කොළඹ ඇතුළු නගරබද පාසල් අද සිට සතියක් වැසේ

276

ග්‍රාමීය පාසල් ගැන තීරණය විදුහල්පතිවරුන් අතේ

රට තුළ මතුව තිබෙන ඉන්ධන අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන අදින් (20 දා) ආරම්භ වන සතිය (24 වැනිදා) තුළ බස්නාහිර පළාත කොළඹ කලාපයේ පිහිටි පාසල් නොපැවැත්වීමටත්, ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබාදී ඇත.

මේ අනුව සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙන අතර ඒ වෙනුවෙන් එම සතියේ සඳුදා සිට සිකුරාදා තෙක් පෙරවරු 8.00 සිට දහවල් 1.00 දක්වා විදුලිය විසන්ධි නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම එකඟවී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සතිය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදෙන ලදී. එමෙන්ම යම් පාසලක පැමිණීමට නොහැකි ිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී එම තතත්ත්වය මත ද පාසල පවත්වා ගැනීමට හැකියාවක් පවතින්නේ නම්, ඒ සඳහා විදුහල්පතිවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සමඟ සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම සඳහා අවසර ලබා දී තිබේ.

පාසල පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගිවීමට නොහැකි නම්, එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිත කිරීමට හැකියාව පවතී. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේදී නොපැවැත්වීමට තීරණය කරන ලද අතර, ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුළු සියලු පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබාදෙන ලදී.

මෙම කාලය තුළදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලබන රාජකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබන අතර, එය එසේ සලකා කටයුතු කරන ලෙසට පළාත් අධ්‍යාපන නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

මෙම සතිය තුළ සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක්කිරීම සඳහා ලබන සෙනසුරාදා එනම් 25 වැනිදා අධ්‍යාපන බලධාරීන් ද සමඟ පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය පිළිබඳ තීරණය නිකුත්කරනු ලැබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment