කොස්ගම සුජීගේ කෝටි 250ක කුඩු ඇල්ලූ නේවි මෙහෙයුම

359

ධීවර කටයුතුවලට මුවාවෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට කුඩු රැගෙන එන මහා පරිමාණ ජාවාරම් කලක පටන් ක‍්‍රියාත්මකය. බුද්ධි අංශ වෙත ලැබෙන තොරතුරු මත එවැනි ජාවාරම් නීතියේ රැහැනට කොටුකර ගත් අවස්ථාවන් ගණනාවක් ද ගත වූ වසර කීපය ඇතුළත මෙරටින් වාර්තා විය. ආරක්ෂක අංශ විසින් සිදු කළ එවැනි වැටලීම් හරහා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් කෝටි ගණනාවකින් යුක්තය. එබඳු තත්ත්වයක් තුළ වුවද මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම තවමත් නතර වී ඇති බවක් පෙනෙන්නට නැත. ඒ පිළිබඳ ආසන්නතම උදාහරණය ඉකුත් 31දා බේරුවල ප‍්‍රදේශ මුල් කරගනිමින් වාර්තා වූ අතර එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග‍්‍රෑම් 290 ක පමණ බරකින් යුක්තය.

ගාල්ලේ සිට නාවික සැතපුම් 820 ක් පමණ දුරින් වූ දකුණු මුහුදු තීරයේදී මෙම වැටලීම සිදු කර තිබෙන අතර එම මෙහෙයුම ක‍්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය බුද්ධි සේවාව වෙත ලැබුණු තොරතුරක් ඔස්සේ ක‍්‍රියාත්මක කරන ලද ඒකාබද්ධ මෙහෙයුමක ප‍්‍රතිඵලයක් ලෙසය. රාජ්‍ය බුද්ධි සේවාව වෙත ලැබුණු විශේෂ තොරතුරක් ඔස්සේ ශ‍්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු බුද්ධි අංශ මඟින් වැඩිදුරටත් තහවුරු කරගත් තොරතුරු ඔස්සේ ක‍්‍රියාත්මක මෙම මෙහෙයුම ආරම්භ කරනු ලබන්නේ ඉකුත් අගෝස්තු මස 12 වැනි දිනය. එතැන් සිට දින 18ක් තිස්සේ මුහුද මැද සිදු කළ දුෂ්කර මෙහෙයුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම කොටුකර ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් වී ඇත. රාජ්‍ය බුද්ධි සේවය සේවයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් ඔස්සේ යමින් මෙම මහා පරිමාණ මත්කුඩු ජාවාරම පිළිබඳ වැඩිදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම පිණිස අගෝස්තු මස 12 වැනි දින ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් ”ගජබාහු” සහ ”සමුදුර” යන නෞකා දෙක ගැඹුරු මුහුදේ ආවේක්ෂණ කටයුතු පිණිස පිටත් කර යවන නාවික හමුදාව එහි ගමන් කරන නාවිකයන් වෙත පවරන ප‍්‍රධාන රාජකාරි බවට පත් වන්නේ ”මාෂි 03” නමින් නම් කොට ඇති බහුදින ධීවර යාත‍්‍රා කේන්ද්‍ර කොට ගනිමින් ආවේක්ෂණ රාජකාරියේ නිරත වීමය.

ඒ වන විට මෙරට බුද්ධි අංශ විසින් තහවුරු කර ගත් බුද්ධි තොරතුරුවලට අනුව වාර්තා වෙමින් තිබී ඇත්තේ ධීවරයන් පස් දෙනෙකුගෙන් සමන්විතව ඉකුත් ජූලි මස 30 වන දින මෙරටින් පිටත්ව යන ”මාෂි 03” නම් බහුදින ධීවර යාත‍්‍රාව අදාළ මත්ද්‍රව්‍ය තොගය ද සමඟ නැවත මෙරට බලා යාත‍්‍රා කරමින් පවතින බවය. ඊට අමතරව මෙම සැකකටයුතු යාත‍්‍රාව මෙරටට ළඟා විය හැකි යැයි අනුමාන කරන ලද ස්ථාන කීපයක් පිළිබඳව සහ සැකකටයුතු යාත‍්‍රාවේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව ද අනුමානය කරන බුද්ධි අංශ දකුණු මුහුදු කලාපයේ ආවේක්ෂණ කටයුතු සහ මුරසංචාර වැඩිකිරීමට ද කටයුතු කර ඇත. ඒ අනුව බටහිර මුහුදු තීරයේ සිට ගිනිකොණ මුහුදු තීරය දක්වා වූ මෙරට මුහුදු කලාපයේ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සහ වේග ප‍්‍රහාරක මුර යාත‍්‍රාවන් ගෙන් සමන්විත ආරක්ෂක වළල්ලක් ස්ථාපිත කොට මුර සංචාර සහ ආවේක්ෂණ රාජකාරිය තව තවත් දැඩි කිරීමට ද ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇත.

කොස්ගම සුජීගේ කෝටි 250ක කුඩු ඇල්ලූ නේවි මෙහෙයුම

ඒ වන විට මාෂි 03 නම් මෙම සැකකටයුතු බහු දින ධීවර යාත‍්‍රාව මෙරටට එපිටින් පිහිටි ගැඹුරු මුහුදු ප‍්‍රදේශයේ යාත‍්‍රා කරමින් තිබීම මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශ වෙත එල්ල වූ ප‍්‍රබල අභියෝගයක් බවට පත්ව ඇත. ඊට ප‍්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ සැකකටයුතු යාත‍්‍රාව ඒ වන විට යාත‍්‍රා කරමින් තිබූ මුහුදු කලාපය විශාල වපසරියකින් යුක්ත වීමත් එම මුහුදු කලාපය තුළ ඒ වන විට තවත් බහුදින ධීවර යාත‍්‍රා රැසක් ධීවර කටයුතුවල නිරත වීමත්ය. එය මෙහෙයුමේ නිරත නාවික හමුදාව මුහුණ දුන් ප‍්‍රධාන බාධාවක් බවට පත්වීමත් සමග ඒ සඳහා ගුවන් හමුදාවේ ද සහාය ලබා ගැනීමට නාවික හමුදාව විසින් තීරණය කොට ඇත. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් ආවේක්ෂණ යානාවක් මෙම මෙහෙයුම සඳහා එක් වන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව දිනෙන් දින මෙරට මුහුදු කලාපයේ ආරක්ෂාව තර කරන නාවික හමුදාව ප‍්‍රධාන අනෙකුත් ආරක්ෂක අංශ මුහුදෙන් හා ගුවනින් එකවර ක‍්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් යටතේ ආරක්ෂාව තව තවත් තර කරන අතර ඉකුත් අගෝස්තු මස 26 වන දින නාවික හමුදාවට අයත් උදාර, නන්දිමිත‍්‍ර, ශක්ති යන නෞකා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සාමාරක්ෂා යන නෞකාව ඇතුළත් නෞකා සමූහය ද මෙම මෙහෙයුම සඳහා එක් කර ගනු ලබන්නේ දින ගණනාවක් තිස්සේ මහ මුහුද මැද සිදුකරන ලද මෙම මෙහෙයුම වඩාත් සාර්ථක ලෙස නිමාවට පත් කර ගැනීමේ අරමුණින් යුක්තවය. දැඩි රැකවල් මැද සිදු කරමින් තිබුණු එම මෙහෙයුම් අතරතුර ඉකුත් අගෝස්තු මස තිස් වැනි දින රාජ්‍ය බුද්ධි සේවාව මගින් තවත් වැදගත්ම බුද්ධි තොරතුරක් තහවුරු කර ගන්නා අතර එම තොරතුර හරහා වාර්තා වී ඇත්තේ කිලෝ ග‍්‍රෑම් 290 කින් යුක්ත හෙරොයින් මත්කුඩු තොගය ”මාෂි 03” බහුදින ධීවර යාත‍්‍රාව මඟින් මෙරටට රැගෙන එන බවත් ඒ වන විට එම යාත‍්‍රාව ගාල්ලට මුහුදු සැතපුම් 820ක් දුරින් යාත‍්‍රා කරමින් පවතින බවත්ය. අනෙකුත් බුද්ධි සේවා මඟින් ද ඒ බව තහවුරු කිරීමෙන් අනතුරුව මෙහෙයුමෙ නිරත නාවික හමුදාව විසින් සැකකටයුතු බහුදින ධීවර යාත‍්‍රාව පරික්ෂා කර බැලීම පිණිස වේග ප‍්‍රහාරක යාත‍්‍රාවක් එම මුහුදු කලාපය වෙත පිටත් කර හරිනු ලබන්නේ ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සමත් විශේෂ පුහුණුවක් ලද භට කණ්ඩායමක් ද සහිතවය. එහෙත් ඒ වන විට පැවති කාලගුණික තත්ත්වයත් ගැඹුරු මුහුදේ පවතින රළු ස්වභාවයත් හේතුවෙන් සැකකටයුතු යාත‍්‍රාව තුළට ඇතුළු වීමට නාවුකයන්ට අවස්ථාව උදා වී නැත. ඒ අනුව සැක කටයුතු බහුදින ධීවර යාත‍්‍රාව නාවික හමුදා භාරයට ගෙන දැඩි ආරක්ෂාව මධ්‍යයේ බේරුවල වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

සැකකටයුතු යාත‍්‍රාව මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව මත් ද්‍රව්‍ය සෙවීම පිණිස සුවිශේෂී පුහුණුවලත් භට පිරිසක් විසින් යාත‍්‍රාව පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ධීවර යාත‍්‍රාවේ කුටීරයක් තුළ සූක්ෂම ආකාරයෙන් සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත් වී ඇත. උර 10 ක් තුළ පාර්සල් 295ක් ලෙස අසුරා තිබී ඇති මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290යි ග‍්‍රෑම් 200 සහ සැකකටයුතු ධීවර යාත‍්‍රාවේ ගමන්ගත් ධීවරයන් පස්දෙනා නාවික හමුදා භාරයට ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන පිණිස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත. මෙලෙස පොලිස් භාරයට ගත්ම මෙම බහුදින ධීවර යාත‍්‍රාව බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් එකක් බව මේ වන විට සිදුකර ඇති විමර්ශන හරහා තහවුරු වී ඇත. එම ධීවර යාත‍්‍රාව ජාත්‍යන්තර මුහුදු කලාපය තුළ දී විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ලබා ගන්නට ඇතැයි සැක කරන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 2321ට අධික වෙතැයි විශ්වාස කෙරේ. මේ අතර හෙරොයින් බවට සැකකරන කිලෝග‍්‍රෑම් 01ක බරකින් යුත් පාර්සලයක් අහුන්ගල්ල එගොඩමුල්ල වෙරළින් මෙරටට ගොඩ ගසා තිබියදී ඉකුත් 31 දා දහවල් සොයාගත් බවට අහුන්ගල්ල පොලීසිය විසින් තහවුරු කරන ලද පුවතකින් වාර්තා විය. පොලිසිය විසින් සැක කරන්නේ ඉකුත් 31 දා අලූයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මාෂි 03 නමැති බහුදින ධීවර යාත‍්‍රාවෙන් මෙය මුහුදට දමා ඇති බවටය.

මෙම මහා පරිමාණ මත්කුඩු ජාවාරම වැටලීමෙන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක කරනු ලබන්නේ මේ වන විට විදේශීය රටක සැඟව සිටින කොස්ගොඩ සුජි නමැති සංවිධානාත්මක අපරාධකරුවා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවන ලද එකක් බවටය. ඒ පිළිබඳව සහ මෙම කුඩු තොගය ගෙන්වීම පිටුපස ක‍්‍රියාත්මක මෙරට ඒජන්තයන් කවුරුන්ද යන්න පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ විසින් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරයි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment