කොස්ලන්දේ මහ වැස්සෙන් කබරගල කන්ද කඩා හැලේ – නිවාස 24කට දැඩි හානි

59

ගෙවල් 3න් සහ වෙළෙඳසලක් සම්පූර්ණයෛන්ම වැනසිලා

කොස්ලන්ද ප්‍රදේශයට 19 වෙනිදා රාත්‍රී ඇදහැලු‍ණු මහා වර්ෂාවත් සමඟ මස්කෙළිය වැවිලි සමාගමට අයත් පූනාගල වතුයායේ කබරගල කොටසේ පස්කන්දක් නායයෑමෙන් නිවාස විසිහතරකට අලාභහානි සිදුවී ඇතැයි ලියන්ගහවෙල පොලීසිය පවසයි.

නිවාස තුනකට සහ වෙළෙඳසලකට පස්කන්දක් කඩාවැටීමෙන් සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී ඇති අතර තවත් නිවාස විස්සකට අර්ධ හානි සිදුවී ඇත.

මෙම නිවාස පේළියේ පවුල් හැටදෙකකට අයත් පුද්ගලයින් දෙසීය විසිදෙනෙකු පදිංචිව සිට ඇත.

අනතුරෙන් කාන්තාවන් තිදෙනෙකුට සහ පිරිමින් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඔවුන් දැනට කොස්ලන්ද දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පේළි නිවාස වල පදිංචිව සිටි පුද්ගලයින් දෙසීය විසිදෙනෙකු අවතැන්වී සිටින අතර ඔවුන් අංක 03 දෙමළ විද්‍යාලයේ තාවකාලිකව පදිංචිකරවා ඇත.

ඔවුන්ට අවශ්‍ය ආහාරපානාදිය සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු යොදා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසීය.

සිද්ධිය සැලවූ වහාම පොලීසිය සහ යුදහමුදා නිලධාරීන් පැමිණ විපතට පත්වූවන් මුදවාගැනීමට කටයුතු කළ අතර ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද ඊට ලැබුණු බව සඳහන් කළ සහකාර අධ්‍යක්ෂකවරයා ඉදිරියේදී හානිවූ නිවාස ඉදිකරදීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක සහ බණ්ඩාරවෙල කරුණාරත්න පල්ලේගම, බදුල්ල එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment