කොහු මිටි ප්‍රින්සි-පල්  ඉන්ටර්ඩික් නොකරන්නේ ඇයි?

949

නුවරඑලියේ අධ්‍යාපන කාර්යාලයට අයත් කොටගල බෝගහ වත්තේ පාසලක ඉගෙනගන්නා උසස් පෙළ සිසුවියකට ප්‍රින්සිපල් සර් විසින් කොසු මිටකින් පහර දී ඇති බවත් තුවාල ලැබූ දැරිය රෝහලට ඇතුළත් කර ඇති බවත් දැනගන්නට තිබේ. පාසලේ පැවැත්වෙන ගුරු උපහාර උළෙලකට රුපියල් 300 ක් දීමට දැරියගේ බාල සහෝදරයාට නොහැකි විය. ආරංචියේ හැටියට ප්‍රින්සිපල් සර් එම ශිෂ්‍යයාට කුණුහරුපයෙන් බනින්නට පටන්ගෙන ඇත. දැරිය එයට විරුද්ධ විය. කොසු මිටි කේස් එක පටන් ගන්නේ එතැනිනි. සිද්ධියට සම්බන්ධ ප්‍රින්සිපල් සර් දැනටමත් විදුහලෙන් මාරුකර අධ්‍යාපන කාර්යාලයකට අනුයුක්ත කර තිබේ. සාමාන්‍යයෙන් පොලිස් රාළහාමි කෙනෙක් ප්ලේන්ටියක් සහ බනිස් ගෙඩියක් පගාව වශයෙන් ගත්කල මුලින්ම කරන්නේ ඔහුගේ වැඩ තහනම් කිරීමය. ඉන්පසු අල්ලස් පනත යටතේ මෙකී රජයේ සේවකයා රිමාන්ඩ් කළ හැකිය. උප්පැන්න සහතිකයක සහතික කොපියක් ගැනීමට කච්චේරියට එන ගැමියකුගෙන් බුලත් විටක් පගාව ලෙස ගන්නා කාර්යාල කාර්ය සහයකයාගේ වැඩ තහනම් කරනු ලැබේ. අල්ලස් පනත ක්‍රියාත්මක වුවහොත් ඔහුටද ඇප නැතිවම සෑහෙන කලක් මහ උළු ගෙදර ලැගිය හැකිය. එහෙත් බාල වයස්කාර දැරියකට පාසල් කාලය තුළදී කොසු මිටකින් පහරදෙන ප්‍රින්සිපල්ගේ වැඩ තහනම් නොකරන්නේ ඇයි? ඔහු ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත වී ඇති බව සාක්ෂි සහිතව හෙළිවන්නේ නම් රිමාන්ඩ් නොකරන්නේ ඇයි? මේවා පෘතග්ජනයන් ලෙස අපගේ හිතට නැගෙන සංකීර්ණ ප්‍රශ්න බව සියලු දෙනාම මතක තබාගත යුතුය. කොසුමිටි ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් ළඟදීම පටන් ගන්නවා ඇත. මේ සිද්ධිය පල් බොරුවක් බව එහිදී ඔප්පු වීමට ඉඩ තිබේ. එහෙත් ඒ වනතුරු ප්‍රින්සි – පල් මහත්තයා සැකකරුවෙකි. මේ සිද්ධිය ඇත්තක් හෝ බොරුවක් ලෙස අප විසින් අර්ථකථනය නොකෙරේ. අප තවමත් මේ කාරණය සම්බන්ධයෙන් සිටින්නේ නිරීක්ෂණ මට්ටමේය. කෙසේ වුවද පාසල් දරුවන්ට ගුරුවරුන් විසින් පහරදෙනු ලැබීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කරගනිමු.

 ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතීතයේ සිටම පාසල් දරුවන්ට තඩිබාන්නේ ගොවි මහතා විසින් කුඹුරේ මී හරකාට තඩිබාන ලෙසය. මෙහිදී මී හරකාගේම තත්ත්වයට ගොවි මහතාත් පත්වෙයි. තිරිසන් සතුන්ට තඩිබාන්නෝ හොඳ මොළයක් නැති අධම, නීච, කෲර මිනිස්සුය. ළමයින්ට තඩිබාන්නෝද එසේම වන බව අපගේ වැටහීමය. වැඩිහිටියකු විසින් ළමයකුට තඩිබාන්නේ ඇයි? ගුරුතුමා කියන්නේ දරුවා හදාගැනීම සඳහා ඔහුට හෝ ඇයට පහරදෙන බවය. දෙමාපියන් කියන්නේ දරුවාට තමන් තුළ ඇති ආදරය නිසා එම දරුවා හෝ දැරිය සමාජයට ප්‍රයෝජනවත් වැදගත් පුරවැසියකු කිරීම සඳහා පහරදෙන බවය. මෙය නොම්මර එකේ ගොන් කතාවකි. වැඩිහිටියකු විසින් ළමයකුට පහරදෙනු ලබන්නේ පෙරලා පහරදීමේ ශක්තිය ඒ දරුවාට නැති නිසාය. එය තනිකරම කෝපය මූලික කරගත් පහරදීමකි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ගුරුවරු හිතුමතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර දෙති. බොරළු පොළවේ දණගස්වා තබති. ගිනි අව්වේ සිටුවා තබති. මෙවැනි කායික අඩන්තේට්ටම් වලට ප්‍රසිද්ධියේ ලක් කිරීමෙන් පසු ළමයා මරු සිරා හෝ පොඩි විජේ වීම සඳහා ගමනක් පටන් ගනී. ඇතැම් ගුරුවරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුටු කකුල්වලින් පහර දෙති. ඇතැම් ටියුෂන් ගුරාලා තරුණ ශිෂ්‍යාවන්ට ප්‍රසිද්ධියේම කුණුහරුප කියමින් බැණ වදිති. ගුරුවරුන් විසින් පහරදෙනු ලැබ තුවාල ලද දූ දරුවන් ගැන අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. ළමයා යනු පහරදී හා අපහාසයට ලක්කර ගොඩනැගිය හැකි චරිතයක් නොවන බව මනෝ විද්‍යාඥයන් සහ අධ්‍යාපනවේදීන් විසින් හඳුනාගනු ලැබ මේ වන විට අඩසියවසක් පමණ ගතවී තිබේ. ඉතාම කෲර ලෙස ශ්‍රී ලංකාව පාලනය කළ බි්‍රතාන්‍ය ආණ්ඩුව පවා පාසල් දරුවන්ට දඬුවම් කිරීමේදී අනුගමනය කළ යුතු සීමාවන් ගැන නීති පනවා තිබිණැයි දැනගන්නට තිබේ. උදාහරණයක් වශයෙන් ළමයාට දඬුවම් කිරීම සඳහා යොදාගත හැක්කේ වේවැලක් පමණි. එය අඩි තුනකට වඩා දිගු නොවිය යුතු අතර අඟල් භාගයකට අඩු විශ්කම්භයක් සහිත විය යුතුය. සිසුවාට දඬුවම් කළ හැක්කේ ප්‍රසිද්ධියේ නොවේ. එසේම සිසුවාට දඬුවම් කිරීම සඳහා උප ගුරුවරයකු නොවන පුහුණු ගුරුවරයකු හෝ විදුහල්පති නම් කිරීමට විදුහල්පතිට පුළුවන. නොඑසේ නම් එම දඬුවම දීම සඳහා විදුහල්පතිට හෝ නියෝජ්‍ය විදුහල්පතිට බලය තිබේ. පහරදිය හැක්කේ ළමයාගේ තට්ටම් ප්‍රදේශයට පමණි. ඔළුවට, පිටට පහරදීම තහනම්ය. පහර දීමේදී වේවැල අංශක 90 ට වඩා ඉහළට එසවීම තහනම්ය. දිය හැකි උපරිම වේවැල් පහර ගණන තුනකි. ඉන්පසු දඬුවම් ලැබූ ළමයාගේ නම ඔහු කළ වරද සහ දුන් දඬුවම ගැන ලොග් පොතේ සටහන් කළ යුතුය. මේ නීති රීති අද තිබෙනවාදැයි අපි නොදනිමු. සමහරවිට මේ නීතිය කවදාවත් නොතිබෙන්නටත් ඇත. මෙය අපට ලැබුණු ඉතිහාසගත තොරතුරක් පමණි. හැබැයි ළමයකුට පුටු කකුලකින්, අඩි රූලක දාරය පැත්තෙන්, කොසු මිටකින්, පයින් හෝ අතින් පහරදීමට වඩා මේ දඬුවම මානුෂික සහ විධිමත් දඬුවමක් බව අපගේ වැටහීමය. ශීලාචාර රටක් මරණ දණ්ඩනය වුව ක්‍රියාත්මක කරන්නේ ශිෂ්ට සම්පන්න ලෙසය. ශිෂ්ට රටවල් ස්වකීය දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන ශිෂ්ට ක්‍රම යටතේ අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දෙති. එක්කෝ එල්ලා මරති. නැත්නම් වෙඩි තබා මරති. ශිෂ්ටාචාරයෙන් ඔබ්බෙහි පිහිටි අශිෂ්ට රටවල් අපරාධකරුවන්ට ගල් වලින් ගසා මරති. ශ්‍රී ලංකාවට තව දුරටත් මරු සිරාලා හෝ බැද්දගානේ සංජීවලා හෝ කඩුවෙල වසන්තාලගෙන් වැඩක් නැත. ශිෂ්ට සම්පන්න දරු පරපුරක් තුළින් උසස් සමජයක් බිහි කිරීමේදී ගුරුවරුන්ට සැපයිය හැකි දායකත්වය අති මහත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment