව ගත යුතු ක‍්‍රියාමර්ග හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක කරවීමය. එහිදි ප‍්‍රධාන වශයෙන්ම සිදු විය යුත්තේ සමාජය තුළ පුද්ගල සංචරණය සියයට 80 – 90 අතර ප‍්‍රමාණයකින් අඩු කර ගැනීමය. ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග කොවිඞ් කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතු අතර එය සැබෑ ලෙසම සිදු වේද යන්න හරියාකාරව පසුවිපරම් වීම සිදු විය යුතුය.

 කොවිඞ් 19 මර්දනය සඳහා ප‍්‍රධානතම පියවර වන එන්නත්කරණ කටයුත්ත මේ වන විට විද්‍යාත්මක පදනමකින් තොරව සිදු වන බවට පෙනෙන්නට ඇත. එය විවිධ පුද්ගලයින්ගේ අත්තනෝමතික අවශ්‍යතා මත ක‍්‍රියාත්මක වන බවට ද දැකිය හැක. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ දැඩි ස්ථාවරය වන්නේ එන්නත්කරණය විද්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව සිදු විය යුතු බවයි. මේ සඳහා වූ පිළිගත් ක‍්‍රමවේදයක් අප විසින් දැනටමත් ඉදිරිපත් කර ඇත. එය ජනාධිපතිතුමාට ද ඉදිරිපත් කර තිබේ. මෙම ක‍්‍රමවේදයට අනුගත වීම මගින් කොවිඞ් 19 නිසා සිදු වන මරණ සංඛ්‍යාව අඩු වන ආකාරය ද එහිදී අප පෙන්වා දී ඇත.

 මේ වන විට සෞඛ්‍ය සේවකයින් දිනෙන් දින වැඩි වශයෙන් ආසාදිතයින් බවට පත් වීම නිසා සෞඛ්‍ය ආයතනවල කටයුතු පවත්වා ගැනීමට සහ සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතවලට ද එය තර්ජනයක් වෙමින් පවතී. එම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඞ් 19 සඳහා වූ තුන් වන එන්නත් මාත‍්‍රාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස හැකි ඉක්මනින් සොයා බලා කටයුතු කළ යුතුය.

 කොවිඞ් 19 රෝගීන් හඳුනා ගැනීම සඳහා සහ නව ප‍්‍රභේද හඳුනා ගැනීම සඳහා ඇති පහසුකම් වැඩිදියුණු කළ යුතු අතර සිදු කරන අහඹු PCR සහ ඇන්ටිජන් පරීක්ෂාවන් ප‍්‍රමාණය වැඩි කළ යුතු අතර එම පරීක්ෂා කිරීම් වඩා විද්‍යාත්මක පදනමක් මත සිදු කළ යුතුය. මෙම කාරණාව සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවිඞ් කාර්ය සාධක බලකාය කඩිනමින් පියවර ගත යුතුය.

 මේ වන විට මෙරට COVID එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට භාජනය වූ ප‍්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 22 ක් පමණ වේ. මෙය සාර්ථකව එන්නත්කරණය සිදු කරන අනෙක් රටවලට වඩා ඉතා පහළ අගයක්ය. එක් එන්නත් මාත‍්‍රාවක් හෝ ලබා ගනිමින් එන්නත්කරණයට භාජනය වූ මිලියන 11.8ක් වූ මුළු සංඛ්‍යාවෙන් සියයට 40 වැනි ප‍්‍රතිශතයක් මේ වන විට එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන ඇත. මෙම ප‍්‍රතිශතය එන්නත්කරණය සාර්ථකව සිදු කරන රටවල සියයට 80 ක් පමණ වේ. මෙම දත්ත විශ්ලේෂණයේදී පැහැදිලි වනුයේ ශ‍්‍රී ලංකාව COVID පාලනය සම්බන්ධයෙන් සහ කොවිඞ් එන්නත්කරණය සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණවත් නොවන බව සහ යම්කිසි අසාර්ථකභාවයක් ඇති බවය.

 තවද, මෙම තත්ත්වය බරපතළ වනුයේ COVID පරීක්ෂණ මගින් හඳුනාගන්නා රෝගීන්ගේ ප‍්‍රතිශතය (Test Positivity Rate) ශ‍්‍රී ලංකාවේ ඉතා ඉහළ අගයක් ගැනීමයි. එම අගය 24%ක් වැනි ඉතා ඉහළ ප‍්‍රතිශතයකින් වාර්තාවේ.

 ශ‍්‍රී ලංකාවේ සිදුකරන PCR පරීක්ෂණ ප‍්‍රමාණය අඩු බැවින් හඳුනා නොගත් විශාල රෝගීන් ප‍්‍රමාණයක් මගහැරීම නිසා මෙලෙස COVID රෝගී මරණ අනුපාතය (Case Fatality Rate – CFR) සහ COVID පරීක්ෂණ මගින් හඳුනාගන්නා රෝගීන්ගේ ප‍්‍රතිශතය (Test Positivity Rate ඉතා ඉහළ අගයක් ගන්නවා විය හැක.

 ශ‍්‍රී ලංකාවේ මේ වන විට එක් COVID රෝගියෙකු හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR සංඛ්‍යාව 6.3 වැනි ඉතා පහළ අගයක් ගනී. COVID පාලනය හොඳින් සිදු කරන නවසීලන්තය වැනි රටවල එක් රෝගියකු හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 4000 ඉක්මවා සිදු කරයි. මේ සඳහා වසංගත රෝග විද්‍යා ඒකකය විවිධ අර්ථකථන ලබා දුන්නද, ශ‍්‍රී ලංකාවේ දිනකට සිදු කරන COVID පරීක්ෂණ ප‍්‍රමාණය වසංගතය සාර්ථකව පාලනය සඳහා කිසිසේත්ම ප‍්‍රමාණවත් නැති බව සඳහන් කළ යුතුමය.

 මෙම සියලූ කරුණු කාරණා අනුව අප රටේ පවතින වත්මන් කොරෝනා වසංගත තත්ත්වය ඉතා බරපතල බව නැවත වරක් කිව යුතුය. එබැවින් ජනතාවට පවතින අවදානම නිවැරදිව සංනිවේදනය කිරීම අතිශයින්ම වැදගත්ය. නිවැරදි දත්ත සංනිවේදනය මගින් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පාලනය සඳහා ඉතා වැදගත්වන මහජන සහාය හා දායකත්වය (Social
 Capital Contribution) ලබා ගත හැක.

 එසේ නොවුණහොත් ඇතිවිය හැකි තත්ත්වය අවාසනාවන්ත සහ බියකරු එකක් වනු ඇති බව නොකිවමනාය. නිවැරදි දත්ත සන්නිවේදනයේ ඇති වටිනාකම සහ වැදගත්කම නවසීලන්තය දෙස බැලීමෙන් මැනවින් වටහා ගත හැක. එන්නත්කරණයේදී ඉතාමත් ප‍්‍රාථමික මට්ටමක සිටින නවසීලන්තය, අදටත් COVID වසංගතය හොඳින් පාලනය කර ගැනීමට සමත්වීමට ප‍්‍රධාන හේතුන් වනුයේ සැබෑ දත්ත විශ්ලේෂණය කර, පවතින අවදානම නිවැරදිව ජනතාවට සංනිවේදනය කිරීම (Risk Communication) සහ එමඟින් මහජනතාවගේ විශ්වාසය දිනාගනිමින් වසංගතය පාලනය සඳහා ජනතාවගේ සහයෝගය ලබා ගැනීමය. නවසීලන්තය දෙස බලා රටක් වශයෙන් අපට සැනසීමක් ලැබීමට නම් අදාළ බලධරීන් නිසි ලෙස රටේ ජනතාවට නිවැරදි දත්ත සන්නිවේදනය කළ යුතුමය.

 වසංගතයේ මුල් අවදියේ සිටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි ඇති වැදගත්කම දිගින් දිගටම මතු කළ අතර COVID වසංගතයේ සත්‍ය තත්ත්වය ජනතාවට පහදා දීමට යෑමේදී අප සංගමය වෙත නොයෙකුත් අවලාද අපවාද චෝදනා එල්ල විය. එවන් තත්ත්වන මධ්‍යයේ වුවද සත්‍ය තත්ත්වය පහදා දීම තුළ වසංගතය පාලනය සඳහා ජනතාවගේ සහයෝගය යම් මට්ටමකට ලබා ගැනීමට හැකිවිය. අවාසනාවකට, අවස්ථාවාදීන් කිහිප දෙනෙකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව ඇති කරන ලද නීතිමය කටයුතු හේතුවෙන් පවතින තත්ත්වය සහ වසංගතය පාලනයට ගෙන යා යුතු දිශානතිය පෙන්වීමට සිදු කළ අවහිරයේ පාඩුව සිදුවූයේ රටටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දායකත්වය අත්‍යවශ්‍ය මොහොතක ලබා දීමට නොහැකි වීම කනගාටුදායකය.

වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු
 ලේකම්,
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment