‘කොවිඩ් වසර දෙකේදී’ ඩොලර් මිලියන 1013.67 ක සංචාරක ආයෝජන ලැබුණා – ඇමැති ප‍්‍රසන්න රණතුංග

274

කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර දෙකේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එම වසර දෙකේදී ලැබුණු සංචාරක ආයෝජන සංඛ්‍යාව 99ක් බවත් මෙම ආයෝජනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජන අනුමත කළ බවත් එලෙස අනුමත කරනු ලැබූ ආයෝජන සංඛ්‍යාව 59ක් බවත් ඇමැතිවරයා කීවේය.

සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමේ ක‍්‍රියාවලිය කඩිනම් කිරීම යටතේ රාජ්‍ය ආයතන 8ක් සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට පෙරේදා (26 දා) පෙරවරුවේ එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක ආයෝජන කඩිනම් කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැ`ගිලි පර්යේෂණ සංවිධානය යන ආයතන සමග සංචාරක සංවර්ධන අධිකාරිය මෙම අවබෝධතා ගිවිසුම්වලට එළඹිණි. මෙම වැඩපිළිවෙළ යටතේ ආයෝජන මණ්ඩලය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබේ. වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, සිවිල් ගුවන්සේවා අධිකාරිය, කොළඹ මහ නගර සභාව සමග ඉදිරියේදී ගිවිසුම්වලට එළඹීමට නියමිතය. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග ද අදාළ ගිවිසුම් අත්සන් කිරීම සඳහා සාකච්ඡුා කරමින් පවතියි.

සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබඳතා ඒකකය ලෙස නව ඒකකයක් ද හඳුන්වා තිබේ. එම ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේදී ක‍්‍රියාත්මක රාජ්‍ය ආයතන 15ට අවශ්‍ය වන තොරතුරු ඇතුළත් පොදු අයැදුම්පතක් ද සකස් කර ඇත. මේ අනුව සංචාරක ආයෝජන අනුමත කිරීමේදී පැවැති ප‍්‍රමාදයන් අවම කිරීමට රජය කටයුතු කර ඇතැයි ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේය. ස්වයංක‍්‍රීය සංචාරක ආයෝජන ව්‍යාපෘති කළමනාකරණ ක‍්‍රමවේදයක් මේ වනවිට සකස් කෙරෙමින් පවතියි. එය මැයි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කීවේය. මේ පිළිබඳව ප‍්‍රාදේශීය මට්ටමින් පුහුණු වැඩසටහන් ද සැලසුම් කර තිබේ. වැඩිදියුණු කළ ක‍්‍රියාවලිය පිළිබඳ දේශීය ආයෝජකයන් දැනුවත් කෙරෙන අතර සංචාරක ආයෝජන වැඩි කිරීමේ අරමුණින් අලෙවි කරන ප‍්‍රචාරක වැඩසටහනක් ද ඉදිරියේදී ක‍්‍රියාත්මක කෙරෙන බව ඇමැතිවරයා කියා සිටියේය.

සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ

පසුගිය 2010 ඔක්තෝබර් මස සිට 2021 දෙසැම්බර් මාසය දක්වා සංචාරක ආයෝජන 1006ක් ලැබී ඇති බවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7571.38ක් බවත් ඔහු කීවේය. එහෙත් එම කාලයේ දී අනුමත වී ඇත්තේ සංචාරක ආයෝජන 457ක් පමණි. ඇමරිකානු ඩොලර් මිලියන 3848.21ක ආයෝජන මෙලෙස අනුමත වී තිබේ. එමගින් තහවුරු වන්නේ සංචාරක ආයෝජන අනුමත කිරීමේ ක‍්‍රියාවලියේ පැවැති ප‍්‍රමාදය බවත් එය අවසන් කිරීමට රජය සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවත් රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා මෙහිදී සඳහන් කළේ විධිමත් ආයෝජන අනුමත කිරීමේ ක‍්‍රියාවලියක් මගින් ක‍්‍රියාපටිපාටි, කාල රාමු, පිරිවැය සහ අවශ්‍ය ලියකියවිලි අඩුකෙරෙන බවයි. මේ සඳහා නවීන තාක්ෂණය භාවිත කෙරෙන බව ද ඔහු සඳහන් කළේය. සංචාරක ව්‍යාපාරය මෙරට තුන්වන ඉහළම විදේශ ආදායම උත්පාදනය බවත් එබැවින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංචාරක ආයෝජන වැඩිකිරීමේ අවශ්‍යතාව රජය වටහාගෙන ඇති බවත් ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරෙන බවත් ඔහු කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සංචාරක ක්ෂේත‍්‍රයේ අනාගතය වෙනස් කරනු ලබන වැඩසටහනක් බවයි. සංචාරක ආයෝජන අනුමත කිරීමේ ක‍්‍රියාවලියේදී රාජ්‍ය ආයතන 43ක් මෙන්ම පළාත් පාලන ආයතන සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ වන බවත් ඒ ඒ ව්‍යාපෘතිය අනුව එක් ව්‍යාපෘතියකට නියෝජිත ආයතන 15-20ත් අතර සංඛ්‍යාවකින් අනුමැතිය ලබා ගැනීමට සිදුවන බවත් මේ සඳහා යන කාලය අවම කිරීම සඳහා තෙවන පාර්ශ්ව සම්බන්ධ වීම නිසා සිදුවන වංචා හා දූෂණ වැළැක්වීමට නව වැඩපිළිවෙළ ඉවහල් වන බවත් ඇය කීවාය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment