කොළඹට සහ සී හෝර්ක්ස්ට ජයග‍්‍රහණ – සුපර් ලීග් පාපන්දු තරගාවලිය

74

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී දැන් ක‍්‍රියාත්මක සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 32 වැනි තරගය ජය ගැනීමට කොළඹ පාපන්දු සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ. ඒ නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායම ගෝල් 03 – 02 ලෙස පරාජය කිරීමත් සමගිනි.

ආරම්භයේ සිට අවසානය නිමේෂය දක්වාම අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරක් ඉසිලූ ඊයේ (29) සවස තරගයේ ජය සහ පරාජය අවසන් මිනිත්තුවේදී සටහන් වීම කැපී පෙනුණි.

ප‍්‍රථම භාගය නිමා වන විට දෙපිලම ගෝල් 01 – 01 ක් ලෙස සම දක්ෂතා අතර රැුඳී සිටිය ද තරඟය සඳහා නියමිත කාලය නිම වීමට ආසන්නයේදීම ගෝල් 03 – 02 ක ජයග‍්‍රහණයක මිහිර අත් විඳීමට කොළඹ ක‍්‍රීඩකයින්ට හැකි වූහ.

කොළඹ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු මොහොමඞ් ආකීබ් (02) සහ බෝඞීක් දිමිත‍්‍රි (01) ගෝල් රැුස් කළ අතර පරාජිත පිල වෙනුවෙන් සටහන්වූ ගෝල් ද්විත්වයම එහි නායක මරියදාස් නිදර්ශන් වාර්තා කෙළේය.

මෙම තරගය නිවෝන් රුබේෂ් මහතා විසින් විනිශ්චය කරන ලදී.

මේ අතර වාරයේ පෙරේදා (28) පැවැති සී හෝර්ක්ස් සහ රෙඞ් ස්ටාර්ස් අතර තරගයෙන් ගෝල් 02 – 01 ක ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට සී හෝර්ක්ස් සමාජය ට හැකි විය.

තරගයේ ප‍්‍රථම භාගය නිම වන විට ගෝල් තත්ත්වය 01 – 01 ක් ලෙස සම මට්ටමක පැවතිනි.

ප‍්‍රථම භාගය මෙන්ම දෙවන භාගය ද අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබුණු ආකාරයක් ඒ අනුව දක්නට ලැබුණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස තරගය සඳහා නියමිත කාලය නිමා වීමට ආසන්නයේදීම ජයග‍්‍රාහී ගෝලය වාර්තා විය.

82 මිනිත්තුවේදී අතිරේක ක‍්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි ධනුෂ්ක මධුශංක එම ජයග‍්‍රාහී ගෝලයේ හිමි කරුවා විය.

සී හෝර්ක්ස් පිල වෙනුවෙන් පළමු ගෝලය මොටොහීරෝ කනෂීරෝ රැස් කළේය.

පරාජිත පිලේ එකම ගෝලය මොහොමඞ් රහමාන් වාර්තා කළේය.

මෙම තරගය ඩිලාන් පෙරේරා මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment