කොසු පහර කෑ පුතා මියයෑම: විත්තිකාර පියාට වසර දෙකක් හිරේ

364

පාඩම් කරන ලෙස පවසා කොසු මිටෙන් පහරදී තම පුතා ඝාතනය කිරීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකාර පියෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය වසර දෙකක සිර දඬුවම් සහ රුපියල් විසිපන්දහසක දඩයක්ද, වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ ගිණුමට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක්ද ගෙවන ලෙසට නියම කොට සිරදඬුවම වසර දහයකට අත් හිටුවනු ලැබුවාය.

දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක්ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක්ද නියම විය. මෙසේ දඬුවම් නියම වූයේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්තේ සුරවීර ආරච්චිගේ රාජ් කුමාර නමැති 50 හැවිරිදි විත්තිකරුවකුටය.

ගාල්ල පොලිස් වසමේ මහමෝදර සියඹලාගහ වත්තේදී 2021 සැප්තැම්බර් 29 දා තම පුතා වූ සුරවීර ආරච්චිගේ

ගිම්හාන් විමුක්ති (16) යන අයට කොසු මිටකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබුණි.

ඔහු නිතර පරිගණකයේ සහ අන්තර්ජාලයේ රැඳි සිටින බවත්, එදින නිවාඩු දිනයක් බැවින් නිවසේ සිටියදී පාඩම් කරන ලෙස බැණ වැදී ඇති බවත් පසුව ඇතිවූ බහින්බස් වීමකදී විත්තිකරු නිවසේ කාමරයේ තිබූ කොසු මිටෙන් හිසට පහරදී ඇති බවත්, පහර කෑ සිසුවා සිහිසුන්ව බිම වාඩිවී කටින් සෙම පෙරමින් සිටියදී කරාපිටිය රෝහලට ඇතුලු කර ඇත. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් නඩුවේදී අනාවරණය විය.

විත්තිකරුගේ නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයා කිසිසේත්ම මිනී මැරීමේ චේතනාවකින් තම පුතාට පහර නොදුන් අතර සිදුවූ වරද පිළිගන්නා බවය. ඉදිරිපත්වූ සියලු කරුණු සැළකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරු මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කොට දඬුවම් නියම කළාය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඈපා අරුණ ශාන්ත මහතා පෙනී සිටි අතර ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන් චන්ද්‍රසේන (6387) මහතා රජයේ නීතිඥවරිය සමග පැමිණිල්ලට සහාය විය.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment