කොස්තාපල්ට පහරදුන්  අය ස්ථානාධිපතිගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට

1049

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට හා පොලිස් පරීක්ෂකවරයකුට කැත්තකින් පහරදී බරපතළ තුවාල කළ පුද්ගලයකු මෙල්ල කිරීමට ගිය පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජීව අත්බෝම්බයකින් පහරදීමට උත්සාහ කිරීමේදී ස්ථානාධිපතිවරයා විසින් තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පිටිගල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ මානානහේන තල්ගස්පේ පදිංචි ප්‍රසන්න විජේවර්ධන (38) නැමති අයෙකි. මොහුට විරුද්ධව ඇති පැමිණිල්ලක් විභාග කිරීම සඳහා දිවා මුර සංචාරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 78812 කරුණාරත්න නිලධාරියා පසුගිය (23දා) දහවල් ඔහුගේ නිවසට ගොස් ඇත. පොලිස් නිලධාරියා විසින් පැමිණිල්ල සම්බන්ධ විමසීමේ දී මොහු පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැණවැදී නිවසේ තිබූ කැත්ත රැගෙනවිත් ඔහුට පහරදී ඇත. මොහු පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදියට ද පොලුවලින් පහරදී අලාභහානි සිදුකොට ඇත.

ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් ඉවත්කර ගෙන ඇත. මේ පිළිබඳ 1990 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශයට දැනුම් දී ඇත. පසුව පිටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එම ස්ථානයට පැමිණ ඇත. එම අවස්ථාවේ දී පොලිස් ස්ථානාධිපතිවරයා සමග පැමිණි පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතාට මොහු කැත්තෙන් පහරදී ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මොහු මෙල්ල කිරීමට දැඩි උත්සහයක් දරා ඇත. මොහුගෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා ප්ලාස්ටික් පුටු දෙකක් අල්ලා ඇති අතර ඔහු එම පටු දෙකට කැත්තෙන් පහරදී කපාදමා ඇත. මොහුගේ කැත්ත කැඩියෑමෙන් පසු පොලිස් නිලධාරීන්ට ජීව අත්බෝම්බයකින් පහරදීමට උත්සාහ කොට ඇති අතර එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සැකකරුගේ උදරයට වෙඩි තබා ඇත.

තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයෑමෙන් පසු පෙරේදා (23දා) රාත්‍රියේ මියගොස් ඇත. කැති ප්‍රහාරවලට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා හා පොලිස් පරීක්ෂකවරයා බරපතළ කැපුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. වෙඩිවැදීමෙන් මියගිය පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවකු හා අපචාර දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අයකු බවද පොලිසිය පවසයි. මෙකී සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිතුමා විසින් විමර්ශන සිදුකරණු ලැබේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, නියාගම – වින්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment