මහින්දාගමනයත්, ඉනික්බිතිව සිදුවූ සිංහල සංස්කෘතියේ පුනරුත්පත්තියත් පිළිබඳ විවිධ ආවර්ජනයන් සමග මේ සතිය ගෙවී ගියේය.

මහින්දාගමනය සිදුවී වසර 2331ක් ගතවී තිබුණත් එමගින් ඇති කළ ජාතික සමාජ දේශපාලන වෙනස හා ප්‍රබෝධය පිළිබඳව අපට ද විවිධ කියවීම් තිබේ. බුදුන්වහන්සේ විසින් අනුදැන වදාරණ ලද සමානාත්මතාව, නීතියේ සාධාරණත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පදනම මත පිහිටවූ සංඝ සංස්ථාව මෙරටේ රාජ්‍යත්වය විසින් ද පිළිගන්නා ලද්දකි. බෞද්ධ සම්ප්‍රදායට අයත් ඉගැන්වීම් හා වටිනා මූලධර්ම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවීම ගැන පාලකයන් තුළ උනන්දුවක් නැති බවද රහසක් නොවේ. එහෙත් එබඳු අවධාරණයන් බොහෝ විට වෙසක් හා පොසොන් වැනි සුවිශේෂ අවස්ථා වෙනුවෙන් කෙරෙන නිවේදනවලින් දැක ගත හැකිය. බොහෝ දේ උපුටා දැක්විය හැකි වුවද එයට මෙහිදී අවකාශ නැත. එසේ වුවද බුදුසමය පිළිබඳ අවධානය යොමු කළ සමාජ විද්‍යාඥයන් බහුතර සංඛ්‍යාවකගේ විමර්ශනයට ලක්වූ කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය සම්බන්ධයෙන් වර්තමානයට අදාළ බොහෝ දේ දැකගත හැකිය. දේශපාලනය බලය පිළිබඳ විද්‍යාවක් බව ක්‍රි.පූ. සිව්වන සියවස තරම් ඈත යුගයකදී ඉන්දියාවේ චන්ද්‍රගුප්ත රජුට පෙන්වා දෙන ලද්දේත් කෞටිල්‍ය විසින් බව ලාංකික විද්වතකුවූ මහාචාර්ය කේ. එන්. ජයතිලකයෝද සඳහන් කරති.

දේශපාලන විද්‍යාවෙහි, පාරිශුද්ධ භාවය බලය නිසා කිළිටි වන ආකාරයත්, එහි රුදුරු විලාසයත් මෙසේ දැක්වේ. එය ධර්මයට විරුද්ධ බව පෙනේ. එහි යුක්තියටද ඉඩක් නැත.

“ඔබ සෙවණ සහිත ගස් ප්‍රයෝජනයට ගන්නාක් මෙන් මිනිසුන්ද උපයෝගී කරගත යුතුය. යම්තාක් දුරට ඔවුන් ඔබට අවශ්‍ය වන්නේ ද ඒ තාක් පමණක් ඔවුන්ට කෘතඥතාව දැක්වීමෙන් ඔබගේ කීර්තිය පැතිර වීමට ඔබ උත්සාහ ගත යුතුය. යාගයට සතුන් යොදා ගන්නාක් මෙන් ඔබ මිනිසුන් ඒ ඒ කටයුතුවලට සුදුසු පරිදි පත් කළ යුතුය.”

බුදුසමයෙහි කිසිවිටෙක කෞටිල්‍යගේ මෙබඳු අදහස් අනුමත කර නැත. බෞද්ධ දේශපාලන දර්ශනය සදාචාර මූලධර්ම මත පදනම් වූවක් බවද ජයතිලක සූරීහු දක්වති. බෞද්ධ සංකල්පය අනුව රට වැසියන් භෞතික හා ආධ්‍යාත්මික සුබ සිද්ධිය සඳහා කටයුතු කළ යුත්තේ ධාර්මිකත්වය මත පදනම්වය. නොඉපයූ ධනය උපයා ගැනීම හා ඉපයූ ධනය සුරැකීමට රජු (පාලකයා) අනුග්‍රහය දැක්විය යුතු බවද දැක්වේ. නීතියේ ආධිපත්‍ය ප්‍රශ්න කිරීමට බුදු සමය ඉඩ ලබා දී ඇති බවත් නීති පැනවීමේ හේතුව, අභිමතාර්ථය මෙන්ම ඒ නීති කාගේද යන කරුණු පිරිසිඳ දැනගත යුතු බවත් එහිලා අවධාරණය කෙරේ. පුද්ගලයකුගේ හෘදය සාක්ෂිය ඇතැම් විටෙක වැරදි සහගත වුවත් එය සත්‍යය වටහා ගැනීමේ ශක්තියෙන් යුතු නිසා ඒ අනුව ක්‍රියා කිරීමට බුදු සමය යෝජනා කරයි. විචාර බුද්ධිය පාලකයා සතු ප්‍රබලම අවිය බවද එහි දැක්වේ. බෞද්ධ අධිරාජ්‍යයකු ලෙස සුප්‍රකටවූ අශෝකගේ සුබසාධන පිළිවෙත මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආචාර ධාර්මික දේශපාලනය මෙරටේ පාලකයන්ට දුන් පණිවිඩය වේ. රාජ්‍යයේ පරමාධිපත්‍යය යනු ජනතාවගේ කැමැත්ත ද වේ. එනිසා ඒ ජනතාවගේ යහපතට රජු (පාලකයා) කැප විය යුතු වේ. නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් කිසිවෙකුට බුදු සමය අනුමත කළ සධාර්මික පිළිවෙතට පටහැනි විය නොහැකිය. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශන (1948) සහ ඒවායේ හරය බුදුසමය විසින් පිළිගනු ලැබ ඇත.

කොහේ අපි යමුද නොම තේරේ!

බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් වූ (1948) දින පටන් මෙරටේ පාලනය හිමිකරගත් ස්වදේශීය ප්‍රභූ පන්තිය බොහෝ විට පරමාදර්ශ ප්‍රතිපත්ති රාමුව සකසා ගත්තේ බටහිර නූතන ප්‍රජාතන්ත්‍රවාදය දෙස බලමින්ය. එසේ වුවද ඒ පාලකයන්ගෙන් පැවත එන සියල්ලන්ටම තම අතීත ශිෂ්ටාචාරය දෙස ආපසු හැරී බැලීමටත්, ස්වාධීනව නැගී සිටීමටත් බාධාවක් නැත. වරක් ජගත් කීර්තියට පත් ඉන්දියාවේ අගමැතිවරයකුවූ ජවහර්ලාල් නේරු ප්‍රකාශ කළේ බෞද්ධ දෘෂ්ටි කෝණය නූතනවාදීන්ට වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි බවය.

මේ සියලු කරුණු ඔස්සේ අපට පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් සමාජ – ආර්ථික හා දේශපාලන සංවාද තුළට පිවිසීමට හොඳ කවුළුවක් විවර කර දෙයි. මේ වනවිට ඒ ඒ ක්ෂේත්‍රවලට අමතරව නීතිය පිළිබඳ ප්‍රාමාණිකයන්, සිවිල් සංවිධාන හා වෙනත් සමාජ ක්‍රියාකාරී පුද්ගලයන් විසින් ද අවධානය යොමු කර තිබෙන කරුණු කීපයක්ම ඇත. ඒවා අතර විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන කේන්ද්‍රීය මෙන්ම ප්‍රබල ආයතන මැදිවී සිටින ගැටලුවක්ද වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත්
18 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටීම අතිශය විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතට ලබාදෙන ලද තීන්දුව ජනාධිපතිවරයාගේ අභියෝගයට ලක්ව ඇත. ඔහු යෝජනා කළේ එම තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් බහුතරයක් සිටින තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවය. මෙම තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව සතු බලය ආක්‍රමණය කර ඇති බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව පෙනේ. එහෙත් විපක්ෂයේ විමල් වීරවංශ, ඇම්. ඒ. සුමන්තිරන්, චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම ආදීන් මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද එයට එකඟ නොවූහ. ඒ හැම කෙනෙකුගේම අදහස්වල හරය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීම අනුචිත බවය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදීත් විවිධ අදහස් දැක්වීම සිදුවිය. ජා.ජ.බයේ හරිනි මන්ත්‍රීවරිය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ කුඩා කණ්ඩායමක් විසින් කරනු ලබන පනත් කෙටුම්පත් අද රටම අර්බුදයකට රැගෙන යන බවය. ජා.ජ.බ නීතිඥයෝ ද මාධ්‍ය හමුවක් කැඳවා ජනාධිපතිගේ ප්‍රතිචාරයට විරෝධය දැක්වූහ.

ජනාධිපති රනිල්ට පෙර සිටි ජේ. ආර්. ජයවර්ධන මෙන්ම මහින්ද රාජපක්ෂ යන අය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධ ගැටුම් ඇති කරගත් බව ප්‍රකට රහසකි. ජයවර්ධන අපේක්ෂා කළ තීන්දු නොලැබීම ඔහුගේ කෝපයට හේතු විය. එදා විනිසුරුවන්ගේ නිවෙස්වලට ගල් ගැසීම් පවා සිදුවිය. ඒ ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කළ හානිය දැන දැනම මහින්ද රාජපක්ෂ ද අගවිනිසුරුවරියක්ව සිටි ශිරානි බණ්ඩාරනායක සමග ගැටුමකට යොමුවිය. එහි ප්‍රතිඵලය වූයේ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට ගෙදර යෑමට සිදුවීමය. රාජපක්ෂ විරෝධය අබියස ඇයට අත්විඳීමට සිදුවූ සියල්ල හෙළි කරමින් “උත්තරීතර – දෝෂාභියෝගයේ ඇතුළාන්තය” නමින් කෘතියක් ද ඇය එළිදක්වා තිබේ. පුදුමයකට මෙන් මේ සියල්ල දන්නා ජනාධිපති රනිල්ට ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රශ්නයක් වී තිබේ. අධිකරණය යනු සාමාන්‍ය ජනතාව විසින් ද යුක්තියේ දෙවොල ලෙස හඳුන්වනු ලබන ආයතනයකි. එබඳු ගෞරවනීය මෙහෙවරක නිරතව සිටින ඉහළම අධිකරණය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයකු දක්වන ප්‍රතිචාර කිසිවෙකුට නොතකා සිටිය නොහැක. එහිදී ජනාධිපති රනිල් විසින් යොදා ගන්නා ලද භාෂා ප්‍රයෝග ගැන ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. අධිකරණ ඇමැති විජයදාසට අනුව ඒවා පාරිභාෂික යෙදුම්ය. කුමක් වුවත් ඒවා සම්බන්ධයෙන් අපි ප්‍රශ්න නොකරමු.

මෙහි අප දකින එකම දෙය රටේ කේන්ද්‍රීය ආයතන තුන ලෙස පිළිගත් ව්‍යවස්ථාදායක – විධායක – අධිකරණ යන කුලුනු ත්‍රිත්වය සම්බන්ධයෙන් ප්‍රබුද්ධ පුරවැසියන් මෙන්ම පොදු ජනතාව තුළ ද ඇතිවන කම්පනය හා තිගැස්මය. මෙම කම්පනය තවත් වර්ධනය වූයේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මෙන්ම මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ද පාර්ලිමේන්තුවේදීම (19) කරන ලද සුවිශේෂ අනාවරණයන් කීපයක් නිසාය. මෙරටේ ඇතැම් විනිසුරුවන්ගේ මෙන්ම පළමු පෙළ නීතිඥයන්ගේ චර්යාවන් ගැන ද එහිදී සවිස්තරව දැක්විණි. සාමාන්‍යයෙන් සමාජයේ සිදුවන අනිසි ලෙස විදුලිය හා ජලය ලබාගැනීම් මෙන්ම නඩු භාණ්ඩ අතුරුදන්වීම ගැන ද දැක්වූ කරුණු ඇදහිය නොහැකි තරම් ය. ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන පාර්ලිමේන්තු විවාද නරඹන – අසන ප්‍රේක්ෂකයන් තුළ ඒවායින් ඇතිවූ මනෝභාවයන් කෙබඳු දැයි අපි නොදනිමු. එහෙත් ඒ දුටු අප තුළ ඇතිවූ විස්මය, සංවේගය මෙන්ම – මේ අපේ රට තුළ එහි ඉහළම ආයතන තුළ සිදුවන දේවල්දැයි යන සිතිවිලි ධාරාව නම් දරාගත නොහැකි විය. ඇත්තටම කොහේ අපි යමුද නොම තේරේ යන පැරණි ගීතයේ පදවැල් දෙසවන් තුළ ද රැව් දෙන්නට විය. කෙසේ වුවද ජනාධිපති රනිල්ගේ විවේචනයට ලක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වෙත අප අවධානය යොමු කරමු. එමගින් ජනාධිපතිවරයා කරනු ලබන අනාවරණයන් කෙබඳු ද යන්නත් විමසා බැලීම වටී.

ජනාධිපති රනිල් අවධාරණය කරන පරිදිම මේ රටේ කාන්තාවන්ට සහ අයිතිය ලබාදීමට කිසිවකුට විරුද්ධ විය නොහැකි බව අපිදු එකහෙළා පිළිගනිමු. එසේ වුවද මෙරටේ කාන්තා හිමිකම් සම්බන්ධයෙන් සාධාරණ විවේචන තිබෙන බවද කිව යුතුය. පුරුෂාධිපත්‍ය යන්න මෙරටේ කිසිවෙක් අනුමත නොකරති. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලූ අනුලා දේවිය ඒ ඉල්ලීම දිනා ගත්තේද සියුම් අරගලයකින් බව පෙනේ. මහින්දාගමනයෙන් පසු මෙරට සිදුවූ කේන්ද්‍රීය සිදුවීම් දෙකක් වන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රැගෙන එන ලද්දේ මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය විසිනි. මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර තිබෙන දළදා වහන්සේ සිය කෙස්වැටියෙහි රඳවා ගෙන එන ලද්දේ හේමමාලා හා දන්ත කුමරුන් බවද ඉතිහාසයේ ලියැවී තිබේ. එවන් කාන්තා චරිත මෙන්ම රට වෙනුවෙන් මුහුදට බිලිවීමට තරම් අභීත වූ විහාර මහා දේවි වැනි අභිමානවත් ස්ත්‍රීහුද මෙරටේ වූහ. එසේම අපේ පූජාස්ථානවල කාන්තාවන් සඳහා පැනවූ තහංචිද තිබේ. එසේම මෙරටේ බෞද්ධ ඉතිහාසයේ වැඩිපුරම සඳහන් වන්නේ බුද්ධකාලීනව ජීවත් වූ විවිධ කාන්තාවන් පිළිබඳවය. අප මේ සියල්ල සිහිපත් කළේ මෙරටේ ද කාන්තාවට නිසි බුහුමන් හිමි විය යුතු බව තහවුරු කිරීමටය. එනිසා කාන්තාවන් සවිබල ගැන්වීම, ඔවුන්ට සමානත්මතාවෙන් සැලකීම යන කාරණවලදී කිසිවෙකුට විරුද්ධ විය නොහැකිය. එහෙත් කාන්තාවන්ට නිසි වටිනාකමක් ගෞරවයක් ලබාදීම හදිසි කටයුත්තක් හෝ ප්‍රශ්නකාරී අවුලක් කරගත යුතු නැත. සමහරුන් ඒ පනත් කෙටුම්පත දෙස බැලුවේ සැකමුසුව බවද සඳහන් කළ යුතුය.

කොහේ අපි යමුද නොම තේරේ!

මේ අතර ජනාධිපතිවරයා මැදිවී සිටින තවත් ප්‍රශ්නයක් පිළිබඳව ද වාර්තා විය. ඒ වත්මන් නීතිපති සංජේ රාජරත්නම්ගේ සේවා කාලය හය මසකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කර තිබුණු නිර්දේශය ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමය. ජනාධිපතිවරයා එබඳු යෝජනාවක් කිරීම පිළිබඳව සමාජ දේශපාලන අංශවල විවේචනයක්ද තිබුණි. නීතිය පිළිබඳ ප්‍රාමාණිකයකුද වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා පවසා තිබුණේ නීතිපති සේවා දිගුව ප්‍රතික්ෂේප වීම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලැබූ විශිෂ්ට ජයක් ලෙසය. ඔහුගේ අවධාරණය වූයේ ඉතිහාසයේ කිසිදිනක නීතිපති තනතුර සඳහා සේවා දිගුවක් ලබාදී නොමැති බවය. ඔහුට අනුව ජනාධිපතිවරණයක් ආසන්නයේදී එබඳු සේවා දිගුවක් ලබාදීමට පෙළඹීම ප්‍රශ්නගත කරුණක් බවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයට අමතරව මේ සම්බන්ධයෙන් ප්‍රබල විවේචනාත්මක විමර්ශනයක් කර තිබුණේ සියත ටෙලිවැකිය ලියන හේමන්ත මාවලගේය. ඒ ඉකුත් 19 වැනිදාය. ඔහු එහිදී ජනතා පරමාධිපත්‍ය මෙන්ම වත්මන් දේශපාලනයේ විකෘති ස්වභාවයද අවධාරණය කර තිබුණි. ෆෙඩරලීස් පේබර්ස් (The Federalist Pabers) උපුටා දක්වමින් සියලුදෙනා දේව දූතයන් නොවන බවත් මිනිසුන් තුළ වැරදි අදහස් ඇතිවිය හැකි බවත් බලකාමය, ආත්මාර්ථය වැනි දුබලතා එයට හේතු විය හැකි බවත් ඔහුගේ ටෙලි වැකියෙහි හරය විය. ඇත්තටම රටකට නීතිරීති වුවමනා වන්නේද එහි ජීවත්වන්නේ සාමාන්‍ය මිනිසුන් නිසාමය. තෘෂ්ණාව, ලෝභය, අන් අයට ගැරහීම වැනි පුහුදුන් දුබලතා මිනිසත් බවට උරුම දේවල්ය. කිසිදු පාලන ක්‍රමයක් දිව්‍යමය ස්වභාවයක් නොගන්නා බව බුදුහු වදාළහ. උන්වහන්සේගේ ඇගැයුමට ලක්වූ වජ්ජීන්ගේ පාලනය තුළ සමඟියෙන් රැස්වීම, සමඟියෙන් විසිර යාම, යුක්තිය හා සාධාරණය ගරු කිරීම, කාන්තාවන්ට ගරු කිරීම, නීතිය සුරැකීම ඇතුළු චර්යාධර්ම, මානව වටිනාකම් ආදිය දැකගත හැකි විය.

මේ අතර ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් බිය වීමට හේතුවක් නැති බවත් එයට ජනතාවගේ නිවාසවලින් 90%ක් අදාළ නැති බවත් ජනාධිපති රනිල්ම ප්‍රකාශ කර තිබේ. ඇත්ත වශයෙන්ම වර්තමාන බදු ප්‍රතිපත්තියද බොහෝ පිරිස්වල විවේචනයට ලක්වූවකි. ආණ්ඩුව හිත්පිත් නැතිව ජනතාව පීඩාවට පත් කරන බවට දැඩි චෝදනාවක්ද තිබේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වන බරපතළ විවේචනයක්ද ඇත. ඒ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට කෝටි ලක්ෂයක බදු සහන ලබාදී ඇති බවය.

ලංකාවේ බහු ප්‍රතිපත්තිය නිසා දුප්පත් ජන කොටස් අතර පීඩනය මෙන්ම දුගීභාවය වර්ධනය වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සිය 56 වැනි සැසිවාරයේදීත් අවධාරණය කර තිබුණි. ඔවුන්ගේ විවේචනය වූයේ තව වසර කීපයක්ම එහි විපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවය. කුමක් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෙරෙන බලපෑම් ගැනද වෙනත් ආර්ථික විශේෂඥයන්ගේද අවධානය යොමුව තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය එවැන්නකි.

මේ සියලු කැළඹීම් දේශපාලන ගැටුම් ආදිය නිසා දවසින් දවස ජනතාව පත්වන පීඩාකාරී තත්ත්වයද සුළුපටු නොවේ. ඒ මොනවා වුවත් ඒ සියල්ලට උඩින් පැනයමින් කෙරෙන බල අරගලයක්ද ඇත. ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටද ඇත්තේ මසකටත් වඩා අඩු කාලයකි. එසේ ජනාධිපතිවරණය ආසන්නව තිබෙන පසුබිමක ආණ්ඩුව විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගැනීමද විවාදයට තුඩු දී තිබේ. රුපියල් මිලියන 8750ක් ඡන්ද ප්‍රචාරක වැඩට යොදා ගැනීම මෙහි අපේක්ෂාව බව විපක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි. විවිධ ව්‍යාපෘති සඳහා අය-වැයෙන් වෙන්කළ මුදල් මෙසේ ලබාගැනීමට සූදානම් වන බවද ඔහු පවසා තිබේ.

ජනාධිපතිවරණ උණුසුම මෙසේ නැඟෙද්දී ශ්‍රීලනිපයේ අර්බුදය ගැනද විවිධ විග්‍රහ ඇසෙයි. විශේෂයෙන් දැනට ශ්‍රීලනිපය තමන්ගේ පාර්ශවයට හිමිව ඇතැයි නිමල් සිරිපාල හා අමරවීරලා පවසද්දී එහි හිටපු සභාපති මෛත්‍රිපාල කියන්නේ පක්ෂයේ හිමිකාරත්වය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අනුව ලබාගත යුතු බවය. එහෙත් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාලත් එහි ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායකත් පත්ව සිටිතියි ඔවුහු නිවේදනය කරති.

මේ අතර මේ ආණ්ඩුවටත් විශේෂයෙන් ජනාධිපති රනිල්ගේ පාලනයටත් එරෙහිව සර්වජන බලය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමද තවත් සුවිශේෂ සිදුවීමක් විය. රාජපක්ෂවරුන් උදෙසා අප්‍රමාණව කැපවූ විමල්, උදය මෙන්ම දිලිත් ද එහි සිටියහ. කොමියුනිස්ට් පක්ෂයද එයට එක්ව ඇත. මේ වනවිට ජනාධිපති රනිල්ට පක්ෂව මෙන්ම විපක්ෂවද සන්ධාන ගොඩනැඟුණත් ඔහු සමග සිටින පොදුජන පෙරමුණේ දේශපාලන ස්ථාවරය කුමක්ද යන්න නම් පැහැදිලි වී නැත. එම පක්ෂයේ මහ ලේකම් පසුගිය දිනක යළිත් අවධාරණය කළේ තම පක්ෂය කිසිසේත් මැතිවරණ කල්දැමීමට එකඟ නොවන බවය. එහෙත් එජාප සභාපති තවමත් පවසන්නේ මෙරටේ ජනතාවගේ අභිමතය පරිදි රනිල්ට ජනාධිපති ධුරයේ තවත් වසර 10ක් වුවද කටයුතු කළ හැකි බවය. ඇත්තටම අපට යළිත් සිහිවන්නේ කොහේ අපි යමුද නොම තේරේ යන ගී පදයයි.

advertistmentadvertistment
advertistmentadvertistment