කොහොමද දූෂණයක මහිම!

733

මීට දින කිහිපයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතිය අමතා කරන ලද කතාවේ අඩංගු වැදගත් කාරණයක් ගැන අද සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු. එම කාරණය වූකලී දූෂණය මැඬලීමය. දූෂණය පිටුදැකීම සඳහා විශේෂ කාර්ය සාධන බළකායක් ගොඩනගන බව ජනාධිපතිතුමා පවසා තිබේ. දැනට තිබෙන තත්ත්වයට අනුව මේ කාර්ය සාධන බළකාය එක්කෝ යුද හමුදාව තරම් විශාල විය යුතුය. නැත්නම් අති විශාල බලයක් සහිත කුඩා පරමාණු බෝම්බයක් සේ විය යුතුය. රාජ්‍ය දූෂණය හැම රටකම තිබේ. එහෙත් එය එකම වෘත්තීය කරගත් දේශපාලනඥයන් සහ නිලධාරීන් ලෝකයේ කිසිම රටක නැත. දූෂණයෙන් පමණක්ම ජීවත්වන දේශපාලනඥයෝද නිලධාරීහුද ලංකාවේ සිටිති. ඔවුන් විශ්‍රාම ගිය පසු ජීවත්වන්නේද දූෂණයෙන් උපයාගත් මුදල් වලිනි. මේ අංශයෙන් අපට තරගයක් දිය හැකි මේ කලාපයේ ඇති එකම රට ඉන්දියාව විය යුතුය. දකුණු ඇමරිකාවේ දූෂිතම රටක් වන බ්‍රසීලයටද අපට තරගයක් දිය හැකිය. යුරෝපයේ තුර්කිය දූෂණ අංශයෙන් අපට පිටුපසින් සිටින නමුදු කිසියම් තැනකදී අප හා සමවීමට නියමිතය. කෙසේ හෝ වේවා අවසාන මහා තරගයේදී මේ අංශයේ වයස් සීමාවක් හෝ බර සීමාවක් නැති කොටසේ ශූරතාව අපට දිනාගැනීමට හැකිවනවා ඇත. ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර පිරිසිදු රාජධානියක් ලෙස තිබෙන්නට ඇත්තේ විජය රජ්ජුරුවන්ගේ කාලයේ පමණි. විජය රජුද මේ රාජ්‍ය දිනාගැනීම සඳහා කුවේණිය රවටා ඇගෙන් ප්‍රයෝජන ගෙන පසුව ඇය පලවාහැර සදාචාරාත්මක දූෂණයක නිරත විය. ඒ අනුව බලන විට සිංහල ජාතිය පැවතෙන්නේ අභිමානවත් සිංහයකුගෙන් නොව කපටි නරියකුගෙන් යැයි කිසිවෙකු කීමට ඉඩ තිබේ. එහෙත් අපි ඉඳුරාම එයට විරුද්ධ වෙමු. වංශ කතාවල හැටියට සිංහල ජාතිය සිංහයකුගෙන් පැවැත එයි. එම සිංහයාගේ පුත්‍රයා වූ සිංහබාහු සිය පියාගේ ඒකාධිකාරයට පහරදී ඔහු මැරෙන තැනට වැඩේ සෙට් කර ස්වාධීනත්වය ලැබුවේය. අපේ කතාව අන් අතක යන බව පෙනේ. නැවතත් මාතෘකාවට පිවිසෙමු. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ක්‍රමයෙන් රාජ්‍ය දූෂණයේ පෙරටම පැමිණියේය. අතපය මහන්සි කර යමක් උපයා ගැනීමට වඩා කොමිස් පාරක් ගසාගෙන ජීවත්වීම ඉතා පහසුය. කොමිස් ඉපයීම සඳහා කිසිදු නිෂ්පාදන සාධකයක් අවශ්‍ය නැත. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන ප්‍රධාන නිෂ්පාදන සාධක තුන කොමිස් කර්මාන්තය ඉදිරියේදී ශූන්‍ය වෙයි. සාමාන්‍යයෙන් රුපියල් කෝටියක ව්‍යාපෘතියකින් 10% ක කොමිස් එකක් ගැහුවොත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 10 කි. ආණ්ඩුවේ වැඩපිළිවෙළවල් තුළ රුපියල් කෝටියේ ව්‍යාපෘති නැත. බොහෝ විට එම ව්‍යාපෘති රුපියල් කෝටි 50, රුපියල් කෝටි 100 යනාදී වශයෙන් විශාලය. සාමාන්‍යයෙන් හයිවේ එකක කිලෝමීටරයක් හැදීමටත් රුපියල් කෝටි 100 ක් වැයවන අවස්ථා තිබේ. මේ රුපියල් කෝටි 100 න් 10% ක් යනු රුපියල් කෝටි 10 කි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දූෂිත කොමිස් ව්‍යාපාරයේ ප්‍රමිතිය ඉතා ඉහළය. එම කොමිස් එක මොනම හේතුවකට වත් 10 % ට වඩා අඩුවන්නේ නැත. එබැවින් හයිවේ එකක කිලෝමීටරයක් අල්ලා ගත්තොත් එයින් ලැබෙන කොමිස යොදා පරම්පරා පහකට පමණ පහසුවෙන් ජීවත්වීමට හැකිය. සාමාන්‍යයෙන් දැනගැනීමට ඇති පරිදි 2022 දී ලෝකයේ 36 වන තැනට දූෂිත රට ශ්‍රී ලංකාවය.

මේ රටේ දූෂණය කොතරම් දුරට විමධ්‍යගතවී ඇත්ද යත් පුද්ගලික අංශයේ ආයතනවල වැඩකටයුතු කරගැනීමටද පගා දිය යුතුය. උදාහරණයක් වශයෙන් මේ රටේ ඉන්ධන හිඟය පැවති කාලයේදී ඉන්ධන වැඩිපුර අවශ්‍ය අය ෂෙඩ් වලින් තෙල් ගැහුවේ පොම්පකාරයාට පගා දීමෙනි. ූඍ ඛේතයක් මගින් ඉන්ධන කෝටාව සීමාකර ඇති මෙකලද වැඩිපුර ඉන්ධන අවශ්‍ය නම් පොම්පකාරයාට පගා දිය යුතුය. මේ රටේ ගෑස් කර්මාන්තය තිබෙන්නේ සම්පූර්ණ පෞද්ගලික සමාගමක් සහ අර්ධ රාජ්‍යය සමාගමක් අතය. මෙරට ගෑස් පෝලිම් කාලයේදී මේ ගෑස් කොම්පැනිවල අයට පගා දීමෙන් අවශ්‍ය තරම් ගෑස් ගෙදර ගෙන යෑමට හැකිවිය. මෙය දූෂණයේ ඉතාම පහළ අවස්ථාවකි. මෙතැනින් ඉහළට යනවිට රටේ හැම කොටසකම දූෂණය දක්නට ලැබේ. ලංකාවේ රාජ්‍ය දූෂණයේ කාලකණ්ණි ස්වභාවය ගැන දි අයිලන්ඩ් පුවත්පතෙහි ලිපියක් පළවිය. එය ලියූ ලේකකයා විදේශීය ආයෝජකයෙකි. ඔහු කියන පරිදි කිසියම් ආයෝජන කටයුත්තක් සඳහා ඔහු සිංගප්පූරුවට ගිය විට එරට රජය ඔහු නැවතීමට නියමිත හෝටලයට යෑම සඳහා සුව පහසු මෝටර් රථයක් ලබාදෙයි. පසුදින උදේ සිංගප්පූරුවේ ආයෝජන මණ්ඩලය ඔවුන්ගේ වියදමෙන් ඔහු ගේ ගමන් යෑම සඳහා සුව පහසු රියක් හෝටලයටම එවයි. ඔහුගේ ආයෝජනයට අදාළ සියලු ලිපි ලේඛන සිංගප්පූරු ආණ්ඩුව මගින්ම වහ වහා පිළියෙල කරදෙනු ලැබේ. ඔහුට පැය 48 ක් තුළ සිය ආයෝජනය සිංගප්පූරුවට ගෙනවුත් අදාළ ව්‍යාපෘතිය ඇරඹිය හැකිය. අවසානයේදී විදේශික අයෝජකයාත් සිංගප්පූරුවත් යන දෙකම ජයග්‍රහණය කරති. මෙය අසබ අසබ ිසඑම්එසදබ එකක් ලෙස හඳුන්වනු ලබයි. ඉහත සඳහන් ආයෝජකයා ලංකාව ගැන කියන කතාව මෙයට වෙනස්ය. ගුවන් තොටුපළෙන් ඔහු ලංකාවට ඇතුළුවන විටම ගුවන්තොටුපළේ නිලධාරීන් කුඩු වෙළෙන්දකු හෝ වරෙන්තුකාරයකු දෙස බලන විදිහට තමා දෙස බලන බවත් ගුවන්තොටුපළෙන් එලියට ආ පසු විවිධ කාක්කන් විසින් තමා වටකරගන්නා බවත් කියයි. ඊළඟට තමන් පටන් ගැනීමට යන ව්‍යාපාරය වෙනුවෙන් කොළ සිය ගණනක් පිරවීමටත්, ඇමැතිවරු දහයක් පහළොවක් සැනසීමටත් නිලධාරීන් තිහ හතළිහක් පිනවීමටත් ඔහුට සිදුවේ. ඇතැම් විට මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසියම් කර්මාන්ත අවසරපතක් ලබාගැනීම සඳහා අවුරුදු දෙකක් එක දිගට මේ රටේ හෝටල්වල ලැග සිටි විදේශිකයෝ සිටිති. ඒ අවුරුදු දෙක තුන ඇමැති, නියෝජ්‍ය ඇමැති ඇතුළු නිලධාරීන් දහයකට හෝ පහළොවකට පගා දීමටත් තරු පහේ හෝටල්වලින් කෑම අරන් දීමටත් ඔහුට සිදුවේ. මේ මිනිසුන් දෙවන ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට යළි කවදාවත් එන්නේ නැත. මීට මාස කිහිපයකට පෙර මේ රටේ සිටින අරාබි සම්භවයක් ඇති කර්මාන්තකරුවකුට දේශපාලනඥයකුගේ ගොට්ටන් පිරිසක් විසින් පහරදෙන ලදී. ගුටි මුරයට හේතුව වූයේ දේශපාලන ගොට්ටන්ගේ කාර් කුලියට ගැනීම පෙරකී කර්මාන්ත කරුවා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමය. කොහොමද දූෂණයක මහිම!

advertistmentadvertistment
advertistmentadvertistment