කොළඹම මට්ටු කරන්න ඇවිත් කඩුවෙලදී සල්ලං වු පාතාල ගේම… ලක්‍ෂ පනහේ කප්පම මිස් වෙයි

966

 * ධනවත් ව්‍යාපාරිකයාට කඩු, පිහි ප‍්‍රහාරයක්…
 * ප‍්‍රධාන සැකකරුගේ ජංගම දුරකථනය රහස් වමාරයි
 * පාතාලයේ චමී ඩුබායිවල සිට ගේම මෙහෙයවලා

pathala2පියල්ගේ ජංගම දුරකථනය දිගින් දිගට ම නාද වෙමින් තිබුණේය. ඇමතුම ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයේ සිටය. වට්ස්ඇප් දුරකථන ඇමතුම පියල් ලබා ගන්නේ තරමක් කුතුහලයෙන් යුතුවය.

 ..මොකද උඹ ටෙලිෆෝන් කෝල්ස්වලට බය ද ආන්සර් කරන්නෙ නැත්තේ.. දුරකථනයෙන් කතා කළ පුද්ගලයා තර්ජනාත්මක ස්වරයෙන් විමසුවේය.

 ..මං කතා කරන්නේ සමරප්පුලිගේ චමින්ද බුද්ධික. මට කඩුවෙල උන් කියන්නේ .චමී. කියලා. රණාලේ සමයං එක්ක එකතුවෙලා මං සෑහෙන මර්ඩර්ස්් දීලා තියෙනවා…

 දුරකථනයෙන් කතා කළ චමී තම පාතාල ඉතිහාසය පිළිබඳව එකින් එක කියන්නට වුණේය. පියල්ට මේ පාතාල මැරයන් රිස්සුවේ නැත. පාතාල අපරාධකාරයන් තදින්ම ප‍්‍රතික්‍ෂේප කළ පුද්ගලයකු නිසා පියල් චමීගේ මේ තර්ජන ගර්ජන ගණනකට ගත්තේ නැත.

 ..හරි දැන් ඔයා මොනවද මට කරන්න කියන්නේ. අපි කෙලින්ම කාරණාවට බහිමුකො… පියල් විමසුවේ තරමක කේන්තියකින් යුතුවය.

 ..කඩුවෙල අන්ඩර්වර්ල්ඞ් එක දැන් රන් කරන්නේ මම. මගේ ගෝලයෝ හැම තැනම ඉන්නවා. උඹලා බිස්නස් කරනවා නම් අපි ගැනත් බලා ගන්න ඕනේ. නැත්නම් ඔය බිස්නස් කරගෙන යන්න ඉඩ තියන්නේ නැහැ. දන්නවනේ පහුගිය කාලේ ඔය පැත්තෙ බිස්නස්කාරයන්ට වෙච්ච දේවල්…

 .චමී. තම පාතාල කෙරුවාවන් ගැන උදම් අනන්නට වුණේය.

 ..අපිත් මෙහේ කාලෙක ඉඳලා බිස්නස් කරනවා. හැබැයි ඔය අයියලා කවුරුත් ආවේ නැහැ අපට පාට් දාන්න. දැන් උඹට මොනවද වෙන්න ඕනෙ ඒක කියපංකො…

 චමීගේ වහසිබස් කිසිවක් ගණනකට නොගත් පියල් නැවතත් විමසුවේය.

 ..උඹට බිස්නස් කරගෙන යන්න ඕනෙ නම් මට ලක්‍ෂ 50 ක් ඕනේ. ඊට අමතරව මාසෙකට ලක්‍ෂ 5 ගාණේ අපට ගෙවන්න ඕනෙ. නැත්නම් උඹට සිද්ධ වෙන්නේ ඒවට දෙන රිටර්න්වලට මුහුණ දෙන්න…

 චමී තම අවශ්‍යතාව පියල්ට කීවේය. චමීගේ තර්ජනයන් පියල් ගණනකට ගත්තේ නැත.

 ..උඹට එච්චර ලොකු මුදලක් දෙන්න තියෙනවා නම් මම මේ බිස්නස් එක කරන්නේ නැහැ. අතඇරලා දාලා නිකං ඉන්නවා. එක එකාට දෙන්න මට සල්ලි නැහැ…

 චමීගේ තර්ජනයන්ට නොසැලි පිළිතුරු දුන් පියල් දුරකථන ඇමතුම විසන්ධි කර දැමුවේය.

 මේ තර්ජනාත්මක ඇමතුම් තුන් හතර වතාවක්ම පියල්ට ලැබී තිබුණේය. එහෙත් ඔහු ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත. පියල් පනාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. කර්මාන්ත ශාලාවලට කම්කරුවන් සැපයීමේ ව්‍යාපාරය කාලයක් තිස්සේ කරගෙන ගිය පියල් ඉන් හොඳ ආදායමක් ලැබුවේය.

 කඩුවෙල ප‍්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන සිටි සමයං, ඌරුජුවා, ඉන්‍ද්‍රා වැනි පාතාල නායකයන් තම ප‍්‍රධාන ආදායම් මාර්ග ලෙස කර්මාන්ත ශාලාවලට කම්කරුවන් සැපයීම සහ වාහන කුලියට ලබාදීම කරගෙන ගියහ.

 එමෙන්ම කර්මාන්ත ශාලාවලට කම්කරුවන් සපයන ආයතනවලින් කප්පම් මුදල් ලබා ගැනීම ද මේ පාතාල මැරයන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණේය. කඩුවෙල පුරා භීෂණය වපුරුවාගෙන සිටි සමයං ඌරුජුවා, ඉන්‍ද්‍රා වැනි පාතාල මැරයන් අකාලයේ ම ඝාතනයට ලක්වීමෙන් පසු ඒ පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට දැන් කරළියට එන්නට දත කන්නේ චමී නමැති මේ මැරයා ය. කඩුවෙල ප‍්‍රදේශයේ පාතාලයට කඬේ යන රස්තියාදුකාරයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිරිසක් ඒකරාශී කරගෙන චමියා පාතාල මැර කල්ලියක් බිහිකර ගැනීමට උත්සාහ කරමින් සිටියි.

 ඇඹුල්ගම ප‍්‍රදේශයේ පිහිටි මෙරට ප‍්‍රකට ටයිල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට කම්කරුවන් සැපයිමේ කාර්යය භාරගෙන සිටියේ පියල් ය. කාලයක් තිස්සේ කරගෙන ගිය මේ ව්‍යාපාරයෙන් පියල් විශාල ආදායමක් ලබා ගත්තේය.

 චමියාට අවශ්‍ය වී තිබුණේ එක්කෝ මාසිකව පියල්ගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමය. නැත්නම් කර්මාන්ත ශාලාවට කම්කරුවන් සැපයීමේ ව්‍යාපාරය තමන් අතට ගැනීමය. චමී සිතුවේ මේ ආකාරයට කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කිරීමෙන් පසු පියල් ව්‍යාපාරය අතහැර යයි කියාය. එහෙත් චමීගේ තර්ජනවලට බිය නොවූ පියල් දිගට ම තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ සිදුවීමෙන් චමී දැඩි ලෙස කෝපයට පත් වුණේය. චමී සිය පාතාල කල්ලියේ ප‍්‍රධානම සගයාව සිටින දිලූම්ට ඇමතුමක් ලබා ගත්තේය.

 ..අර පියල් කියන එකාට මං දවස් තුන හතරක් කතා කළා. ඌ ඩෝන්ට් කෙයාර් පාර දානවා. අපට අනික් උන්වත් හෙල්ලිලා යන්න මූට පාඩමක් උගන්වන්න ඕනෙ. නැත්නම් අපට මේ බිස්නස් කරගෙන යන්න වෙන්නෙ නැහැ…

 චමී දිලූම් නමැති මැරයාට කීවේය.

 ..උඹේ කතාව හරි. ඌ ටිකක් ගාණට වැඩියි. අමතක නොවෙන පාඩමක් ඌට උගන්වන්න ඕනෙ. වැඩක් සෙට් කරලා කියපං මං කරලා දාන්නම්…

 දිලූම් කඩුවෙල පාතාල කල්ලියේ අලූතිම නායකයා ලෙස කිරුළු පළඳින්නට දත කමින් සිටින චමීට කීවේය.

  කඩුවෙල බිස්නස් කරන අනිත් උන්ට දැනෙන්න ලොකු ගේමක් ගහමු. උඹ දෙතුන්දෙනෙක් ලෑස්ති කරගනින්. වියදම් පැත්ත මම බලා ගන්නම්. හැබැයි රට හෙල්ලෙන වැඩක් දෙන්න ඕනෙ. පියල් යන එන වෙලාවක් බලලා ඌව කපලා දාපල්ලා. ආයෙ ජීවිතේට බිස්නස් එකක් කරගන්න බැරිවෙන විදිහට.

 චමී සිය පාතාල සගයාට උපදෙස් දුන්නේය. පියල් සිය වෑන් රථයේ යද්දී අතරගමඟදී ඔහුට පහර දී කපා කොටා බරපතළ තුවාල කිරීම සඳහා දිලූම් සැලසුමක් සකස් කළේය. ඒ සඳහා කඩුවෙල පැත්තේ මදාවියන් දෙදෙනෙකු ද සම්බන්ධ කර ගත්තේය. ඉන් එකකු මධුසංඛ ය. අනෙකා ප‍්‍රියංකර ය. මේ කාලකණ්ණින් දෙදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී නන්නත්තාර වී සිටින උන්ය.

 ..චමී අපට ලොකු වැඩක් භාර දුන්නා. මේක හරියට කරපල්ලා. වැඬේ හරියට කළොත් ඌ උඹලට හොඳට සලකයි. දන්නවනේ චමීයගෙ හැටි. ඌ ලෝස් නැහැ. අත දිගහැරලා වියදම් කරනවා. මේ දවස්වල ඌ කුඩු ඞීල් එකෙත් ජයටම ඉන්නවා. ඒ නිසා මේ වැඬේ හරියට කරමු…

 දිලූම් සිය සගයන් දෙදෙනාට කීවේය. දිලූම්ගේ සුරංගනා කතාවලට ඒ කාලකණ්ණින් දෙදෙනා රැවටුණේය. ව්‍යාපාරිකයාට පහර දී කපා කොටා බරපතළ තුවාල කිරීමේ සැලසුමට උන් දෙදෙනා ද සම්බන්ධ වුවෝය.

 ..අපි මේ වැඬේට කොහෙන් හරි බයික් එකක් පන්න ගන්න ඕනෙ. මන්නා පිහි සෙට් එක මෙඟ් ළඟ තියෙනවා…

 දිලූම් කීවේය. ඒ අනුව සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන යතුරුපැදිය සොයා ගැනීමට මධුසංඛ උත්සාහ කළහ. දිලූම්, මධුසංඛ සහ පි‍්‍රයංකර හංවැල්ල ප‍්‍රදේශය වෙත ගොස් යතුරුපැදියක් කොල්ලකෑමට සැලසුම් කරමින් සිටියහ. මධුසංඛගෙන් හෙරොයින් මිලදී ගැනීමට එන තරුණයකු ඒ මොහොතේ ඇමතුමක් ලබා දුන්නේය.

 ..මගෙන් බඩු ගන්න එකෙක් ඉන්නවා. ඌ හොඳ බයික් එකක එන්නේ. අපි ඌව ගෙන්නැලා මඟදී ඌට ගහලා බයික් එක උස්සමු…

 මධුසංඛ යෝජනා කළේය. ඒ අනුව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට එන තරුණයා හංවැල්ල ප‍්‍රදේශයට ගෙන්වා ගැනීමට මධුසංඛ කටයුතු කළේය. අතරමඟදී ඒ තරුණයාට පහරදුන් දිලූම් සහ ප‍්‍රියංකර ඔහු පැමිණි යතුැපැදිය කොල්ලකෑවෝය. ජුනි මස 29 වැනිදා සිය ප‍්‍රහාරය දියත් කරන්නට දිලූම් ඇතුළු පාතාල මැරයන් සැලසුම් කළහ. පියල්ගේ ගමන් බිමන් ගැන සොයා බැලීමට ඔත්තුකරුවකු ද යෙදවීමට දිලූම් කටයුතු කළේය. ඒ අතර ම පියල්ට පහර දී කපා කොටා තුවාල කරන අවස්ථාව වීඩියෝගත කර එය චමීට යැවීමට දිලූම්ට අවශ්‍ය වී තිබුණේය. ඒ සඳහා ද පුද්ගලයකු යෙදවීමට ඔහු කටයුතු කළේය.

 ප‍්‍රියන්ත වෘත්තියෙන් ත‍්‍රීරෝද රථ රියැදුරෙකි. කඩුවෙල පාතාලයේ දහදුරා වැඩවලට සම්බන්ධ වී අමතර ආදායමක් උපයා ගැනීමට ඔහු නිතර උත්සාහ කළේය. දිලූම් ප‍්‍රියන්තට ඇමතුමක් දී ඔහු ගෙන්වා ගත්තේය.

 ..අපේ පොඩි වැඩක් තියෙනවා. මේක චමියා තමයි ඩුබායි ඉඳලා අපට භාර දුන්නේ. වැඬේ හරියට කර පං. චමියා උඹලට උදව් කරයි…

 දිලූම් ප‍්‍රියන්තට තම සැලසුම සහ අභිප‍්‍රාය ගැන පැහැදිලි කිරීමක් කළේය.

 ..අපි තුන්දෙනා බයික් දෙකක ඇවිත් මෑන්ගෙ වාහනේ නතර කරලා මිනිහට ගහලා, කපලා දානවා. උඹට තියෙන්නේ ත‍්‍රීවීලර් එකේ ඇවිත් අපේ ගේම් එක පටන් ගත්න තැන ඉඳලා වීඩියෝ කරන්න. වැඬේ හරියට කරපං. චමියා ඉතුරු හරිය බලාගනියි…

 දිලූම් සියලූ උපදෙස් ප‍්‍රියන්තට ලබා දුන්නේය. ඔහු ප‍්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ වී සිටින මධුසංඛ සහ ප‍්‍රියංකර මුණ ගැහුණේය. උඹලා මේ රුපියල් පන්දාහ තියා ගනිල්ලා මඟ වියදමට. වැඬේ ඉවර වුණාට පස්සේ චමියා හොඳට සලකයි. දිලූම් සිය සගයන් දෙදෙනා අත රුපියල් පන්දාහේ් නෝට්ටුවක් තැබුවේය. 29 වැනිදා උදෑසන පියල් සිය වෑන් රථයේ නැඟී කඩුවෙල ජල්තර ප‍්‍රදේශයට යෑමට පිටත් වුණේය. පාතාල මැරයන් තමන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව පියල් දැන සිටියේ නැත. චමී නමැති මැරයා තමන්ට පහර දෙනු ඇතැයි පියල් සිහිනයකින්වත් සිතුවේ නැත. එහෙත් චමීගේ ගෝලබාලයන් ජල්තර ප‍්‍රදේශයේ සැඟවී සිටියේ පියල්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ය. උදෑසන 7.30 පමණ වනවිට පියල් සිය වෑන් රථයේ නැඟී ජල්තර ප‍්‍රදේශය පසු කරමින් සිටියේය. ඒ සැනෙකින් ක‍්‍රියාත්මක වූ දිලූම් ඇතුළු මැරයන් වෑන් රථය පසුපස යතුරුපැදිවලින් හඹාගොස් මඟ හරස්කර එය නතර කළෝය.

 ප‍්‍රහාරය වීඩියෝගත කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන සිටි ප‍්‍රියන්ත ද ත‍්‍රීරෝද රථයෙන් පැමිණ වෑන් රථය පසුපස නතර කළේය. මාරාවේශයෙන් මෙන් සිටි දිලූම්, මධුසංඛ සහ ප‍්‍රියංකර කඩු, මන්නා පිහි අමෝරාගෙන පියල්ගේ වෑන් රථයට මුලින්ම පහර දුන්නෝය. පසුව එහි ඉදිරිපස දොර විවෘත කරගත් පාතාල මැරයන් පියල්ට අමානුෂික ලෙස පහර දී මන්නා පිහිවලින් ඔහු කපා කොටා දැමුවෝය.

 ත‍්‍රීරෝද රථයේ සිටි ප‍්‍රියන්ත මේ සාහසික අපරාධය මුල සිටම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ගත්තේය. විනාඩි කිහිපයක් ඇතුළත සිය ප‍්‍රහාරය එල්ල කර අවසන් වූ මැරයන් යතුරුපැදිවල නැඟී නිරුපද්‍රිතව පලා ගියහ. බරපතළ කැපුම් තුවාල සහිතව පියල් වෑන් රථය තුළ වැටී වේදනාවෙන් විලාප නඟන්නට වුණේය. අහල පහල පදිංචිකරුවන් එකා දෙන්නා වෑන් රථය අසලට දිව ආහ. ඒ වනවිට පියල් රෝහල වෙත රැගෙන යෑමට තරම් වාහනයක් තිබුණේ නැත. ප‍්‍රහාරය වීඩියෝගත කළ ප‍්‍රියන්ත තම ත‍්‍රීරෝද රථයේ නංවාගෙන පියල් රෝහලකරා රැගෙන යෑමට කටයුතු කළේය. ප‍්‍රියන්ත මේ ප‍්‍රහාරයේ අගක් මුලක් නොදන්නා අහිංසකයකු ලෙස රංගනයක යෙදුණේය. බරපතළ කැපුම් තුවාල සහිතව අතුරුගිරිය රෝහලට ඇතුළත් කළ පියල් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කෙරිණි. ප‍්‍රහාරයෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වුවද පියල්ගේ ජීවිතය බේරා ගැනීමට වෛiවරුන්ට හැකි විය.

 දෙනෝදාහක් දෙනා බලා සිටියදී මහමඟ එල්ල වූ මේ ම්ලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳ පොලිස් විමර්ශන ඇරඹෙන්නේ ඉන් පසුවය. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා, එහි ස්ථානාධිපති ජයන්ත පෙරේරා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මේ පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වූහ. බස්නාහිර පළාත දකුණ (අපරාධ) නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම මෙහෙයුම් ආරම්භ කෙරිණි.

 කඩුවෙල පාතාලයේ වර්තමාන කෙරුම්කාරයන්ව සිටි ඌරුජුවා, ඉන්‍ද්‍රා, නමැති මැරයන් පොලිසිය විසින් සිදුකළ ප‍්‍රහාරවලින් ඝාතනයට ලක් ව තිබුණේ ද මේ මැරයන් මරා දැමීමෙන් පසු කඩුවෙල, නවගමුව, රණාල, හංවැල්ල, අතුරුගිරිය ප‍්‍රදේශවල ජනතාව සැනසුම් සුසුම් හෙළුැවේ තමන්ට නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් ලැබෙනු ඇතැයි කියා ය. එහෙත් මේ මැරයන් ඝාතනයට ලක්වීමෙන් පසු කොහෝදෝ සිටින මැරයකු නැවත කඩුවෙල පාතාල කරළියට සම්ප‍්‍රාප්ත වීම ගැන ප‍්‍රදේශවාසීන් නැවතත් සිටින්නේ භීතියෙන් යුතුවය. ප‍්‍රහාරයට ලක් වූ පියල්ගෙන් ලැබුණු තොරතුරු මෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් මේ සිද්ධිය පිටුපස චමී සිටින බවට හෙළිකර ගැනීමට පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්ට සමත්වූහ.

 ..ඔය චමියගෙ සෙට් එකට ඔළුව උස්සන්න දෙන්න හොඳ නැහැ. එහෙම උනොත් ආයෙත් කඩුවෙල අන්ඩර් වර්ල්ඞ් එක ෆෝම් වෙනවා. ඒ නිසා මේ මැරයෝ ටික මුල් අවස්ථාවේ ම නැති කරලා දාන්න ඕනෙ..

බස්නාහිර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, විමර්ශන නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පාතාල මැරයන් මර්දනයට නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න මහතා ද අවශ්‍ය උපදෙස් සහ පහසුකම් සපයනු ලැබීය.

 දුරකථන වාර්තා දීර්ඝ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු ප‍්‍රහාරය පිටුපස සිටින මහමොළකරු දිලූම් නමැති මැරයකු බව පොලිස් නිලධාරීන් හඳුනාගත්තේය.

pathala3පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් අතුරුගිරිය බස්නැවතුම්පළේ සිටියදී දිලූම් අත්අඩංගුවට ගත්හ. දිලූම්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත දැඩිගමුව, දොඩංගොඩ ප‍්‍රදේශවල සැඟවී සිටි මධුසංඛ සහ ප‍්‍රියංකර අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු කටයුතු කළෝය. මේ අතර ප‍්‍රහාරය වීඩියෝගත කළ ප‍්‍රියන්ත නමැති ත‍්‍රීරෝද රථ රියැදුරු ද එම වීඩියෝපටය ද සමඟ පොලිස් අත්අඩංගුවට පත් වුණේය. පාතාල මැරයන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ඇරඹුණේ ඉන් පසුවය. පොලිස් අධිකාරිවරුන් වන ලලිත් අබේසේකර, රොහාන් පෙරේරා මහත්වරුන් ඉදිරියේ මැරයන් අපරාධයේ සුලමුල හෙළි කළේය.

 ..අනේ සර්… මේක ඩුබායි ඉන්න චමී අපට භාරදුන්නෙ. චමී ඔය පියල් කියන මනුස්සයගෙන් ලක්‍ෂ 50 ක් කප්පම් ඉල්ලලා ඒක නොදුන්න නිසා තමයි අපිට ඔය කන්ට‍්‍රෑක්ට් එක භාර දුන්නේ… මැරයන් කීවෝය.

 ..උඹලට මේ කන්ට‍්‍රෑක්ට් එකට ලොකු ගාණක් දෙන්න ඇති. කීයක් හම්බ වුණාද?..

 මැරයන් එකිනෙකා මුහුණෙන් මුහුණ බලා ගත්තෝය. මොහොතක නිහැඬියාවකින් පසු දිලූම් හඬ අවදි කළේය.

 ..සර් අපිට චමී සලකනවා කිව්වට ගාණක් කතාකර ගත්තේ නැහැ. මේ දෙන්නාට මං රුපියල් පන්දාහක් දුන්නා. එච්චර තමයි. ඊට පස්සේ ශතයක්වත් හම්බ වුණේ නැහැ. දිලූම් කොන්ත‍්‍රාත්තුව වෙනුවෙන් මුදල් ගෙවූ හැටි පොලිස් නිලධාරීන්ට කිවේය.

 ..උඹලා රුපියල් පන්දාහට මිනීමරණ මිනිස්සුන්ගෙ තත්ත්තවෙට පත්වෙලා…

 පොලිස් නිලධාරීන් විශ්මයට පත්වූහ.

 වීරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමී උත්සාහ කරමින් සිටින්නේ කඩුවෙල පාතාලයේ රජ වීමටය. ජල්තර රණාල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන චමී විවාහකයෙකි. ඔහුට දාව දරු තිදෙනෙකි. දරුවන් සහ බිරිඳ ආරක්‍ෂිත ස්ථානවල සඟවා තබන්නට චමී කටයුතු කර තිබුණේ විරුද්ධ පාතාල කණ්ඩායම්වලින් එල්ල වී ඇති තර්ජන ගර්ජන නිසා ය. රණාලේ උපත ලැබූ චමී හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ තරුණයෙකි. ත‍්‍රීරෝද රථ රියැදුරු

 රැකියාව ආරම්භ කරමින් ජීවත් වීමට උත්සාහ ගත් චමී රණාලේ සමයං සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත්තේ මීට වසර දහයකට පමණ උඩදීය.

 ..උඹ වරෙන් මාත් එක්ක වැඩ කරන්න. මම උඹව හොඳ තැනකට ගේන්නම්… එදා රණාලේ සමයං චමී තම පාතාල කල්ලියට බඳවා ගනිමින් කීවේය. සමයං පළමු මිනිස් ඝාතනය සිදු කරන්නේ 2009 වර්ෂයේදී ය. කෙසෙල්වත්තේ දී කිත්සිරි රාජපක්‍ෂ නමැති ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කරන්නේ කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල මැරයාගේ උපදෙස් මතය.

 කිත්සිරි රාජපක්‍ෂ ඝාතනය සඳහා සමයං සමඟ කෙසෙල්වත්තට යතුරුපැදියෙන් පැමිණියේ චමීය. දෙනෝදාහක් දෙනා බලා සිටියදී මහ දවල් කිත්සිරි රාජපක්‍ෂට වෙඩි තබා ඝාතනය කර සමයං ද රැගෙන යතුරුපැදියෙන් පලා යන්නේ චමීය. එතැන් සිට සමයං මෙහෙයවූ මිනී මැරුම්, කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකට සම්බන්ධ වූ චමී පාතාල ලෝකයේ කෙරුම්කාරයකු වීමට සිහින මැව්වේය.

 කළුතරදී බන්ධනාගාර බස් රථයේදී සමයං ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ පාතාල කල්ලිය බෙදී වෙන් වී ගියේය. ඌරුජුවා වෙනම පාතාල කල්ලියක් බිහිකර ගත් අතර ඉන්‍ද්‍රා කඩුවෙල ප‍්‍රදේශයේ තවත් පාතාල කල්ලියකට නායකත්වය දුන්නේය. චමී සම්බන්ධ වන්නේ ඌරුජුවා නායකත්වය දුන් පාතාල කල්ලියට ය. ඌරුජුවා සමඟ එක්ව කඩුවෙල පාතාලයේ විවිධ අපරාධවල නිරත වීමට පටන් ගත් චමී අවසානයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණේය. චමී පමණක් නොව, ඌරුජුවා සහ ඉන්‍ද්‍රා ද අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් එකම බන්ධනාගාරයේ එකට සිටියහ.

 ඌරුජුවා සහ ඉන්‍ද්‍රා අතර පැවැති බද්ධ වෛරයකි. එහෙත් චමී ඉන්‍ද්‍රාව ද ඇසුරු කළේය. ඔහු සමඟ එවැනි වෛරයක් චමීට තිබුණේ නැත. 2019 වර්ෂයේදී චමී ඇප මත මුදාහැරියේය. ඒ වනවිට පාතාල මර්දන මෙහෙයුම් දිගින් දැගට ම ක‍්‍රියාත්මක වෙමින් තිබූ නිසා චමී රටින් පලායන්නට සැලසුම් කළේය. චමී ඩුබායි රාජ්‍යයට පලා යන්නේ ඉන් පසුවය. කළු සාගර නමැති පාතාල මැරයා චමීගේ කල්්‍යාණ මිතුරෙකි. කළු සාගර මේ වනවිට සිටින්නේ ද ඩුබායි රාජ්‍යයේ ය. චමී කළු සාගර සමඟ එක්ව ශ‍්‍රී ලංකාවට හෙරොයින් පැටවීමේ ජාවාරමකට සම්බන්ධ වී සිටියි. ඒ අතරම කඩුවෙල තම පාතාල ආධිපත්‍යය රඳවා ගැනීමේ සටනට ද චමී එක්ව සිටියි. කඩුවෙල නවගමුව ප‍්‍රදේශවල මහා පරිමාණ කර්මාන්ත ශාලා කිහිපයක් පිහිටුවා තිබෙයි. මේ හැම කර්මාන්ත ශාලාවකට ම කම්කරුවන් සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් සිදුකරති. පසුගිය කාල සීමාව පුරාම මේ ව්‍යාපාරිකයන්ට දුරකථනවලින් ඇමතුම් ගන්නා චමී ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ 50 බැගින් කප්පම් මුදල් ඉල්ලා සිටියේය. ඇතැම් ව්‍යාපාරිකයන් මරණ බිය නිසා චමීට කප්පම් මුදල් දී ජීවිතය ආරක්‍ෂා කර ගත් බව වාර්තා වෙයි. මේ කිසිවක් පොලිස් පොත්වල සටහන් නොවන්නේ ඔවුන් ජීවිතවලට ආශාකරන නිසාය. කඩුවෙල පාතාල මැරයන් විනාශකර දමා ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමේ ඉඩ ප‍්‍රස්ථාව පොලිසිය විසින් සකසා දී තිබුණේය. එහෙත් නැවතත් කඩුවෙල පාතාලය හිස එසවීමට පටන් ගෙන ඇත. මේ පාතාල මැරයන්ට නීතිගරුක පුරවැසියන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැක. මේ පාතාල මැරයන් හිස එසවීමට පෙර ඔවුන් මර්දනය කළ යුතුය. එසේ නොකළහොත් එහි අනිටු ප‍්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදුවන්නේ නීතිගරුක පුරවැසියන්ටය.

 නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) අයේෂ කරුණාරත්න, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා, ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් පොලිස් පරීක්‍ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්‍ෂක රුක්‍ෂාන් බණ්ඩාර, සැරයන්වරුන් වන (56968) ප‍්‍රසන්න, (56961) අනිල්, (21284) බණ්ඩාර, (40248) ප‍්‍රසන්න, (41496) බණ්ඩාර, කොස්තාපල්වරුන් වන (72338) ලලන්ත, (78680) අමිල, (70471) තෙන්නකෝන් (84762) කුමාර, (81600) සමීර යන නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

–  හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment