කොළඹදී තිදෙනකුට ගිනි බින්ද ආමි සම්පත්ගේ වෙඩික්කරු දැලේ

191

කොළඹ ප්‍රදේශයේදී තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ හෙරොයින් මත්කුඩු සමග රාජගිරියේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රන් සෙම්බුවගේ චාමර සම්පත් නොහොත් ‘ආමි සම්පත්’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කරන පුද්ගලයා බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම සියලුම වෙඩි තැබීම් ඔහුගේ උපදෙස් මත සිදු කළ බව සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු සමග හා විදේශීය රටක නිෂ්පාදිත 9 එම්. එම්. වර්ගයේ ගිනිඅවියක් සහ එයට යොදන ජීව පතරොම් එකොළහක්, හෙරොයින් ග්‍රෑම් 5යි මිලිගෑම් 11 ක් හා අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු පදිංචි රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී අල්මාරිය තුළ සඟවා තිබූ මත්කුඩු තොගය, ගිනිඅවිය සහ ජීව උණ්ඩ සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු විසින් ඉකුත් ජූලි මස 11 වැනිදා බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මාදම්පිටිය ප්‍රදේශයේදී සහ 12 වෙනිදා වෙරළබඩ පොලිස් වසමේ හින්නිහාමි මාවතේදී මෙන්ම ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත අලුත් පාලම අසලදී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධ සඳහා වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී ඇත. සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව – බිමල් ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment