කොළඹින් ගිහින් මිහින්තලය වනසන බිස්නස්කාරයෝ… පුරාවිද්‍යා පැමිණිල්ල පොලිසිය භාර නොගනී

412

රුවන් ජයවර්ධන
කැකිරාව – සුදත් ඒකනායක

මිහින්තලය මැදවච්චිය මාර්ගයට යාබදව පිහිටි ඓතිහාසික අනුලාදේවි චෛත්‍ය, ගල්ලෙන හා අවශේෂ පුරාවස්තූන් පිහිටි පුරාවිද්‍යා රක්‍ෂිතය සුවිශේෂී වටිනාකම් රැසක් සහිත ඉපැරණි පුණ්‍ය භූමියක්ය. එහි පවතින සුවිශේෂී වටිනාකම් අතරින් වැදගත්ම දෙය බවට පත්වන්නේ එම ස්ථානය පිළිබඳවත් එහි දැනටත් දැක ගැනීමට ලැබෙන පුරා විද්‍යා නටඹුන් පිළිබඳවත් ලියවී ඇති අසිරිමත් අතීත තතු විත්තීන්ය. දෙවැන්න එම ස්ථානයේ පිහිටි භූගෝලීය පිහිටීමය. මනරම් ගල් තලාවකින් සමන්විත එම ස්ථානයේ සිට අවට නරඹන කල තරමක් දුරින් පිහිටි ඓතිහාසික මිහින්තලා චෛත්‍ය මනාව දැකගත හැක. එම දසුන සැදැහැ සිත් පහන් කරවන සුලූය. පුරාවිද්‍යා ඇසට හරි හැටි නොපෙනුන එම ස්ථානයේ ඇති වටිනාකම මනාව වටහාගත් පිටස්තරයන් පිරිසක් මේවන විට මෙම පුරාවිද්‍යා රක්‍ෂිතයෙන් කොටසක් ඩෝසර් කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස තවදුරටත් සංරක්‍ෂණය කළ යුතුව පැවති ඉපැරණි නටඹුන් රැසක් විනාශයට පත්ව අවසන්ය. දැනගන්නට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව ජාතිය සතු අනුලංඝනීය උරුමයක් වූ එම ස්ථානය විනාශයට පත්කොට ඒ මත නිවාඩු නිකේතන ඉදිකිරීමේ සහාසික වෑයමක් මේ වන විටද ක‍්‍රියාත්මකය.

* ඓතිහාසික අනුලාදේවි චෛත්‍යයේ ඉතිහාසය සැකෙවින්

 රිටිගල ආ`ඩියාකන්ද ගුහාලිපියක සඳහන් පරිදි ‘පරුමක අනුලිය’ නම් තැනැත්තියක් ලෙන් කරවා මහා සංඝයාට පූජා කළ බව ශිලා ලේඛන සංග‍්‍රහයේ සඳහන් වේ. දේවානම් පියතිස්ස රජුගේ සොහොයුරන් මිහින්තලේ අටසැට ලෙන් කරවා මිහිඳු හිමියන් ප‍්‍රධාන දෙසැටක් රහතුන් උදෙසා පූජා කිරීම හේතුවෙන් එය අනුගමනය කරමින් අනුලා සොයුරිය රිටිගල ලෙන කරවා සංඝයා වෙත පූජා කර ඇත. පරුමක අනුලා දේවියට උත්තිය සහ තිස්ස යන පුතුන් දෙදෙනෙකු සිටි බව ඉතිහාසයේ සඳහන්ව ඇත. රිටිගල ප‍්‍රදේශයේ වාසය කළ ක්‍ෂති‍්‍රය වංශික කිසියම් ආධිපතියකු සමග අනුලා දේවිය විවාහ වී ඇත. ලංකාවේ ප‍්‍රථම රැජින ලෙස හැඳින්වෙන අනුලා දේවිය සිව් මසක කාලයක් රාජ්‍යත්වයට පත්ව ඇත.

 අනතුරුව පැවිදි බව ලබන ඇය ලංකාවේ ප‍්‍රථම මෙහෙනි සසුන ආරම්භ කරමින් භික්ෂුනියන් පන්සියයක් පෙරටු කර ගනිමින් මිහින්තලයට යාබදව මෙහෙනි ආරාම ගොඩනගා බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස දායක වෙමින් ලංකාවේ ප‍්‍රථම මහ රහත් භාවයට පත් වන්නේ අනුලා තෙරණියන්ය. මිහින්තලේට යාබදව උතුරු දෙසට පුරවසන් කුලම ප‍්‍රදේශයේ අනුලා තෙරණියන් සිහිවීම පිණිස විශාල ගල්තලාවක් මත ක‍්‍රි. පු. දෙවන සියවසේ දී පමණ විහාරමහා දේවිය විසින් අනුලා දේවි චෛතය ඉදිකර ඇති බවට ඉතිහාසයේ සඳහන් වන අතර මේ වන විට අනුලාදේවි චෛතය පිහිටි භූමිය හුදකලා භූමියක් බවට පත්ව ඇත.

⋆ වත්මන් තත්ත්වය
 

 අනුලාදේවි චෛතය ඇතුළු පුරාවිද්‍යා නටඹුන් රැසක් සහිත මෙම ස්ථානය පුරාවිද්‍යා රක්‍ෂිතයක් ලෙස නම් කර ඇතත් සියවස් ගණනාවක් ඉපැරණි එම ස්ථානය ආශ‍්‍රිත මැණුම් කටයුතු තවමත් සිදු කොට නැත. හතර මායිම් නිවැරදිව සඳහන් නොවීම හේතුවෙන් එම භූමිය මේ වන විට ඇතැම් පිරිස් විසින් කට්ටි කර භුක්ති විදීමේ කුමන්ත‍්‍රනයක් පවතින අතර මේ වන විටද කිසියම් පිරිසක් විසින් එහි අක්කර තුනක පමණ භූමි ප‍්‍රදේශයක් ඩෝසර් කර හමාරය. සංචාරක විවේකාශ‍්‍රමයක් ඉදිකිරීමේ මුවාවෙන් මෙම විනාශය සිදුකර තිබෙන අතර ප‍්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම විනාශය සිදුකොට තිබෙන බවත් දැනටමත් යෝජිත සංචාරක විවේකාශ‍්‍රමය ඉදිකිරීම පිණිස අවශ්‍ය මූලික පසුබිම් එහි නිර්මාණය කර අවසන් බවය. ඓතිහාසික අනුලාදේවි චෛත්‍ය පිහිටි ගල්තලාව පසුපස පිහිටි භූමිය ඩෝසර් කිරීම හේතුවෙන් ඉපැරණි නටඹුන් රැසක් මේ වන විටද විනාශයට පත්ව ඇති අතර ඉදිරියේදී තව තවත් විනාශයන් සිදුවීමට නියමිතය.

⋆ පොලිසිය පැමිණිල්ල භාර නොගනියි

 පුරාවිද්‍යා රක්‍ෂිතයට අයත් භූමියක අනවසර ඉදිකිරීමක් සිදුවන බව අවබෝධකරගත් මිහින්තලේ පුරාවිද්‍යා කලාප භාර නිලධාරී මංජුල රත්නායක මහතා එම ස්ථානයේ සිදුකළ ස්ථානීය පරීක්‍ෂාවකින් අනතුරුව නිසි අවසරයකින් තොරව සිදුකරමින් පවතින අදාල ඉදිකිරීම පිළිබඳව මිහින්තලය පොලිසිය වෙත පැමිණිලි කරනු ලබන්නේ පසුගිය 02 වැනිදාය. එහෙත් එම පැමිණිල්ල භාර ගැනීම මිහින්තලාව පොලිසිය විසින් ප‍්‍රතික්‍ෂේප කොට ඇත. පැමිණිල්ල භාර ගැනීමට තරම්වත් පොලිසිය කාරුණික නොවීම හේතුවෙන් ඉන් අනතුරුව ඒ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක්ද සහිතව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පාලිත වීරසිංහ මහතාට ඒ බව දැනුම්දීමට පුරාවිද්‍යා කලාප භාර නිලධාරී මංජුල රත්නායක මහතා විසින් කටයුතු කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මත පළකරන පුරා විද්‍යා නිලධාරීන් සඳහන් කර සිටින්නේ ඓතිහාසික අනුලා දේවි චෛත්‍ය පිහිටි පුදබිම නීති විරෝධී ආකාරයෙන් ඩෝසර් කර ඇති ව්‍යාපාරිකයාගේ බල පුළුවන් කාරකම මත නීතිය හරිහැටි ක‍්‍රියාත්මක නොවන බවත්ය. කෙසේ වෙතත් දැනට එම ස්ථානයට සිදුවී ඇති හානිය පිළිබඳව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධක්‍ෂවරයා විසින් අනුරාධපුර පුරාවිද්‍යා පොලිස් කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වන විට අදාල පරීක්‍ෂණ කටයුතු ආරම්භ කොට ඇත. මෙම විනාශය සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විටද කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කර සිටින්නේ මේ වන විට එම ස්ථානයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කොට ඇති බවත් එම ස්ථානයේ පැවැති ඉපැරණි මෙහෙනි ආරාමයක සුන්බුන් ගල්තලාවේ පිහිටි පොකුණකට ගෙනවිත් දමා ඇති බවත්ය. එම සියලූ අකටයුතුකම් සම්බන්ධව පොලිස් පරීක්‍ෂණ සිදුකර ඉදිරියේදී අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවත්ය. පුරාවිද්‍යා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම ඓතිහාසික භූමියෙන් කොටසක් ඩෝසර් කර සියලූ පහසුකම්වලින් යුත් විවේකාශ‍්‍රමයක් ඉදිකිරීමේ සැලසුමක් පවතින බවත් විදේශීය ජාතිකයන්ගේ නවාතැන් පහසුව පිණිස එවැන්නක් ඉදිවන බවත්ය.

 දැනට හෙළිවෙමින් පවතින තොරතුරුවලට අනුව මෙම ඉදිකිරීම කරනු ලබන්නේ ප‍්‍රජාපති ගෝතමී නමින් ක‍්‍රියාත්මක බෞද්ධ සංවිධානයක් විසින්ය. පුරාවිද්‍යා අවසරයකින් තොරව සිදු කරන මෙම ඉදිකිරීම පිණිස විදේශ ආධාර පවා ලැබෙමින් පවතින බවද මේ වන විට තහවුරු කොට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පාදුක්ක වටවල ප‍්‍රජාපති භාවනා මධ්‍යස්ථානයේ උපසභාපතිනී සුජීවා සඳනආරච්චි මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඇය විසින් සඳහන් කර සිටියේ තමන්ට වෙනත් වෙනත් රාජකාරී ඇති බවත් අදාල කරුණ සම්බන්ධව යමක් පැවසීමට තමන්ට වේලාවක් නැති බවත්ය. සිදුවෙමින් පවතින විනාශය සම්බන්ධව පුරා විද්‍යා ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ විදේශ මුදල් ආධාර මත ජාතික උරුමයන් වැනසීමේ කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බවත් මිහින්තලය අනුලා දේවි චෛත්‍ය පිහිටි පුරාවිද්‍යා රක්‍ෂිතයද එහි ගොදුරක් බවට මේ වන විටද පත්ව ඇති බවත්ය. ඒ සම්බන්ධව සිදුකළ පැමිණිල්ල භාර නොගැනීම පිළිබඳව පොලිසියට විරුද්ධව වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු අතර දැන්වත් අදාල බලධාරීන්ගේ අවධානය ඒ සඳහා යොමු විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment