කොළඹින් ගිහින් වැටලුවාට පොලොන්නරුවෙත් හාල් නෑ!

310

මෙරට බත් කන ජනයා බහුතරයක් වෙතින් මෑත කාලයේ එවන් මැසිවිලි නැඟුණු අවස්ථා සුලබ බැව් බොහෝ දෙනා දනිති. එහෙත් එලෙස ගිනි ගාණටම හාල් මිලදී ගෙන තුන් වේල නැතත් එක් වේලක් හෝ දෙවේලක් කෑම හැර අන් කිසිවක් කරන්නට ඒ ජනතාවට හැකියාවක් නොතිබුණි. එනිසාම වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීමට පසුගිය දිනවල රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව නොරහසකි. එසේ වුවද සහල් කිලෝවේ මිල ඇතැම් අවස්ථාවල අසීමාන්තික ලෙස ඉහළ ගියේ හූය කැඞී අතින් මිදීගිය සරුංගලයක් පරිද්දෙන් යැයි කීම නිවැරදිය.

ඒ අන්දමට දිනෙන් දින ඉහළට යමින් තිබූ සහල් කිලෝවට රජය පාලන මිලක් පැනැවූ නමුදු එය වෙළෙඳපොළට වලංගු නොවන තත්ත්වයක් බවට පත්විය. ඒ රටේ නායකයා වන ජනාධිපතිවරයාට ද වාර්තා වූයේ දිවයිනේ නන්දෙසින් පාහේ නැඟණු පාරිභෝගික ජනතාවගේ මැසිවිලිද සමඟිනි. එමෙන්ම මැති ඇමැතිවරුන්ද පසුගිය දිනවල ජනාධිපතිවරයාට පෙන්වාදී තිබුණේ පාලන මිලට වෙළෙඳ පොළේ සහල් අලෙවි නොවන බව මෙන්ම මහජන පැමිණිලි ද එන්න එන්නම වැඩිවෙමින් තිබෙන බවය. ආණ්ඩුවේ සහල් මෙහෙයුම හෙවත් මහා පරිමාණ සහල් මෝල් වැටලීමේ වැඩ පිළිවෙළ දියත්වීම ඇරඹෙන්නේ ඒ අනුවය.

ඉකුත් බදාදා සිදු කළ මෙම සහල් තොග රජයේ භාරයට ගැනීමේ මෙහෙයුමට පෙර අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සහ පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මහා පරිමාණ සහල් මෝල් හිමියන් හමුවීමට පොලොන්නරුවට පැමිණ තිබුණි. ඒ රජය මගින් සහල් සඳහා පාලන මිලක් පැනැවීමෙන් පසුවය. එක් එක් සහල් මෝල් වෙත ගොස් ඒවායේ හිමිකරුවන් සහ පාලන අධිකාරිය හමුවූ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ රජය නියම කර ඇති පාලන මිලට තම එකඟතාවය පළ කරන බවයි. ඒ අනුව රජයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහය ලබා දෙමින් සහල් තොග නිකුත් කිරීමට ද ඔවුහු කැමැත්ත දුන් බවද කියති. එහෙත් එපරිද්දෙන් කටයුතු සිදු නොවීම නිසා මහා පරිමාණ සහල් මෝල්වල ගබඩා කර ඇති සහල් තොග රජයේ භාරයට ගැනීමේ වැඩපිළිවෙළ ජනපති නියමයෙන් මෙලෙස ක‍්‍රියාත්මක වී ඇති බව කියති.

කොළඹින් ගිහින් වැටලුවාට පොලොන්නරුවෙත් හාල් නෑ!

ඒ අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් කිහිපයක ගබඩා කර තිබූ සහල් මෙටි‍්‍රක් ටොන් 10,000ක තොගයක් රජය භාරයට ගත් බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. මෙම සහල් තොග එක්රැුස් කිරීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වූයේ හදිසි නීතිය පැනැවී එයින් බල ගැන්වුණ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ බලතල යටතේය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමයෙන් ආසන්නයේම ගත් එම ක‍්‍රියා මාර්ගයට හේතුවූයේ මෙරට වෙළෙඳපොළේ දිනෙන් දින ඉහළ යමින් පැවැති සහල් මිල පාලනය කරන්නට බව නොරහසකි.

එහෙත් පොලොන්නරුවේ දියත් කළ එම සහල් මෙහෙයුමෙන් රැුස්කරගත් සහල් තොගයෙන් වැඩිම ප‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරකු වන ඩඞ්ලි සිරිසේනට අයත් අරලිය සහල් මෝලෙන් බව කියති. එය විශාල ප‍්‍රමාණයේ ලොරි රථ 20ක අසුරා ප‍්‍රවාහනය කළ හැකි සහල් කිලෝ 350,000ක් පමණ තොගයෙකි. වැලිකන්දේ සිංහපුර පිහිටි නිව් රත්න සහල් මෝලෙන් ලබාගෙන ඇත්තේ අරලිය මෝලෙන් ගත් සහල් තොගය මෙන් හරි අඩක් පමණය. එනම් සහල් කිලෝ 1,75000ක් හෙවත් ලොරි 10ක් පමණය. වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරයකු වන සිරිපාල ගම්ලත්ට අයත් නිපුන සහල් මෝලෙන් සහල් ලොරි 06ක් සහ මින්නේරිය කටුකැලියාවේ පිහිටි ලක් සහල් මෝලෙන් එක් සහල් ලොරියක්

බැගින්ද ලබාගෙන තිබූ අතර පොලොන්නරුව, ගල්ලෑල්ලේ පිහිටි සූර්යා හාල් මෝලෙන් ලබාගෙන තිබූ සහල් ප‍්‍රමාණය කිලෝ 50,000ක් බවද කියති.

මේ සහල් තොගය නාඩු, සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවලින් සමන්විතව පැවැති බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පැවැසූහ. එම සහල් තොගයද රැුගෙන අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුළු පිරිස එදිනම පොලොන්නරුවේ සිට කොළඔ බලා පැමිණි බවද දැනගන්නට ලැබිණි. මේ අතර පසුදින කොළඹ පිටකොටුවේ පිහිටි සහල් තොග කඩවල වෙළෙඳුන් මාධ්‍යට අදහස් දක්වා තිබුණේ අවශ්‍ය තරම් සහල් වෙළඳපොළට පැමිණීම නිසා සහල් තොග මිල විශාල වශයෙන් පහල බැස ඇති බවය. එහෙත් ගමේ

ගොඬේ වෙළෙඳසල්වල ද එම මිල පහත වැටීම සිදුවී ඇත්දැයි සොයා බැලීම අදාල අංශවල වගකීමක් බව මහජනයා පෙන්වා දෙති.

කෙසේ නමුදු රජය ගනු ලැබූ මෙම හදිසි ක‍්‍රියාමාර්ගය ඇතැම්විට සහල් මෝල් හිමියන් කිසිසේත් බලාපොරොත්තු නොවුණ තත්ත්වයක් විය හැක. උස්වූ තාප්ප සහ සවිමත් යකඩ ගේට්ටුවලින් වටකොට තැනූ සහල් මෝල්වලට මෙලෙස හිටි අඩියේ බලහත්කාරයෙන් සහල් තොග රැුගෙන යන්නට රාජ ¥තයින් පැමිණීමේ ආරංචිය කල්තියා දැන සිටිය ද ඊට එරෙහිව කළ හැකි කිසිවක් නොහැකිය යන්න ඇතැම් සහල් මෝල් පරිශ‍්‍රයන්හිදී අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුළු පිරිසට මුහුණදෙන්නට වූ විරෝධයපෑම්වලින් සහ ඒවා හමුවේ නිලධාරීන් කිසිදු පසුබෑමක් නොවී පැමිණි කාරණය ඉටුකරගෙන යෑම තුළින් පැහැදිලිව දක්නට ලැබිණි. කෙසේ නමුත් මේ හේතුවෙන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් දණ්ඩෙන් පහරකෑ නාගයින්සේ කෝපාවිෂ්ට වී සිටින බවට කිසිදු සැකයෙක් නැත. එසේ වුවද හදිසි නීති දණ්ඩ ඉදිරියේ ඔවුහු කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයට පත්ව සිටින බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ අතර පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී අතරමැදියන් විසින් ගබඩා කර තිබෙන වී තොග සෙවීමේ මෙහෙයුමක් ද මේ දිනවල දිවයිනේ වී නිෂ්පාදනය කරන දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක වේ. ඒ අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ එවැනි ගබඩා 13ක් මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය කියයි. එහි ගබඩා කර ඇති වී ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 2540ක් බව එම අධිකාරියේ පොලොන්නරුව කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී එච්.ජී.සී. කුමාර මහතා ප‍්‍රකාශ කළේය.

අම්පාර සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කවල ද මෙලෙස අතරමැදියන් විසින් නීතියට පිටින් එක්රැුස් කර තිබූ වී තොග සෙවීමේ මෙහෙයුම් පසුගිය දිනවල ක‍්‍රියාත්මක කර තිබුණි.

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරිය පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද, සෙවනපිටිය, කටුවන්විල, අරලගංවිල, දම්මින්න, නිකවතලන්ද යන ප‍්‍රදේශවල පසුගිය දිනවල සිදුකළ වැටලීම්වලදී මෙම වී තොග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවැසීය.

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවූ අතරමැදියන් විසිින් මිලදීගෙන ගබඩා කර ඇති වී තොග වී අලෙවි මණ්ඩලය සතු කර සහල් බවට පත් කිරීම සඳහා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ද එම වී ලබා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලීමක් කර ඇත.

සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වී තොග නොමැතිකමින් දැනට දිවයින පුරා පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 1000කට වැඩි ප‍්‍රමාණයක් වැසී ගොස් තිබෙන බවද එම මෝල් හිමියෝ පෙන්වා දෙති.

ශී‍්‍ර ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් හා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සංගමයේ සභාපති රොෂාන් සිල්වා මහතා ප‍්‍රකාශ කළේ තම සංගමයට අයත් බොහෝ සාමාජික සහල් මෝල් හිමියන්ට විශාල වී තොග සංචිත නොමැති හෙයින් එම සහල් මෝල් අඛණ්ඩව පවත්වාගෙන යෑමට එය විශාල රුකුලක් වනු ඇති බවයි. එහෙයින් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත එම වී තොග කඩිනමින් නිකුත් කළහොත් රජයේ සහතික මිල යටතේ මෙරට

පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව කළ හැකි වනු ඇතැයිද ඒ සහල් මෝල් හිමියෝ ප‍්‍රකාශ කළහ.

මෙරට වී නිෂ්පාදනයේ මෙන්ම සහල් නිෂ්පාදනයේ ද සුවිශාල කාර්ය භාරයක් උසුලනු ලබන පොලොන්නරුවේ ගොවි ජනතාව සහ ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ සහල් නිෂ්පාදන ක‍්‍රියාවලියේ ඒකාධිකාරිය පෞද්ගලික අංශය සතුවීම එතරම් අරුමැසි නොවන බවයි. ඒ සඳහා වංගෙඩියක් මෝල් ගහක් තරමවත් රජය සතුව නොමැති කල පෞද්ගලික අංශයේ සහල් මිල පාලනය කිරීමට රජයට ඇති හැකියාව කෙබඳුවේද? යන සැකය මතු කෙරෙන බවද ගොවීහු මතු කළ කරුණෙකි. මක්නිසාද කලකට පෙර රාජ්‍ය අංශය සතුව පැවැති සහල් මෝල් පරණ යකඩ කඩ හිමි නාඩාර්ලාගේ ලන්සුවේ වෙන්දේසි වී මේ වනවිට සෑහෙන කලක් යැයිද ඔවුහු පෙන්වා දුන්හ. එහෙයින් කළ යුතුව ඇත්තේ තවදුරටත් පමා නොවී රාජ්‍ය අංශ සතු සහල් නිෂ්පාදන ක‍්‍රියාවලියකට යොමුවීම බවද පෙන්වා දෙති. එහිදී ප‍්‍රධාන වශයෙන් ගොවියා සහල් නිෂ්පාදකයකු බවට පත්කිරීමේ සන්නද්ධ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම අපහසු නොවන කාර්යයක් බවද ඒ ගොවි ජනතාව ද කරුණු සහිතව පෙන්වා දෙති. වී නිෂ්පාදනය කරන දිස්ත‍්‍රික්ක අතුරින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කය ඒ සඳහා කදිම කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ගොවිජන මතයවී තිබේ. එසේ ගොවි සංවිධාන මට්ටමින් සහල් නිෂ්පාදන වැඩපිළිවෙළක් දියත් කළහොත් මෙම අර්බුදය ජයගැනීම ඉතා පහසුවනු මෙන්ම රටේ සහල් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා ගොවි ජනතාව බවට පත්කිරීම එතරම් අපහසු නොවනු ඇති බවද පෙන්වා දෙති. එසේ නොමැතිව ඒකාධිකාරියේ බල මහිමයෙන් සහල් මිල ඉහළයෑමේ අර්බුදය විසඳීම සඳහා තිරසර නිසි විසඳුම් මිස අතීසාරයට අමුඩ ගැසීම වැනි වෑයම් තුළින් පලක් නොවන බවද ඔව්හු වැඩිදුරටත් කියා සිටියහ.

මහජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්‍ධයෙන් රට තුළ පැනනැඟී ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස සහල් සම්බන්‍ධව මේ ක‍්‍රියා මාර්ගය ගනු ලැබුවද ඒ තුළින් මෙරට වෙළෙඳපොළේ සහල් මිල ඉහළයෑම කොතෙක් දුරට පාලනය කළ හැකිද යන්න ඊළඟට පැනනඟින ප‍්‍රශ්නයෙකි. එමෙන්ම දේශීය සහල් අවශ්‍යතාවය සපුරාලිය හැකි විසඳුම් ක‍්‍රියාවලියක් මේ තුළින් ගොඩ නැෙඟ්ද යන්න දෙවනුව මතුවේ. රටක ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳව නිසි සැලැස්මක් වැඩපිළිවෙළක් නොමැති කල මෙවැනි අර්බුද පැන නැඟීම අනිවාර්ය තත්ත්වයක් බව ඒ පිළිබඳව විශේෂඥ දැනුමැතියන්ගේ මතය වී තිබේ. එසේ වුවද වත්මනෙහි රට හමුවේ තිබෙන මූලික ගැටලූවක් ලෙස ගත්කල රජයකට ඊට මැදිහත්වීමේ ආසන්න ක‍්‍රියා මාර්ගයක් වශයෙන් මෙවැනි අවතීර්ණවීම් විකල්ප විය හැකි බව ඔවුහු සඳහන් කරති. එසේ වුවද දීර්ඝකාලීන විසඳුම් සෙවීමේ ක‍්‍රියාවලියකට යෑම අනිවාර්ය කටයුත්තක් මෙන්ම සහල් නිෂ්පාදනය සම්බන්‍ධයෙන් ගත්කල අප රටේ පවතින ඒකාධිකාරිය වෙනුවට විමධ්‍යගත වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ගෙනහැර දක්වති. එහිදී මූලික වශයෙන් මේ රටේ දැනට වී නිෂ්පාදනය බහුල දිස්ත‍්‍රික්කවල ගොවි ජනතාව සංවිධානය කරවීම තුළ සහල් නිෂ්පාදන ක‍්‍රියාවලියකට යොමු කිරීම රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව කළ හැකි බවද එම විද්වත්හු වැඩිදුරටත්් පෙන්වා දෙති.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment