කොහොම කිව්වත් පඩි වැඩිකිරීමක් කරන්න බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

168

ආණ්ඩුවට අවස්ථාවක් දිය යුතු නිසා අය වැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ නෑ

විපක්‍ෂය නියෝජනය කළ සෑම පක්‍ෂයක්ම අය වැය ලේඛනවලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරති. එසේ වුවද පසු ගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව විපක්‍ෂය නියෝජනය කරන ප්‍රධාන පක්‍ෂය වන සමගි ජන බලවේගය ඡන්දය ප්‍රකාශ කළේ නැත. එම කාරණය මෙන්ම අය වැය ලේඛනය පිළිබඳවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පළ කළ අදහස් මෙසේය.

ප්‍රශ්නය – සාමාන්‍යයෙන් විපක්‍ෂය සෑම අය වැයකදී වගේම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් පසුගිය දා ඉදිරිපත් කළ අයවැයට සමගි ජනබලවේගය විරුද්ධව ඡන්දය දීමෙන් වැළකී සිටියා.විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ඇයි?

පිළිතුර – රට තුළ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් රජය මේ වන විට කරමින් සිටින සෑම දෙයකටම එකඟ වන්න අපට බැහැ. රජය පළමුවෙන්ම හදිසි නීතිය යොදා ගැනීම පිළිබඳව අපට එකඟ වෙන්න බැහැ. ඒ වගේම සාමකාමී අරගලයේ යෙදුණ අහිංසක පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම තවත් කාරණයක්. ඒ කිසිදු කටයුත්තක් අපි අනුම කරන්නේ නැහැ.

රටේ පවතින ආර්ථික ප්‍රශ්නය අඩු ආදායම් ලාභීන්ට පමණක් නොවෙයි මධ්‍යම පාන්තිකයන්ටත් බලපා තිබෙනවා. ඒ අතර උද්ධමනය හිතන්න බැරි තරමට ඉහළ ගිහින් තිබෙනවා. උද්ධමනය මේ වන විට 65% දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ආහාර උද්ධමනය 95% දක්වා ඉහළ ගිහින් තිබෙනවා. මෙම තත්ත්වය තුළ සමහර පුද්ගලන්ගේ රැකියා අහිමි වී තිබෙනවා. තවත් පුද්ගලයන්ගේ ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. එම හේතු සාධකයන් නිසා වෙනත් අඩුපාඩු තිබුණත් අය වැයට විරුද්ධවීමට අපි අදහස් කළේ නැහැ. මොකද අපි අදහස් කළා ජනතාව තුළ තිබෙන පීඩාව අඩු කිරීම සඳහා ආණ්ඩුවට අවස්ථාවක් දිය යුතුයි කියලා. ආණ්ඩුවට එම කටයුත්ත කළ නොහැකි නම් එම කටයුත්ත කළ හැකි අපට අවස්ථාව ලබාදිය යුතුයි.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළා හදිසි නීතිය යොදා ගැනීම වැනි කාරණා නිසා අය වැයට පක්‍ෂව කටයුතු නොකළ බව. ඒ කියන්නේ ආණ්ඩුව මෙම ආර්ථික අර්බුදය විසඳීම සඳහා අය වැය හරහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට එකඟ වනවා ද?

පිළිතුර – මෙම අය වැය යෝජනාවල අපි එකඟවන කොටසුත් තිබෙනවා. එකඟ නොවන කොටසුත් තිබෙනවා. රජයේ ආදායමේ විශාල කඩා වැටීමක් තිබෙනවා. 2015 දී අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව රජයේ ආදායම 10% සිට 13% දක්වා ඉහළට ගෙන ගියා. අපි එම කටයුත්ත කළේ ඉතා කෙටි කාලයක් තුළ. අද වන විට රාජ්‍ය ආදායම 8% දක්වා අඩුවී තිබෙනවා. දල දේශීය ආදායමට ප්‍රතිශතයක් ලෙස අඩුම රාජ්‍ය ආදායම තිබෙන්නේ අපේ රටේ. එම ආදායම වැඩි කළ යුතු බවට කිසිදු විවාදයක් නැහැ. පසුගිය අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එක් යෝජනාවක් තමයි වැට් බද්ද වැඩි කිරීම. අය වැය මගින් එම බද්ද 3% සිට 5% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

ආණ්ඩුව ආදායම් වැඩි කර ගැනීම සඳහා සෘජු බදුත් වැඩි කළ යුතුයි. නමුත් ආණ්ඩුව සෘජු බදු වැඩි කරලා නැහැ. වැඩි කරලා තිබෙන්නේ වක්‍ර බදු පමණයි. එම නිසා වැඩි පීඩනයක් දරන්න සිද්ධ වන්නේ අඩු ආදායම් ලබන ජනතාවට. මෙම නිසා සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇති වෙනවා. 2015 දී අපි ආණ්ඩුව භාර ගන්න කොට වක්‍ර බදු ප්‍රතිශතය 82%යි සෘජු බදු ප්‍රතිශතය 18%යි. එම කාලය තුළ අපි අලුත් ආදායම් පනතක් ගෙන ආවා. එම කාලය තුළ දී රාජ්‍ය ආදායම එක් වසරක් තුළදී දල දේශීය නිෂ්පාදනයට ප්‍රතිශතයක් ලෙස 44%කින් ඉහළ ගියා. ඒ අතරම අපි එක් අවුරුද්දක් තුළ දී වක්‍ර බදු ප්‍රමාණය 75% දක්වාත් සෘජු බදු ප්‍රමාණය 25% දක්වාත් වෙනස් කළා. ඒ ආකාරයට කටයුතු කිරීම මගින් සමාජ සාධාරණත්වයක් ඇති වෙනවා. එම නිසා මෙම අය වැයේ වක්‍ර බදු ප්‍රතිශතය අඩු කර ගත යුතුයි.

2016 2017 කාලය තුළ දී අපේ රට තුළ අවම උද්ධමනයක් තමයි තිබුණේ. අද වන විට ආහාර උද්ධමනය 98% දක්වා ඉහළ ගිහින් තිබෙනවා. එම නිසා අද වන විට ජනතාවගේ බත් පිඟානේ මස්, මාළු, බිත්තර හාල්මැස්සන් වැනි ආහාර ද්‍රව්‍ය තිබෙනවාද දන්නේ නැහැ.

මේ වන විට 5 දෙනකු සිටින පවුලකට මසකට රුපියල් 66,000ක පමණ මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ එක් අයකුට ර.12000 පමණ වැය වෙනවා. මේ වන විට දරිද්‍රතා රේඛාව තවත් පහළට ගිහින් තිබෙනවා. රජයේ ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින්ම ඒ බව තහවුරු වනවා.

ඒ වගේම ජනතාවට සහනාධාර ලබා දීම පිළිබඳවත් ගැටලු තිබෙනවා. අපි දන්නවා මේ වන විට සමෘද්ධිය ලැබෙන අයගෙන් 50%කට පමණ එය නොලැබිය යුතුයි. ඒ වගේම සමෘද්ධිය ලැබිය යුතු තවත් විශාල පිරිසක් සිටිනවා. නමුත් ඒ අයගේ නම පොරොත්තු ලේඛනයෙත් නැහැ. සමෘද්ධිය කියන්නේ මේ වන විට දේශපාලනීකරණය වුණු වැඩපිළිවෙළක්. අඩු ආදායම්ලාභී දුප්පත් පුද්ගලයෙකුට පක්‍ෂ පාටවලින් වැඩක් නැහැ. බඩගිනි පුද්ගලයාටයි කෑම දෙන්න ඕනි. එම නිසා අපි කිව්වා එම කටයුතු විiාත්මක පදනමකින් සිද්ධ විය යුතු බව. එබඳු කටයුතු නිසා තමයි අපිට එකඟ වන්න බැරි. තවත් ඒ සඳහා උදාහරණ ඉදිරිපත් කිරීමට පුළුවන්කම තිබෙනවා. නමුත් මම පළමුවෙන් සඳහන් කළ කාරණය පිළිබඳ සලකා බලලා අය වැයට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ප්‍රශ්නය – ජනතාව අය වැයෙන් අපේක්‍ෂා කරන ප්‍රධාන දෙය තමයි පඩි වැඩි කිරීම. නමුත් මෙවර අය වැයෙන් කිසිදු පඩි වැඩි කිරීමක් සිද්ධ කළේ නැහැ.මෙම අවස්ථාවේදී පඩි වැඩි නොකිරීම මෙන්ම ඉදිරියේදී පඩි වැඩි විය හැකි ආකාරය පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ආණ්ඩුව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අනුව අය වැය පරතරය අඩු කිරීමට සිද්ධ වෙනවා. එය මුලින්ම බලපාන්නේ ප්‍රාථමික ඉතිරියට. එය බලන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. එහිදී පොලි වියදම ගන්නේ නැහැ. 2021 ප්‍රාථමික ඉතිරිය (සෘණ) 6%යි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගෙන එකඟතාවයක් අනුව 2025 වන විට එම ඉතිරිය ධන 2.3% දක්වා ගෙන ඒමට එකඟ වී තිබෙනවා. එය අපහසු ඉලක්කයක්.

අපිට ප්‍රථමික ඉතිරියක් තිබිල තියෙන්නේ නිදහසින් පසුව 1954, 1955, 1992, 2017, 2018 යන වසරවල දී පමණයි. මංගල සමරවීර ඇමැතිවරයා සහ මම දැඩි මූල්‍ය විනයක් ඇතිව කටයුතු කළ නිසා තමයි 2017 සහ 2018 යන වසරවල දී එම තත්ත්වය ඇති කර ගැනීමට හැකි වූයේ.

ප්‍රාථමික ඉතිරියක් ඇති කිරීමට නම් රටේ ආදායම වැඩි කිරීමට සහ වියදම අඩු කිරීමට කටයුතු කළ යුතුයි. අපි සිතමු වියදම ඒ ආකාරයටම තිබෙනවා කියලා. ඒ අනුව කොයි ආකාරයකට බැලුවත් කෙටි කාලීනව පඩි වැඩි කිරීමක් කරන්න බැහැ. පඩි වැඩි කිරීමක් කරනවානම් එය කළ හැක්කේ මුදල් අච්චු ගහල පමණයි. මුදල් අච්චු ගැසුවොත් රට යළිත් පරණ තැනටම එනවා.

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ 76 වන සංවත්සරය පසු ගියදා ජයටම සමරණු ලැබුවා. එම පක්‍ෂය එලෙස කටයුතු කිරීම සමගි ජන බලවේගයට ඉදිරියේදී අභියෝගයක් විය හැකියි නේද?

පිළිතුර- කිසිම අභියෝගයක් නැහැ. උත්සව වලින් එම තත්ත්වය මනින්න බැහැ. මොකද පොදුජන නිදහස් පෙරමුණටත් උත්සව පවත්වන්න පුළුවන්. ජනතාව ඔය වැනි උත්සවවලට රැවටෙන්නේ නැහැ.

සමගි ජන බලවේගය ගොඩ නැගුණේ මන්ත්‍රිවරුන්ගේ අවශ්‍යතාවය කැමැත්ත මත නොවෙයි. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක පක්‍ෂයක නායකයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කර තිබෙන්නේ. එම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේ මේ රටේ ජනතාව සහ එ. ජා. පක්‍ෂයේ සාමාජිකයන්. එම හේතු සාධකය පදනම් කරගෙන තමයි සමගි ජන බලවේගය ගොඩ නැගුණේ. එසේ නොවන්නට සමගි ජන බලවේගය නමින් පක්‍ෂයක් ගොඩ නැගෙන්නේ නැහැ. වසර 28ක කාලයක් පුරා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කරනවා. මේ දක්වා එම තත්ත්වය වෙනස් වෙලත් නැහැ. එම නිසා සමගි ජනබලවේගය ගොඩ නැගීමට හේතු වූ මුඛ්‍ය සාධකය ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ දේශපාලන සාක්‍ෂරතාවයත් මේ වන විට වැඩි වී තිබෙනවා.

දෙවන කාරණය තමයි පන්නපු රාජපක්‍ෂලා සමග කටයුතු කරනවා කියනවා. ඒ වගේම මතයකුත් තිබෙනාවනේ පන්නපු රාජපක්‍ෂලා ආරක්‍ෂා කරනවා කියලා. එම තත්ත්වය තුළ එක්සත් ජාතික පක්‍ෂය සමගි ජන බලවේගයට අභියෝගයක් කියලා සිතනවා නම් ඒක විහිළුවක්.

මුල්‍ය දූෂණය අවම කළ යුතුයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා පුළුල් නෛතික රාමුවක් ස්ථාපිත කරන බව. එබඳු නෛතික රාමුවක් තුළින් වත්කම් ප්‍රකාශය ප්‍රකාශයට පත් කිරීමේ පද්ධතිය ශක්තිමත් කරන බවත් ප්‍රකාශ කළා. මේ වන විට වත්කම් ප්‍රකාශ ජනතාවට බලපාන්න බැහැ. එම පද්ධතිය ශක්තිමත් කළොත් යම් චෝදනාවක් තිබෙනවා නම් විගණකාධිපතිට සොයා බලන්න පුළුවන්. ඒ වගේම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව කිව්වා. වසර 28ක් තුළ එම කොමිෂන් සභාව දේශපාලනඥයෙකු හෝ ප්‍රසිද්ධ නිලධාරියෙකු නීති මාර්ගයෙන් අසුකරගෙන නැහැ. මුදල් ඇමැතිතුමාගේ කතාවේදී එම ආයතන දෙකම ස්වාධීන කරන බව කිව්වා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා තවදුරටත් සිද්ධ කළ යුතු කටයුතු දෙකක් තිබෙනවා. එකක් තමයි හොරා කාපු දේපළ ලබා ගැනීමට කටයුතු කිරීම. ඒ සඳහා වැඩ පිළිවෙළක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව හවුලේ එම වැඩපිළිවෙළ තියෙන්නේ. ස්ටා කියලා එම වැඩපිළිවෙළ මේ රටේ දියත් කිරීම සඳහා නීතියක් ගෙන ආ යුතුයි. නමුත් ඒ පිළිබඳව වචනයක් හෝ සඳහන් කළේ නැහැ.

දෙවන කාරණය තමයි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාවය. එවැනි කාර්යාලයක් පිහිටවුවහොත් කාටවත් ඇඟිලි ගහන්න බැහැ. එසේ වුවහොත් නඩු ඉවත් කරගත හැක්කේ අධිකරණයට පමණයි. එම කටයුතු පිළිබඳව රජය කිසිම සද්දයක් නැහැ. එම නිසා ජනාධිපතිතුමාට චෝදනාවක් එල්ල වන්න පුළුවන් වංචා දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන දේශපාලඥයන් සහ නිලධාරීන් ආරක්‍ෂා කරන බවට. එම චෝදනාවෙන් ගැලවීමට නම් ජනාධිපතිතුමා විසින් එම කටයුතු සිද්ධ කළ යුතුයි.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment