කොළඹ අවට ඩෙල්ටා අවදානමක්

432

කොරෝනා වෛරසය ආසාදනය වුවද එන්නත් ලබාගත් කිසිදු පුද්ගලයකු මරණයට පත්වීමේ සිදුවීම් කිසිවක් මේ දක්වා මෙරටින් වාර්තා වී නැතැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

තවත් කොරෝනා මරණ 46 ක් පෙරේදා (18 වැනිදා) දිනයේ මෙරටින් වාර්තා වූ අතර ඉන් පුද්ගලයන් 36 දෙනකුම වයස අවුරුදු හැටට වැඩි වැඩිහිටියන් බව පෙන්වා දුන් ඒ මහතා, එසේ මරණයට පත්වූ වැඩිහිටියන් කිසිවකුත් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන නොමැති බවද පෙන්වා දුන්නේය.

මේ දක්වා කොරෝනා වෛරසයට එරෙහිව විවිධ රටවලින් නිෂ්පාදනය කෙරුණු එන්නත් සියල්ලෙන් උපරිම රැුකවරණයක් ලැබෙන බව පෙන්වා දුන් රංජිත් බටුවන්තුඩාව මහතා, එන්නත් ලබා ගැනීමෙන් පසු වෛරසය ආසාදනය වුවද මරණ සිදු නොවීමේ සහ බරපතළ සංකූලතාවලට පත් නොවීමේ අනුපාතය සියයට සියයක් බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයිද සඳහන් කළේය.

එනිසා ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නත් ලබා ගැනීම කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා ඇති ගත හැකි හොඳම කි‍්‍රයාමාර්ගය බවද ඒ මහතා පැවසීය.

රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාස තුන ඇතුළත වයස අවුරුදු තිහට වැඩි සියලූම දෙනා එන්නත්කරණයට ලක් කර අවසන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය බව වැඩිදුරටත් සඳහන් කළ ඒ මහතා, ඉන් අනතුරුව වයස අවුරුදු 18ට වැඩි සියලූ දෙනාට එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයිද කීය.

මේ අතර අද වන විට කොළඹ නාගරික සීමාවෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයන් අතරින් සියයට 20-30 ක ප‍්‍රමාණයක් ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය වැළඳුණු පුද්ගලයන් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්‍ෂා කිරීමේදී මේ බව අනාවරණය වන බවද සඳහන් කරන ඒ මහතා විවිධ ප‍්‍රදේශවලින් ලබා ගන්නා සාම්පල පරීක්‍ෂා කරනු ලබන විශ්වවිද්‍යාලය ඒ බව දැනුම් දී තිබෙන බවද පැවසීය.

ජෛව සාම්පල ලබාගෙන ජාන අනුක‍්‍රමික පරීක්‍ෂණවලට ලක් කරනුයේ තෝරාගත් පිරිසක් බවද පෙන්වා දෙන ඒ මහතා මේ වන විට කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, මාතර, කිලිනොච්චිය සහ යාපනය ප‍්‍රදේශවලින් ඩෙල්ටා ආසාදිතයන් හඳුනාගෙන තිබීම තුළ අනෙකුත් ප‍්‍රදේශවලට එය පැතිර නැතැයි සඳහන් කිරීමට නොහැකි බවද කීය.

මෙනිසා පවතින භයානක තත්ත්වය වටහාගෙන සියලූ දෙනා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුව ඇතැයිද ඒ මහතා අවධාරණය කළේය.

කොරෝනා වෛරසයට එරෙහිව මෙරට ජනතාවට එන්නත් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මේ වන විට පුද්ගලයන් 168556 දෙනකුට එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී අවසන්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම මෙරට පුද්ගලයන් 5,675,329 දෙනකුට මේ දක්වා කිසියම් එන්නතක පළමු මාත‍්‍රාව ලබා දී අවසන්ව ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 5172 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (19 වැනිදා) දහවල් සඳහන් කළේය.

දිනක් තුළ සුවය ලබා පිටව ගිය වැඩිම පිරිස මෙය වන අතර එම සංඛ්‍යාවත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලද සමස්ත සංඛ්‍යාවද 261848 දක්වා ඉහළ ගියේය.

එසේම වෛරසය ආසාදනය වූ තවත් 19305 දෙනකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment