කොවිඩ් සහ බඩු මිල පාලනයෙන් ගිලිහිලා-විපක්ෂ නායක

219

කොවිඞ් පාලනය මෙන්ම බඩු මිල පාලනයද ආණ්ඩුවෙන් මේ වන විට ගිලිහී ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද (11දා) දින විශේෂ නිෙවිදනයක් නිකුත් කරමින් කියා සිටී.

එමගින් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මේ වන විට කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. කොරෝනා පාලනය මෙන්ම බඩුමිල පාලනය ද ආණ්ඩුව අතින් ගිලිහී ගොස් ඇති අතර ජනතාවගේ ගෙල මිරිකන කොල්ලකාරී ස්වරූපයකට තත්ත්වය වර්ධනය වී තිබේ.

සහල්, තිරිඟු‍පිටි, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ගවල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප‍්‍රමාණයකින් තොග මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ධාන්‍ය හා පලතුරු ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදනවල මිල ඊටත් වඩා ඉහළ ගොස් ඇත. කිරිපිටි, බටර්, සෝයා, තෙල් සහ විවිධ ආහාර ද්‍රව්‍ය එවැනි නිෂ්පාදන අතර වෙයි.

බරපතල වෙළඳ මාෆියාවක් ක‍්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක‍්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර, ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත. ආණ්ඩුවට ඊට මුහුණ දීමේ කිසිදු හැකියාවක් ඇත්තේ නැති බව මනාව ඔප්පු වී තිබේ.

ආණ්ඩුව සහල් මාෆියාවට මුහුණ දෙන බවට පුරසාරම් දෙඩූ නමුත් එය සහමුලින් ම අසාර්ථක කටයුත්තක් වී තිබේ. අද වෙන විට සහල් මිල හිතු මනාපයට ඉහළ යමින් තිබේ.

ගජ මිතුරන්ට අධික ලෙස බදු සහන ලබාදෙමින් ගෙන්වනු ලැබූ සීනිවල මිල ද අද වන විට අධික ලෙස ඉහළ ගොස් තිබේ. සීනි වංචාව හරහා සිදුවූ පාඩුව සුළුපටු නොවේ. පොල්තෙල් වංචාව මෙන්ම විෂ පොල්තෙල් ආනයනය මගින් ද සිදුවූ විනාශය අතිමහත් ය. අද වනවිට පොල්තෙල් මිලද ඉහළගොස් ඇත.

පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළඳපොල තුළ දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් මේ තුළින් බරපතළ පෝෂණ ඌනතාවයකට මුහුණ දී සිටී. එදා වේල හෝ පිරිමසා ගන්නට මාර්ගයක් නොමැතිව අන්ත අසරණව සිටින ජනතාවට මේ අධික භාණ්ඩ සහ ආහාර මිල ඉහළයාම කිසිසේත් දරාගත නොහැකි තත්ත්වයක් වන නමුත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත.

ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ගනු ලබන කිසිදු ජනතාවාදී තීන්දුවක් මහපොළොව තුළ ක‍්‍රියාත්මක වෙන තත්ත්වයක් දක්නට නැත. කෙසේ වෙතත් ආණ්ඩුව මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ පවත්නා තත්ත්වය අවබෝධ කර නොගෙන අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවධානය යොමු කිරීමය. නගර අලංකරණය, අධිවේගී මාර්ග ඉදිකිරීම් වැනි ව්‍යාපෘති අවශ්‍ය වන නමුත් එය කිසිසේත්ම මේ මොහොතේ අත්‍යාවශ නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment